එල්පීඑල් සහ එංගලන්ත සංචාරය සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ

0
52

ලබන 26 දින සිට දෙසැම්බර් 16 දින දක්වා හම්බන්තොටදී පැවැත්වීමට නියමිත එල්පීඑල් ක්‍රිකට් තරගාවලිය සහ ලබන වසරේ ජනවාරි මස 14 දින ආරම්භ වන එංගලන්ත ක්‍රිකට් සංචාරය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්වීමට කටයුතු කරන බව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

තරග පැවැත්විය යුතු ක්‍රමවේදය පිළිබඳ තීරණවලට එළඹීම සඳහා විශේෂ සාකච්ඡාවක් ඊයේ (23) පෙරවරුවේ සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

විදේශීය රටවලින් මෙරටට පැමිණෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවත්, ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවත් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට භාජනය වී ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කොවිඩ් – 19 තාක්ෂණික කමිටුව විසින් දෙන නිර්දේශයන්ට අනුව සකස් කරනු ලබන මාර්ගෝපදේශන මාලාවට අනුව මෙම තරග මාලා පැවැත්වීමට සෞඛ්‍ය බලධාරීන් සහ ක්‍රිකට් එකඟතාවට පැමිණි බව එම නිවේදනයේ දැක්වෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ‍ෙජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහත්වරුන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න, ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා, ක්‍රීඩා වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා, රත්නපුර ක්‍රිකට් සංගමයේ සභාපති කංචන ජයරත්න මහත්වරුන් එම සාකච්ඡාවට සහභාගි වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here