එල්පීඑල් සමාරම්භක උලෙළ අන්තර්ජාල ක්‍රමවේදයකට

0
43
Author(s): 
ෆවුස් මොහොමඩ්

මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ නව ඇරඹුමක් සටහන් කරමින් ලබන 26 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) තරගාවලියේ සමාරම්භක උත්සවය අන්තර්ජාල ක්‍රමවේදයක් ඔස්සේ පැවැත්වීමට නියමිතය. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් එල්පීඑල් තරගාවලිය නිල වශයෙන් විවෘත කරන බවත්, එය අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් ‘දිනමිණ‘ කළ විමසුමකදී එල්පීඑල් තරගාවලියේ අධ්‍යක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති රවීන් වික්‍රමරත්න මහතා කියා සිටියේය. එල්පීඑල් ජයග්‍රාහකයන්ට පිරිනැමෙන කුසලානය ද එදිනම නිරාවරණය කිරිමට බලාපොරොත්තු වන බව ද ඔහු කීවේය.

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් රජය විසින් පනවනු ලැබූ දැඩි සෞඛ්‍ය නීතිරෙගුලාසිවලට අනුකූලව පැවැත්වෙන එල්පීඑල් තරගාවලියේදී දූෂණ වංචා විමර්ශන කටයුතු ද ඉහළින්ම සිදු කිරීමට නියමිත අතර, ඒ සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන් දෙදෙනකු දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති. මීට අමතරව ක්‍රිකට් ආයතනයට අනුබද්ධිත නිලධාරීන් 2ක් සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ස්ථාපිත කරනු ලැබූ දූෂණ විරෝධී ඒකකයේ නිලධාරීන් ද එම කටයුතු සඳහා පත් කර තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නීතිරෙගුලාසිවලට අනුව සුපුරුදු පරිදි තහනම් උත්තේජන භාවිත කරනු ලැබුවේදැයි සොයා බැලීමේ පරීක්ෂණද සිදු කෙරේ.

තරගයේ ඒ මොහොතේ පවතින තත්ත්වයට අනුගත වන ආකාරය පිළිබඳ අත්දැකීම් එක්රැස් කරගැනීමට මේ තරගාවලිය මෙරට ක්‍රීඩකයන්ට තෝතැන්නක් වනු ඇතැයි ද, රවීන් වික්‍රමරත්න මහතාගේ අදහස වී තිබේ.

‘රජයෙන් ඉතාමත් ලොකු සහයෝගයක් ලැබුණා. විශේෂයෙන්ම ක්‍රීඩා ඇමැතිතුමාගෙන්. ඔහු අපිත් එක්ක මුල ඉඳලම හිටියා. අදටත් ඔහු අපේ පසුපසින් සිටිමින් ශක්තියක් දෙනවා. ඒ වගේම තමයි සෞඛ්‍ය බලධාරීන් එක්ක සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වුවා. අගොස්තු මාසේ විතර ඉඳලා. අවසන් තීරණයට එන්න කලින් සෞඛ්‍ය ඇමැතිතුමිය එක්කත් සාකච්ඡාවක් තිබුණා. එතුමිය ඉතාමත් සුබදායි විදිහටයි මේ දිහා බැලුවේ. රජයෙන් විශාල සහයෝගයක් ලැබුණු නිසා තමයි මේ තරගාවලිය අපිට පවත්වන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ සහාය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉහළින්ම අගය කරනවා. ‘ ඔහු වැඩි දුරටත් පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here