පුහුණු දැල්වල පන්දු යවන්න ඇවිත් ජැෆ්නා කණ්ඩායමට එක්වූ කිලිනොච්චි එක්ස්ප්‍රස්

0
49

තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් පිලේ පිතිකරුවන්ට දැල්වල පුහුණුවීම් සඳහා සහායක පන්දු යවන්නකු ලෙස කටයුතු කිරීමට එක්වූ කිලිනොච්චියේ සෙබස්තියන්පිල්ලේ විජයරාජ්ට දැන් එම කණ්ඩායමේ ස්ථානයක් හිමිවී තිබේ.

පැයට කිලෝමීටර් 140ක වේගයෙන් පන්දු යවන මේ යොවුන් වේගපන්දු යවන්නාගේ පන්දු යැවීමේ ඉරියව් ලසිත් මාලිංගට බෙහෙවින් සමාන වන අතර, ඔහු පුහුණුවීම් අතරතුර පිතිකරුවන්ට පන්දු යැවූ විලාශය අධ්‍යයනය කිරීමෙන් පසු පුහුණුකරුවන්ගේ අදහස් මත ඔහු කණ්ඩායමට තෝරා ගැනීමට එහි හිමිකරුවෝ කටයුතු කළහ.

කිලිනොච්චි එක්ස්ප්‍රස් නමින් එම පළාතේ ප්‍රකට මේ යොවුන් වේගපන්දු යවන්නා එල්පීඑල් තරගාවලියට යාපනයෙන් එක්වූ සිවුවැනි ක්‍රීඩකයා ද වේ.

ඊට පෙර විජයකාන්ත් වියස්කාන්ත්, කනගරත්නම් කපිල්රාජ් සහ තිවෙන්දිරම් විනෝෂන් එම අවස්ථාව උදා කරගත්හ.

සිය උපන් බිම වන කිලිනොච්චියේ සැහැල්ලු පන්දු ක්‍රීඩාවේ නිරතව සිටි විජයරාජ් මේ දක්වා කිසිදු ප්‍රධාන මට්ටමේ දේශීය තරගයකට ක්‍රීඩා නොකිරීම විශේෂත්වයකි. නමුත් අවස්ථා කිහිපයකදීම විවිධ ක්‍රිකට් පුහුණු වැඩමුළු සඳහා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධවීමට ඔහුට අවස්ථාව ලැබී තිබිණි.

‘පොඩි කාලේ ඉඳලම මම ක්‍රිකට් ගහන්න ආසයි. මට වේගයෙන් පන්දු යවන්න පුළුවනි. ඒත් මට තියෙන ආර්ථික දුෂ්කරතා නිසා ලෙදර් පන්දුවක් ගන්නවත් වත්කමක් තිබුණේ නෑ. අපේ ගමේ කෙනෙක් මට ලෙදර් පන්දුවක් අරන් දුන්නා. ඒ පන්දුවෙන් මම කොහොමහරි පන්දු යවන්න පුරුදු වුණා. මගේ එකම අරමුණ අනාගතයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම වේගපන්දු යවන්නා වීමයි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් රටට කීර්තියක් අත්කර දීමයි.‘ ඔහු එසේ කියයි.

 

ෆවුස් මොහොමඩ්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here