මහජන ධනය ආරක්ෂා කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය අකුරටම ඉටු කරමින් සිටිනවා – ඇමැති විමල් වීරවංශ

0
60
Author(s): 
ස්වර්ණා විජේකෝන්
නුවන් කොඩිකාර
සන්ධ්‍යා කරුණාරත්න

රටේ වගා කළ හැකි කහ ගැන ජනාධිපතිතුමා ගත් තීන්දු එලෙසමයි
– රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු

ස්වාධීන කොමිෂන් සභා යහපාලන කාලයේ වැඩ කළේ හිටපු අගමැති රනිල්ට හා විපක්ෂ නායක සම්බන්ධන්ට අවශ්‍ය විදිහට
– මන්ත්‍රී මහින්ද සමරසිංහ

කොවිඩ් ආසාදිතයන් 20000ක් වාර්තා වන විට 16000ක් සුවපත් වෙලා ගෙදර ගිය බව විපක්ෂය නොකියන්නේ ඇයි
– මන්ත්‍රී ඩිලාන් පෙරේරා

රටපුරාම ඔර‍ලෝසු කණු ඉවත් කිරීමේ කුමන්ත්‍රණ රාවය පිළිබඳ චමල් රාජපක්ෂ ඇමැතිවරයා සොයා බලන්න
– මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල

මහජන ධනය ආරක්ෂා කිරිමේ වගකීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවැරදිව ඉටු කරමින් සිටින බව කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

මහජන ධනයෙන් එකම සතයක්වත් තම පෞද්ගලික වියදම සඳහා භාවිත නොකරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස ජීවත්වන්නේද තම පෞද්ගලික නිවසේම බව ඇමැතිවරයා සඳහන් කළේය. ආරක්ෂක අමාත්‍යාංශය සඳහා විශාල මුදලක් වෙන්කර ඇති බවට ඇතැමුන් චෝදනා කළ ද එම සියලු මුදල් ආරක්ෂක හමුදාවටම වෙන්කර නොමැති අතර, එම අමාත්‍යාංශය යටතේ ඇති වෙනත් විෂයයන් සඳහා වෙන්කර ඇති මුදල් ප්‍රමාණයන් ද එකතු කරමින් විපක්ෂය වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් සිටින බව ද ඇමැතිවරයා පැවසීය.

වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (23) රැස්විය.

කථානායක නිවේදන, ලිපි ලේඛන , වාර්තා පිළිගැන්වීමෙන් පසුව දිනට නියමිත කටයුතු ආරම්භ විය.අයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව කාරක සභාවක් බවට පත් කිරීමෙන් පසුව විවාදය ආරම්භ විය.

ඒ අනුව ජනාධිපතිවරයා,අග්‍රාමාත්‍ය කාර්යාලය, උපරිමාධිකරණ විනිශ්චයකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාලය, රාජ්‍ය සේවා කොමිෂන් කාර්යාලය, අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභා කාර්යාලය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුවේ සභා නායක කාර්යාලය, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කාර්යාලය, විපක්ෂ නායක කාර්යාලය,මැතිවරණ කොමිෂන් සභාව, ජාතික විගණන කාර්යාලය, පරිපාලන කටයුතු පිළිබඳ කොමසාරිස් කාර්යාලය,විගණන සේවා කොමිෂන් සභාව, සීමා නීර්ණය කොමිෂන් සභාව යන වැය ශීර්ෂයන් පිළිබඳ විවාදය ඊයේ (23) පැවැත්විණ,

වැය ශිර්ෂයන්ගෙන් රුපියල් දහය බැගින් කපා හරින ලෙස යෝජනා කරමින් කතාව ආරම්භ කළ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා.(ස.ජ.බ)-කඩුගන්නාව නගරයේ ප්‍රේමදාස මහතා විසින් ඉදි කරනු ලැබූ ඔරලෝසු කණුව නගර සභාවෙන් ගලවලා දාලා. එය අශෝභන ක්‍රියාවක්. ලංකාව පුරාම තිබෙන ඔරලෝසු කණු ඉවත් කරන්න කුමන්ත්‍රණයක් තිබෙන බවට තොරතුරු ලැබිලා තිබෙනවා. ඒ පිළිබඳ සොයා බලන්න කියලා චමල් රාජපක්ෂ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. අද පාසල් විවෘත කළත් ළමයි හාරදහසකට වැඩි ප්‍රමාණයක් ඉන්න ධර්මරාජ විද්‍යාලයේ ඇවිත් තිබෙන්නේ ළමයි 75 දෙනයි. පාසල්වල සනීපාරක්ෂක කටයුතු මදි. සාකච්ඡාවට ගන්න කොමිෂන් සභාවලට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්වාධීනත්වයක් තිබුණා. දැන් එය නැති වී ගොස් තිබෙනවා. අද පරිපාලන සභාවක් පත් කරලා උසස් ආයතනවලට ජනාධිපතිවරයා එවන නම් පිළිගන්න වෙලා තිබෙනවා. . අද වන විට මේ ආයතන සියල්ල ජනාධිපතිවරයාගේ සපත්තුවට යටවෙලා තිබෙනවා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා-ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කළේ ව්‍යවස්ථාවට අනුකූලව. අදටත් අපි කියනවා එය නිවැරදියි කියලා. එහෙත් අසාද් සාලි ගිහින් නීතිපතිට කිව්වා ඉල්ලා අස් නොවුණොත් ඇදලා එළියට දානව කියලා. ඒ දේවල් වුණේ යහපාලන ආණ්ඩුව කාලේ.

කිරිඇල්ල මහතා-රජයේ උසස් නිලතල 75 ක් තිබෙනවා. ඒ නිලතල 75 ම පත් කරන්නේ ජනාධිපතිවරයට අවශ්‍ය පරිදිමයි. අද විපක්ෂයත් එක්ක, සිවිල් සමාජයත් එක්ක කිසිම සාකච්ඡාවක් කරන්නේ නැහැ.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා. (පො.ජ. පෙ) – ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ, සභා නායකවරයාගේ, විපක්ෂ නායකවරයාගේ, විපක්ෂ නායකවරයගේ සහ තවත් කොමිෂන් සභාවල වැය ශිර්ෂ ගැන කතා කරනවා. මගේ කතාවට යන්න කලින් කිරිඇල්ල මහත්මයා කිව්ව ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය ගැන කතා කළ යුතුයි. මම ව්‍යවස්ථා මණ්ඩලයේ හිටපු සාමාජිකයෙක්. එය ප්‍රායෝගිකව ක්‍රියාකළ ආකාරය ගැන කතා කළ හැකියි. ඒ ව්‍යවස්ථා මණ්ඩල පාර්ලිමේන්තුවේදිවත් පිටදිවත් ස්වාධීනව කටයුතු කළේ නැහැ. එවකට හිටපු අගමැතිවරයා සහ විපක්ෂ නායක සම්බන්ධන් මන්ත්‍රීවරයා කතා කරලා තමයි සියලු දේ කළේ. මම කියන්නේ නැහැ ඒ තුන්දෙනාම වැරදියි කියලා. එහෙත් බහුතරයක් ඡන්දය ප්‍රකාශ කළේ අගමැතිවරයාට අවශ්‍ය පරිදි. මම කටයුතු කළේ ජනාධිපතිවරයගේ නියෝජිතයා විදියට. අපිට ඡන්දවලට පවා යන්න වුණා. බහුතරය හිමි වුණ ආණ්ඩුව පැත්තට තමයි වාසිය ගියේ. පොලිස්පතිවරයා පත් කරද්දි ජ්‍යෙෂ්ඨත්වය බැලුවද. ඒ සුදුසුකම් තිබුණේ වික්‍රමසිංහ මහත්මයට. මේ අය බය වුණා ඒ පොලිස් නිලධාරියා මහින්ද මහත්මයාගේ ආරක්ෂාව බාරව කටයුතු කළ නිසා ඒ බයට දුන්නේ නැහැ. ව්‍යවස්ථා මණ්ඩලය කවදාවත් ස්වාධීනව වැඩ කළේ නැහැ.

පත් කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා. (ස.ජ.බ)-ගූගල් බැලුම තිබුණ නම් අද එහි ප්‍රයෝජන රැසක් ගන්න තිබුණා. එය කඩාකප්පල් කළේ එවකට හිටපු ජනාධිපතිවරයා. ඒ තාක්ෂණය තිබුණ නම් සූම් තාක්ෂණය ඔස්සේ දරුවන්ට ඉගෙන ගන්න තිබුණා. . මම ජනාධිපතිවරයා ෆේල් කිව්වම මිනිස්සු මට බැන්නා. හැබැයි එතුමා එක තැනකදි පාස්. ඒ දෙපැත්ත පැන්න උන්ට හොඳ පාඩමක් ඉගැන්නුවා. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට සැලකුවා. මම සතුටු වෙනවා ජනාධිපතිවරයගේ යටතේ තොරතුරු තාක්ෂණය තියා ගත්ත එකට.මොකද ඒ ගැන එතුමට යම් දැනුමක් තිබෙනවා.

ප්‍රේමනාත් සී දොළවත්ත මහතා-මේ ටැබ් එක නොදුන්නේ අපි නෙවෙයි. මේ අය ගෙන එන්න හදපු ටැබ් එකේ වැරද්දක් නිසා. ටැබ් එකෙන් හොරකම් කරපු නිසයි.

හරීන් ප්‍රනාන්දු මහතා- ජනාධිපතිතුමනි ඔබතුමා තොරතුරු තාක්ෂණ ඇමැතිකමේ ඉන්න ගමන් තරුණ කොල්ලෙක් රාජ්‍ය ඇමැතිකමට දාන්න. ජනාධිපතිවරයට ෆේල් වෙන්න පුළුවන්. සමහර විට නරක මිත්‍ර ආශ්‍රය කළොත් ෆේල් වෙනවා. ඒ වුණාට නැවත රිපීට් කරලා ඊළග වසරෙදි සමත් වෙන්න පුළුවන්. ජනාධිපතිවරයට සුබ ප්‍රාර්ථනා කරනවා මෙම තාක්ෂණ ආයතන එතුමා යටතේ තබා ගැනීම ගැන.

කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා- හරීන් ප්‍රනාන්දු මහතා කතාව පටන් ගත්තෙම අද මඩ කතාවක් කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ එතුමා වෙනද කතා කරන්නේම මඩ ප්‍රහාර එල්ල කරමින් බව එතුමා පිළිගත්තා. මට නම් දැනුනෙම එතුමාගේ අද කතාවෙත් ලොකු වෙනසක් නැහැ. අවුරුදු හතර හමාරක් ෆේල් වුණ අය ලංකාව ඩිජිටල් කරණය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට උගන්වන්නට හදනවා.මේ වනවිටත් ඩිජිටල් කරණයට අදාළ තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් කැබිනට් පත්‍රිකා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ඩිජිටල් කරණයට අදාළ පියවර ගැනීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක වුණේ අයවැය ඉදිරිපත් කිරිමට පෙරයි. ඩිජිටල් කරණයට අදාළ කාර්ය සාධක බළකායක් ස්ථාපිත කරන ලෙස යෝජනා කිරීම වෙනුවෙන් හරීන් ප්‍රනාන්දු මහතාට මගේ ස්තූතිය පිරිනමනවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සාධනීය අදහස් පවා ගනිමින් රටේ පොදු අරමුණු සහ අභිවෘද්ධිය වෙනුවෙන් අපි ක්‍රියාත්මක විය යුතුයි.

මෙවර අයවැයෙන් ආරක්ෂක අමාත්‍යාංශයට විශාල මුදලක් වෙන්කර ඇති බවට. මම හොයලා බැලුවා, 2019 වසරට සාපේක්ෂව ජනාධිපති කාර්යාලය වෙන්කර තිබෙන්නේ මිලියන හාරසියයක් අඩුවෙන් වෙන්කර තිබෙන්නේ. ආරක්ෂක අමාත්‍යාංශයට වෙන්කරනවා කිව්වම මේ සියලු මුදල වෙන්කර තිබෙන්නේ හමුදාවට නෙවෙයි. ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශය යන කොටසට ඇතුළත් වන කරුණු ගණනාවක් තිබෙනවා. මේක ඇතුලේ ආපදා කළමනාකරණය, දිස්ත්‍රික් පරිපාලනය , අඩු ආදායම් ලාභි තරුණ තරුණියන් රැකියාගත කිරීමේ වැඩසටහනේ පුහුණුව සඳහාත් වෙන්කර තිබෙන්නේ මෙම වැය ශීර්ෂය යටතේ. මේ සියලු විෂයයන් වලට වෙන්කර ඇති සියලු මුදල් එකතු කරල අරගෙන ආරක්ෂක අමාත්‍යාංශයට විශාල මුදලක් වෙන්කර ඇති බවට ඔබතුමාලා චෝදනා කරනවා. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියන්නේ ආදර්ශයක් දී ඇති ජනාධිපතිවරයෙක්.අපි වගකිමෙන් කියනවා, මහජන දේපළ වලින් එක සතයක් හරි එතුමා අයුතු ලෙස පරිහරණය කරලා තිබෙනවනම් කියන්න කියලා. එහෙම ඔප්පු කරලා පෙන්වුවහොත් අපි ඕනෑම දඩුවමකට යටත් වෙන්නට සූදානම්. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුණාට පස්සේ හරි වෙන්න කලින් හරි කිව්වේ නැහැ ජනාධිපති මන්දිරයට එන්නේ නැහැ කියලා. හැබැයි එතුමා තවමත් ඉන්නෙ එතුමාගේ පැඟිරිවත්තේ නිවසේ. එතුමායි එතුමාගේ මැතිනියයි කිසිම දවසක තමන්ට ලැබුණු බලය කිසිම දවසක අයුතු ලෙස භාවිත කරල නැහැ. වත්මන් ජනාධිපතිවරයා බලයට පත් වන වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය තුළ විශාල සේවක පිරිසක් හිටියා. එතුමා එම පිරිස වෙනත් තැන්වලට අනුයුක්ත කළා. දැන් ජනාධිපති කාර්යාලයේ සේවය කරන්නේ 250යි.ජනාධිපතිවරයා තමන්ට වෙන් වූ බලය රාජකාරිමය කටයුත්තකට හැර වෙනත් පෞද්ගලික කටයුත්තක් වෙනුවෙන් යොදවා නැහැ.ඒ වගේම මහජන මුදල් ආරක්ෂා කිරිමේ වගකීම ජනාධිපතිවරයා අකුරටම ඉටුකර තිබෙනවා. මහජන ධනය ආරක්ෂා කිරිමේ වගකීම ජනාධිපතිවරයකුගෙන් ජනතාව අපේක්ෂා කරනවා. එය නිවැරදිව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉටුකර තිබෙනවා.

ජනාධිපතිවරයාට ජනවරම දුන්න ජනතාව ගැන බලාගෙන ඉන්නවා, මෙහි සෑබෑ චුදිතයන්ට දඬුවම් දෙන තෙක්. අන් ආගමිකයින්ගේ බෙල්ල කපන්න දහම් පාසල් වල උගන්වන්නේ නැහැ. දැනට ප්‍රහාර එල්ල කරපු සියලු දෙනා මද්‍රසා පාසල්වල ඉගෙනගත්ත අය. ජනාධිපතිවරයා මේ සිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. පාස්කු කොමිසමේ වාර්තාවත් එනවා හෙට අනිද්දට.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා (සජබ)-කර්මාන්ත ඇමැතිවරයා හොරණ ටයර් කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කළා. අපි සතුටු වෙනවා අපගේ රජය සමයේ ආරම්භ කළ මේ කර්මාන්ත ශාලාව නිරීක්ෂණයට විෂය භාර ඇමැතිවරයා සහභාගි වීම පිළිබඳව. . පසුගිය කාලේ විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් මේ ව්‍යාපෘතිය විවේචනය කළා.

ඇමැති විමල් වීරවංශ මහතා-අපි අනුන්ගේ ළමයින්ට උප්පැන්න සහතික දෙන්නේ නැහැ. හොඳ දේ හොඳයි කියන්න අපට පුළුවන්. පසුගිය කාලේ ආරම්භ කරපු හොඳ දේවල් අපි විවේචනය කරන්නේ නැහැ. පසුගිය කාලේ ඔබතුමාලයි මත්තලට වී ගෙනිහින් දැම්මේ.

නලින් බණ්ඩාර මහතා- අපි කර්මාන්ත ශාලා ඇති කළේ රජය හා ආයෝජකයා යන දෙපාර්ශ්වය ගැනම හිතලයි. දෙපාර්ශ්වයම ආරක්ෂා වන පරිදි අපි තීන්දු තීරණ ගත්තා. බිංගිරිය ආයෝජන කලාපයෙන්ද විශාල සෙතක් රටට සැලසෙනවා. මහේන්ද්‍රා සමාගම දැනටමත් කාර් එකලස් කරනවා.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ජාජබ)- ජනාධිපතිතුමා පත් වෙලා අවුරුද්දයි, කෙටිකාලයක් නිසා කියන්න බොහෝ දේ තිබ්බත් නොකියා ඉන්නම්. ඒත් අවධාරණය කළයුතු කාරණා කිහිපයක් තිබෙනවා. ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන සීමාව ඇතුළේ ඕන තරම් සෙල්ලම් කරන්න පුළුවන්. නමුත් මේ කාලය තුළ ව්‍යවස්ථාව උල්ලංඝණය කරපු අවස්ථා කීපයක් තිබෙනවා එතුමා විසින්. පළමුව, 20වන සංශෝධනයට පෙර ජනාධිපතිතුමාට ව්‍යවස්ථාව අනුව කිසිම ඇමැති ධුරයක් හොබවන්න බෑ. නමුත් එතුමා ආරක්ෂක අමාත්‍යධුරය තමන් අතේ තබා ගත්තා. දෙවනුව අප්‍රේල් මාසේ 30 දක්වා අතුරු සම්මත ගිණුමක් හරහා මුදල් සම්මත කරලා දීලා තිබ්බා. ඉන්පසුව මුදල් වියදම් කළේ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමාට ඒකාබද්ධ අරමුදලෙන් මුදල්වෙන් කරගත හැකිබව මම පිළිගන්නේ නෑහැ එහෙම බලයක් තිබ්බත් රට වෙනුවෙන් ණය ගැනීමේ බලයක් නෑ. ණය ගැනීම සඳහා මේ පාර්ලිමේන්තුව විසින් සීමාව අනුමත කළයුතුයි.

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා (පොජපෙ)-වන්මන් රජය යටතේ මේ වනවිටත් විශාල වැඩ කොටසක් සිදු වෙමින් තිබෙනවා. ඒ වගේම පාතාලය මර්දනය, කුඩු ව්‍යාපාරය තුරන් කිරීම ආදිය අතිශයින් වැදගත්. ඒ වගේම අධ්‍යාපනය, ජාතික ආරක්ෂාව ආදිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ වගේම පෙර පාසල් අධ්‍යාපනය ඇතුළු සමස්ත අධ්‍යාපන ක්‍රමවේදය ගැන අවධානය යොමුකර තිබෙනවා. ඒ වගේම පෙර පාසල් අධ්‍යාපනය විධිමත් කිරීමටත් පියවර ගත යුතුයි.

කොහොම වුණත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අවධානය යොමු කළ යුතු කරුණු ගණනාවක් තවත් තිබෙනවා. මධ්‍යම පළාතට පමණක් ගුරුවරු 5000ක් හිඟයි. ඒ නිසා ගුරු හිඟය පියවීමට අවශ්‍ය පියවර ගත යුතුයි.

පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා- 2021 වසර සඳහා අයවැය විවාදයේ කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා ශිර්ෂ 21 ක් අද ඉදිරිපත් කර තිබෙනවා. අනුර කුමාර දිසානායක මහතා පසුගිය රජයට උපකාර කළ අය. යහපාලන ආණ්ඩුව තුළ කෙටි කාලයක් අපිත් සිටියා. නමුත් ඉදිරියට යන්න බැරි බව තේරුණ නිසා අපි ඉවත් වුණා.අනුර කුමාර දිසානායක මහතාට අගමැති කාර්යාලය තුළ කාර්යාලයක් පවා තිබුණා.

අනුර කුමාර දිසානායක මහතා-අරුන්දික ඇමැතිවරයා මේ චෝදනාව මීට පෙරත් සිදු කර තිබුණා. එතුමා සිදු කළ ප්‍රකාශය මම මුළුමනින්ම බැහැර කරනවා.

අරුන්දික ප්‍රනාන්දු මහතා-එෆ් සී අයි ඩී එකට අවශ්‍ය නිලධාරින් තේරුවේ මේ කණ්ඩායම විසින්. රාජිත සේනාරත්න ඇමැතිතුමාත් එහි සිටියා.නිල වශයෙන් රාජිත එම කමිටුවේ හිටියේ නැහැ. එෆ් සි අයි ඩි එකට හෙට කැඳවන්නේ කවුද, අනිද්දා කැඳවන්නේ කවුද කියලා රෑට රෑට කතාකරලා තීන්දු කළේ මේ අය.

මේ රටේ ජනතාවගෙන් සියයට හැටකටත් වඩා වැඩි පිරිසක් ජනාධිපතිවරයාට ඡන්දය දුන්නා. පසුගිය ආණ්ඩුව වසර හතරක් පුරා කළ දෙයක් නැහැ. ඒ නිසා පසුගිය ආණ්ඩුව ෆේල්. ඒ නිසයි ජනතාව විසින් ප්‍රතික්ෂේප කළේ. අද ජනාධිපතිවරයා පමණක් නෙවෙයි, ජනාධිපති ලේකම් ධුරය දරන්නෙත් පොළොවේ පයගහල ඉන්න ලේකම්වරයෙක්.අද අපට පේනවා, කාලෙකට පස්සේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. දේශීය ආර්ථිකය, කෘෂි කර්මාන්තය, නිෂ්පාදන ආර්ථිකය, අපනයන කෘෂි ප්‍රතිපත්තිය අනුගමනය කරන්නට වත්මන් ජනාධිපතිවරයා අවධානය යොමු කර තිබෙනවා. කහ ගැන කතා කරනවා. කහ වගා කළ හැකියි. ජනාධිපතිවරයා තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව අනුව කටයුතු කිරීමට එතුමා තීරණය කර තිබෙනවා.

කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සි අලවතුවල මහතා (සජබ)-අපගේ රජය යටතේ කොමිෂන් සභා ස්වාධීන කර තිබුණා. නමුත් වත්මන් රජය යටතේ මෙම කොමිෂන් සභාවලට පත් කරන්නේ ජනාධිපතිවරයාට අභිමත පිරිසයි.

දිවා ආහාරයෙන් පසුව නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා මුලසුනට පැමිණියේය.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා (ස.ජ.බ.)-කොරෝනා මර්දනය සඳහා කොවිඩ් අරමුදලෙන් සියයට 16 යි භාවිතා කර තිබෙන්නේ. හැම මන්ත්‍රී කෙනෙක්ම කොවිඩ් ව්‍යසනය ගැන කතා කරනවා. කුරුණෑගලින් වගේම රට පුරා දිස්ත්‍රික්කවලින් මේ ආසාදිතයන් වාර්තා වෙනවා. කොරෝනා සමාජගත වෙලා තිබෙන බව නොකියා සත්‍ය වසන් කිරීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ කුමක්ද? කොවිඩ්වලට මීට වඩා මුදලක් වෙන් කළ යුතුයි. පාර්ලිමේන්තුවේ සේවක සේවිකාවන් විශාල කාර්යයක් කරනවා. ඔවුන්ගේ සුබසාධන කටයුතු සම්බන්ධයෙන් මීට වඩා බැලිය යුතුයි. විපක්ෂයටත් ජනතාව වෙනුවෙන් විශාල කාර්යයක් මේ පාර්ලිමේන්තුව තුළ කළ යුතුව තිබෙනවා. ආණ්ඩු පක්ෂ කාර්යාලයට වගේම විපක්ෂ නායක කාර්යාලයටත් පහසුකම් ලබාදිය යුතුයි.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා (පො.ජ.පෙ.)-ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමේ දිශාවට ආණ්ඩුව ගමන් කරන බව ජනතාවට වැටහෙනවා. කිසියම් ව්‍යාපෘතියක් අවසන් කිරීමෙන් පසුව හෝ ආරම්භ කිරීමේදී දේශපාලනඥයාගේ මුහුණත් තහඩු ගහන එක සම්පූර්ණයෙන්ම ගෝඨාභය ජනාධිපතිතුමා නැවැත්වූවා. සාම්ප්‍රදායික දේශපාලනයේ යෙදුණු අපටවත් එය කරන්න බැරි වුණා. රාජ්‍ය ලාංඡනය පමණක් කාර්යාලයේ ගැසිය යුතු බවට එතුමා පුරුදු කළා. එය ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමේ යහපත් අරමුණක්. පසුගිය දිනවල තාප්පවල ලස්සන චිත්‍ර අඳින්න තරුණයන් යොමු වුණා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියම නායකත්වය නිසා තමයි තරුණයන් එහෙම කළේ. යහපත් ඵලදායි පුරවැසියෙක් බිහි කිරීමේ කටයුතු එහෙම සිදු වුණා.

වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා (දෙ.ජා.ස.)

—————————

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී පියුම් අනූප පැස්කුවල් මහතා (පො.ජ.පෙ.)-ආගමික සිද්ධස්ථාන සුරැකීම අපි කරනවා. සෞභාග්‍යයේ දැක්ම වන්නේ සියලු ජනතාවට හිතකර පරිසරයක් ගොඩනැඟීමයි. පාස්කු ප්‍රහාරයේ අන්තවාදී ක්‍රියාවන් සම්බන්ධයෙන් වාර්තාව දෙසැම්බර් මාසයේ එනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ ස්ථාපිත කොවිඩ් අරමුදල ගැන විපක්ෂය ඇහුවා. එම අරමුදලේ අයවැය ඉතා පැහැදිලිව මේ සභාවට ඉදිරිපත් කර තිබෙනවා. සෞභාග්‍යයේ ප්‍රතිපත්ති එකින් එක ක්‍රියාත්මක වෙමින් පවතිනවා. වසවිස ආහාර වෙනුවට දේශීය ආහාර අවශ්‍ය බව ජනතාව කිව්වා. දරිද්‍රතාව අවසන් කරන්න ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා (මු.කො.)

—————————-

පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය මුලසුනට පැමිණියාය.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ජනක තිස්සකුට්ටිආරච්චි (පො.ජ.පෙ.)-89 භීෂණය කාලයේ මට අවුරුදු 9 යි. ඒ කාලයේ අපි විඳපු පීඩනය මට තාමත් මතකයි. එහෙව් අතීතයක් ඇති අනුර කුමාර දිසානායක කට උල් කරලා අද අපට උපදෙස් දෙන්න කතා කරනවා. මාර්ග කිලෝමීටර් ලක්ෂය ගෙනාවේ නිකං නොවේ. ගමේ දේවල් නගරයට ගේන්නත්, නගරේ දේවල් ගමට ගෙනියන්නත්. රනිල් මහතා මහ බැංකුව හොරකම් කළා. එතැනින් නතර නොවී සංවර්ධනය වෙනුවට 19 වැනි සංශෝධනය ගෙනාවා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා (ස.ජ.බ.)-මහ බැංකු හොරුන් අල්ලනවා කියලා බලයට පත් වූ මේ ආණ්ඩුව මේ වන තෙක් ඒ ගැන කිසි කතාවක් නැහැ. ව්‍යාපාර ක්ෂේත්‍රයේ ලොකු බිඳ වැටීමක් තිබෙනවා. ඔවුන් නඟා සිටුවන ආකාරය ගැන අයවැයේ සඳහන් නැහැ.

විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතා – ආගමික සිද්ධස්ථානවලට පවා බදු ගහපු ආණ්ඩුවක සාමාජිකයෝ අද බදු ගැන කතා කරනවා. 4.2 ක වර්ධනයක් තිබුණ කෘෂිකර්මාන්තය සෘණ අගයක් දක්වා පහළ වැට්ටුවා. පක්ෂ භේදයකින් තොරව උපාධිධාරීන් 57000 කට රැකියා ලබා දුන්නා. දිළිඳු පවුල් 100000 රැකියා ලබාදීම සහන නෙවෙයි.

චමින්ද විජේසිරි මහතා – අපි විරුද්ධයි කියන එක සටහන් වෙලා ඉන්නේ.

කංචන විජේසේකර මහතා – මේ අයගේ අයවැයේ තිබුණා ශීතාගාර හදනවා කියලා. එක ශීතාගාරයක් හැදුවේ නැහැ. ශිෂ්‍යාධාර දෙනවා කියලා. කොහේද ශිෂ්‍යාධාර දුන්නේ.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා. (ස.ජ.බ)- ජනාධිපතිවරයා ආර්.එම්.වී එකට ගියා. වෙළෙඳ පොළට ගියා ඒවා කාර්යක්ෂම වුණාද. අගමැතිවරයා අයවැය හදලා තිබෙන්නේ තමන්ගේ ගජ මිතුරන් ආරක්ෂා කරන්න පමණයි.

අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා – හේෂා මන්ත්‍රීවරයා කිසිම පදනමක් නැති බොරුවක් කොහොම කිව්වද කියලා හිතාගන්න බැහැ.ජනාධිපතිවරයා කවදාවත් අධිකරණයට ඇඟිලි ගසලා නැහැ. මම ජනාධිපතිවරයගේ නඩුවලට පෙනී සිටියා. මේ අය ගෝඨාභය, මහින්ද, නාමල්, සහ චමල් මහත්වරුන්ට නඩු දැම්මා. කොවිඩ්වල යම් පාලනයක් තිබෙනවා කියලා සරත් ෆොන්සේකා මහත්මය පවා පිළිගෙන තිබෙනවා..

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා. (ස.ජ.බ)-මම බෞද්ධයෙක් විදියට මේ රජයෙන් ඉල්ලා සිටිනවා මුස්ලිම් ජාතිකයන්ට ඔවුන්ගේ ආගමට අනුව භූමදානය කරන්න අවස්ථාව දෙන්න කියලා.

අලි සබ්‍රි මහතා.- භුමදානය සඳහා අවසර දුන්නා කියලා මම කිව්වේ නැහැ.

සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා – විපක්ෂයේ අය අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරනවා.. පසුගිය ආණ්ඩුව පාලනය කළ අනුර කුමාර දිසානායක මහත්මයා කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස ඉද්දි ඔහු ළග හිටිය ආනන්ද විජේපාල කියන්නේ කවුද කියලා රටට හෙළි කරන්න කියලා අප ඉල්ලා සිටිනවා.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා. (ස.ජ.බ)

කොවිඩ් ගැන ආණ්ඩුව කියන සමහර දේවල් පිළිගන්න පුළුවන්. එහෙත් සමහර කාරණා පිළිගන්න බැහැ. මේ අය අධිකරණයට ඇඟිලි ගහන්නේ නැහැ කියනවා. ඒත් පිල්ලෙයාන් මන්ත්‍රීවරයා ගොඩනැගිලි විවෘත කරන්න යනවා. එල්ලුම් ගහට නියම කරපු අය පාර්ලිමේන්තුවට එනවා. එතකොට කොහොමද අධිකරණය ස්වාධීන වෙන්නේ.

වරාය හා නාවුක කටයුතු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා- ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මේ රටේ කිසිම දේශීය සම්පතක් විකුණන්නේ නැති බව වගකීමෙන් කියනවා. අගමැතිවරයා සමඟ නීති විද්‍යාලයේ හිටපු නිසා ඊවා වනසුන්දර නීතිපති තනතුරට සුදුසු නැහැ.මේ විපක්ෂය කියන විදිහට.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා (ස.ජ.බ.)-තිත්ත ඇත්ත මම හැමදාම කතා කරනවා. ෆවුසිගේ වාහනය ගැන කිව්වාම ඒ හඬපට දුන්නාම ඔහු මට පාර්ලිමේන්තුවේදී බැන්නා.

උදය ගම්මන්පිල මහතා-උසස් අධිකරණයේ විනිසුරුවන් සම්බන්ධයෙන් මේ සභාවේ අදහස් දක්වන්න අයිතියක් නැහැ. ඒ විනිසුරුවරයාට එරෙහිව ගේන දෝෂ­ාභියෝගයකින් පමණක් අපේ ස්ථාවර නියෝග අනුව කතා කරන්න පුළුවන්.

රන්ජන් රාමනායක මහතා- ගෝඨාභය මහතාගේ නඩු 35 කට පෙනී සිටිනවා කියලා අධිකරණ ඇමැති අද කිව්වා. ඒ වගේ දේ මේ සභාවේ කියන එක හොඳ නැහැ. තම සේවාදායකයා ගැන කියන්න හොඳ නැහැනේ.

රෝහිත අබේගුණවර්ධන මහතා-අපට නඩු දැම්මේ මෙයා සුහදශීලිව අඬ ගැසූ නෝනා. අර ෆ්‍රන්ට් සයිඩ් බැක් සයිඩ් ගැන කියලා අඬ ගැසුවේ. අපි ඒ නඩුවලට මුහුණ දෙනවා.

රාමනායක මහතා-මේක ෆ්‍රන්ට් සයිඩ් බැක් සයිඩ් ප්‍රශ්නයක් නොවේනේ.

රෝහිත අබේගුණවර්ධන මහතා-දිලිත් ජයවීරට උත්තර දෙන්න මෙතැනට එන්න බැහැ.

රාමනායක මහතා-ධම්මික හේමපාල ගැන මෙතැන කතා කළේ ඔබ. එතකොට ඔහුටත් මෙතැනට ඇවිත් උත්තර දෙන්න බැහැනේ.

ගම්මන්පිල මහතා-91 ඊ ඒ යටතේ අධිකරණයට විෂය වන දෙයක් කතා කරන්න බැහැ. ඒ ගැන මූලාසනය අදාළ කථිකයාට දැනුම් දිය යුතුයි. මූලාසනය කියන දෙය කථිකයා ඇසුවේ නැත්නම් ඔහු අසුන්ගන්වන්න මූලාසනයට පුළුවන්.

රාමනායක මහතා-නීතිය හැමෝටම එකක් විය යුතුයි.

පාර්ලිමේන්තුව යළි රැස්ව නැවත කාරක සභාව රැස් විය.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා- රිෂාඩ් බදියුදීන් තමා සජිත්ගේ ආණ්ඩුවේ අනුග්‍රාහකයා. කිරිඇල්ල මහතා එදා මෙහි මරාගෙන මැරෙන්න ගියා බදියුදීන් ගෙනාවේ නැහැ කියලා. එහෙම නොකළා නම් එයාලට මුදල් ලැබෙන්නේ නැහැ.. වෘත්තීය සමිතියකින් ලක්ෂ 14 ක් ගත්තා කියලා මට චෝදනා කළා. ඔබතුමා අධිකරණය අවභාවිතා කළා. රනිල් මහතා සමඟ විජයදාස, අජිත් සමඟ අරලියගහ මන්දිරයේ ඔබතුමා රැස්වුණා. එතැනදී සියලු දේ සැලසුම් කළා. එතැනදී තමයි කාටද නඩු දාන්නේ කවුද අත්අඩංගුවට ගන්නේ කියලා කතා වුණේ. නිකං රන්ජන්ට සී.අයී.ඩී. ලොක්කා කතා කරයිද බුදු සර් කියලා. රනිල් නියෝජනය කළ නිසා තමයි ඔහුට සර් කියලා කතා කළේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුලසුනට පැමිණියේය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා-අවුරුද්දක් ජනාධිපතිවරයා වැඩ කළා. වැය ශීර්ෂ 25 ක් ගැන අද කතා කරන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ වියදම් 2019 සහ 2020 වත්මන් ජනපති ගෝඨාභය මහතාගේ කාලයේ ඒවා මම ඉදිරිපත් කරනවා. විදේශීය ගමන් සඳහා 2019 මිලියන 21 යි. 2020 රුපියල් 377,000 යි. ලිපිද්‍රව්‍ය සඳහා 2019 මිලියන 39 යි. 2020 මිලියන 26 යි. ඉන්ධන සඳහා 2019 මිලියන 271 යි. 2020 මිලියන 90 යි. ආහාරපාන නිල ඇඳුම් සඳහා 2019 මිලියන 7 යි. 2020 මිලියන 2 යි. වාහන නඩත්තුව සඳහා 2019 මිලියන 335 යි. 2020 මිලියන 90 යි. යන්ත්‍රෝපකරණ හැදීම සඳහා 2020 මිලියන 33 යි. ගොඩනැඟිලි නඩත්තුව සඳහා 2019 මිනියන 31 යි. 2020 මිලියන 8 යි. ප්‍රවාහන සඳහා 2019 මිලියන 16 යි. 2020 මිලියන 5 යි. ජනාධිපති ලේකම් කාර්යාලයේ වියදම 2019 වසරේදි රුපියල් බිලියන 3.1 යි. 2020 වියදම වන්නේ රුපියල් බිලියන 1.2 යි. වෙනස රුපියල් බිලියන 1.8 යි. මේකට තමයි ජනතාව ඡන්දය දුන්නේ.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා-ජනාධිපතිතුමා, අගමැතිතුමා යටතේ තිබෙන පාර්ලිමේන්තුව ඇතුළු කොමිසන් සභා ගැන දිගු විවාදයක් සිදු වුණා. කථානායකතුමාට මම ස්තුතිවන්ත වෙනවා. අරාජික වූ රටක් බවට මේ රට පත්ව තිබුණා. ජනාධිපතිවරයා රට බාරගෙන වසරක් ගතවීමත් සමඟ දරුණුම අර්බුදයකට මුහුණ දෙන්න වුණා. ජනාධිපතිතුමා ඊට නායකත්වය දෙමින් ඇති කළ කළමනාකරණ විසඳුම් මාලාව අගය කළ යුතුයි. වෛද්‍යවරුන්, ආරක්ෂක හමුදාව, රාජ්‍ය සේවාවේ විවිධ අංශවලට ඒ සම්බන්ධයෙන් අපි ස්තුතිවන්න විය යුතුයි. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්තුතිය සාම්ප්‍රදායික ලෙස මම පුද කරනවා. අගමැතිතුමාගේත් ස්තුතිය පුද කරනවා. කථානායකවරයාගේ විෂය පවා අද කතා කළා. නොසිතූ වසංගතයක් හමුවේ මුහුණ දීමට හරිම අමාරුයි. පසුගියදා තද වැස්ස නිසා පාර්ලිමේන්තුවේ සේවක පිරිස් රැගෙන ගිය බස් රථය පොකුණට වැටුණා. ඒ සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. එවැනි සිද්ධියක් නැවත නොවෙන්න ආරක්ෂක ක්‍රියාමාර්ග ගන්නවා. අවශ්‍ය සහන දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here