අධිවේගී මාර්ග සංවර්ධනය සමාජ – ආර්ථික ප්‍රවර්ධනයට සුවිශාල රුකුලක් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

0
63

අධිවේගී මාර්ග සංවර්ධනය හරහා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ප්‍රවර්ධනයට ලැබෙන දායකත්වය සුවිශාල බව මහා මාර්ග අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නායකත්වයෙන් සහ විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදුව පිවිසුමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීවේය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති අතුරින් වැඩි මුදල් ප්‍රමාණයක් රජය මාර්ග සංවර්ධනය සඳහා වෙන්කර දී තිබේ. පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මහ මැතිවරණය ආදී සියලුම මැතිවරණවලදී මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය මැතිවරණ කොට්ඨාසයේ ජනතාව වැඩිම ජන්ද ප්‍රතිශතය වත්මන් රජයට ලබාදී තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදුව පිවිසුම හි සියලු ඉදිකිරීම් මාස හයකින් අවසන්කර ජනතා අයිතියට පත්කිරීමට නියමිතයි. එවිට ප්‍රාදේශීය සංවර්ධනය තවදුරටත් වේගවත් කළ හැකියි.

මෙරට මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් වත්මන් රජය දියත්කර තිබේ. එම සංඛ්‍යාවෙන් කි.මි. 25000ක ඉදිකිරීම් කටයුතු දැනටමත් අවසන්කර තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා – ජනතාවට සිහිනයක්ව පැවති අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘති අගමැති මහින්ද රාජපක්ෂ හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් වත්මන් රජයන් සැබෑවක් බවට පත්කර තිබෙනවා.

විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා – වැඩබිමක් බවට පත්ව තිබු ශ්‍රී ලංකාව 2015 බලයට පත් වු යහපාලන රජය මුඩු බිමක් බවට පත්කළා. හිටපු ජනාධිපති හා වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් රජය ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති අසාර්ථක ව්‍යාපාර බවට පත්කිරීම පැවති යහපාලන ආණ්ඩුවේ අරමුණ වුණා. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගොඩනැගිලි වල වී ගබඩාකිරීමෙන් යහපාලන රජය අනුගමනය කළ දුෂ්ට ක්‍රියාමාර්ග පැහැදිලියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් රජය ශ්‍රී ලංකාව නැවතත් සංවර්ධන දේශයක් බවට පරිවර්තනයකර තිබෙනවි. කොරෝනා වසංගතය මර්දනය සඳහා රජය ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙළ සුවිශේෂයි. මෙම වසංගත රෝගය හේතුවෙන් ශ්‍රී ලංකාව පමණක් නොව අමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, රුසියාව හා චීනය ආදී ලෝක බලවත් රටවල ආර්ථිකය රින තත්ත්වයට පත් වී තිබෙනවා.

දැනට ශ්‍රී ලංකාවේ නිවාස 36000 පමණ විදුලිය පහසුකම් නැති බව සඳහන් කළ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වී දෙවන සංවත්සරයත් සමඟ විදුලිය පහසුකම් නැති සෑම නිවසකටම එම පහසුකම් ලබාදීම විදුලි බල අමාත්‍යාංයේ අරමුණ වී තිබේ.

මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලාංසා, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නිපුණ රණවක, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ යන මහත්වරුන් ද මේ ජනහමුව ඇමතූහ.

තිහගොඩ සමුහ – පී. පී. ජී. සුගතදාස සහ දෙයියන්දර සමූහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here