ආලකමන්දාව නොකියූ විනීතාගේ කතාව

0
59
නොවැම්බර් 26, 2020

අම්මාගේ උණුසුම යනු ඇයට හීනෙන්වත් නොදැනුණු සුවයක් පමණි. අවුරුද්දක බිළිඳීයක ලෙස පුංචි බණ්ඩියට බඩගිනි දැනී හඬද්දී එරෙන කිරි කඳුළකින් ඇගේ අහිංසක දෑසේ කඳුළු පිස දමන්නට ඇයගේ මව මෙලොව සිටියේ නැත. නොනවත්වා හඬන දූ සිඟිත්තිය නළවා ගත නොහී ඇගේ පියා ඇය රැගෙන කළුගං ඉවුරේ සක්මන් කළේය. අත්තම්මා චූටි දූ නැන්දනියට බාර කළේ තරුණ වියේදීම බිරිය අහිමි වූ තම පුතුගේ ජීවිතයට නැවුම් බලාපොරොත්තුවක් එක් කරගන්නට මැය බාධාවක් නොවිය යුතු නිසාය. හුරුබුහුටි පෙනුමින් යුතු කෙළි පොඩ්ඩිය දැරණියගල කනිෂ්ඨ විද්‍යාලයට ඇතුළු වූවාය. ගුරු දෙගුරු සමිතිවලට අම්මා තාත්තා එක්ක එන්නැයි කී විට ඇයට කළ හැකිව තිබුණේ පන්තිය පිටුපසට වී හැඬීම පමණි. පහේ ශිෂ්‍යත්වය සමත් වූ ඇයට දැරණියගල සිරිසමන් මධ්‍ය මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනීමේ වාසනාව ලැබිණි. එහෙත් පාසලේ අවශ්‍යතා ඇය නැන්දලාට කීවේ නැත. පොතක් ඉවර වූ විට යහළු යෙහෙළියන් කළේ ඔවුන්ගේ පොත්වල මැද පිටු කඩා ඇයට පොතක් සකසා දීමය. ඒ සියලු දුක් ඇගේ අනාගතය හැඩ කරන පන්නරය බව එදා ඇයට නොදැනෙන්නට ඇත. කුමන බාධක මධ්‍යයේ වුවද විෂය කටයුතු මෙන්ම විෂය බාහිර කටයුතුවලටද සමත්කම් පෑ ඇයට යහළු යෙහෙළියන් මෙන්ම ගුරුවරුන් පටබැඳී නම වූයේ පාසලේ ගායිකාවයි. මාමාගේ රාජකාරි අවශ්‍යතා මත කළුතර පදිංචියට ආ පසු උසස් පෙළ සඳහා ඇය ඇතුළත් වූයේ කළුතර ඥානෝදය මහා විද්‍යාලයටය. එහිදී ද ඇයගේ ගායන හැකියාව නිසා පාසල් ගායන කණ්ඩායමට එක් වන්නට අවස්ථාව ලැබිණි. උසස් පෙළට සංගීතය කළ එකම අපේක්ෂිකාව වූ ඇය ඒ විෂයයට විශිෂ්ට සාමාර්ථ්‍යයක් ලබමින් සමත් වූවාය.

නමටම ගැළපෙන අයුරින් විනීතව හැසිරුණු නිසාම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකා තනතුරට විනීතා මීගහවත්ත තේරී පත් කෙරිණ. එසේම දහම් පාසලේ හොඳම ශිෂ්‍යාව වූයේද විනීතාමය.

කෙනකුගේ දෛවය කෙනකු රැගෙන යන්නේ කොතැනටදැයි කිව හැක්කේ කාටද? තමන්ගේ ලෙයින් උපන් දරුවන් තරමටම සහෝදරයාගේ දැරිවියට ආදරය සෙනෙහස දිය හැකි වූවා නම් මේ කතාව වෙනස් වන්නටද ඉඩ තිබිණි. ජීවිතයේ දුක්ගැහැට දරාගත නොහුණු විනීතා සිය අත්තම්මා සමඟ කොළඹ මාලිගාවත්තේ නෑගෙදරක් සොයා යන්නේ රැකියාවක් සේම සහනදායී සෙවණක් එහි ඇතැයි සිතාය. ගෙන්දගම් පොළොවට පය තැබූ දා සිට තත්ත්වය කබලෙන් ළිපට වැටුණා වැනි විය. ඇය ඒ නිවෙසේ සියලු වැඩරාජකාරී කරන අතර අහල පහළ ළමයින්ට උපකාරක පන්තිද පැවැත්වූවාය. එයින් ලැබෙන සොච්චමෙන් එදිනෙදා අවශ්‍යතා පිරිමසා ගත්තාය. මේ අතර ඇය අහම්බෙන් මෙන් පුවත්පත් දැන්වීමක් දුටුවේ මහරගම කලාශ්‍රමයට නවක සිසුන් බඳවා ගන්නා බවටයි. විශාරද මාලනී බුලත්සිංහල ගුරුතුමිය පැවැත් වූ ඒ පන්තිවලට ඇයට සහභාගී විය හැකි වූයේ මාස දෙකතුනක් පමණි. පන්ති ගාස්තු ගෙවිය නොහැකි වූ විට ඇය එය සිතින් අතහැරියාය. එහෙත් ගායනයට දක්ෂ මේ සිසුවියගේ නොපැමිණීම ගැන තැවුණු ගුරුතුමිය ශිෂ්‍යාව සොයා මාලිගාවත්තට ගියාය. විනීතාගේ සැබෑ ලෝකය දෑසින් දුටු මාලනිය නොමිලේ පන්තියට සහභාගී වන ලෙස මේ සිසුවියට ඇරයුම් කළේ ඇගේම ඇතැම් ගීවලින් කියැවෙන චරිතයකට පිහිටක් වන්නා සේ සිතාගෙන විය හැකිය. එහෙත් ඒ ආරාධනය තරුණ විනීතාගේ අනාගතය සම්පූර්ණයෙන් වෙනස් කළ පළමු පියවරයි.

“මාලනී මිස් මට අම්මා කෙනෙක් වගේ සැලකුවේ. මිස් නිසා මම ගාන්ධර්ව මධ්‍යම සහ භාත්ඛණ්ඩේ විශාරද උපාධිය සම්පූර්ණ කරලා සංගීත ගුරුවරියක් ලෙස වසර දෙකක් ශ්‍රීමත් බාරොන් ජයතිලක විද්‍යාලයේ සේවය කළා. විනීතා මීගහවත්ත වුණු මම විනීතා කරුණාරත්න වුණෙත් මාලිනී මිස්ගේ යෝජනාවක් නිසා.”

සම්මානනීය රූපවාහිනී වැඩසටහන් ජ්‍යෙෂ්ඨ නිෂ්පාදිකා විනීතා කරුණාරත්න කෘතඥශීලීව සිහි කළාය.

“මම හෙව්වේ මගේ රාජකාරිය තේරුම්ගන්න පුළුවන් ස්වාමි පුරුෂයෙක්. මාලනී බුලත්සිංහල මහත්මිය තමයි අම්මා කෙනෙක් වගේ හොයලා බලලා මට ගුවන්විදුලියේ සේවය කළ නිහාල් කරුණාරත්න විවාහ කර දුන්නේ. අපේ පුතා රවිඳු වගීෂ කරුණාරත්න. ඔහු සැලළිහිණි කුමරා වුණා, ඒ වගේම මාධ්‍ය රූප ශිල්පියෙක්. මටත් වඩා ඉදිරියෙන් ලොකු ගමනක් යයි කියා සිතෙන, නවීන තාක්ෂණය සමඟ කටයුතු කරන උපාධිධාරියෙක්.”

විනීතා කරුණාරත්න අද අපේ කතා නායිකාව වන්නට හේතුව ඇයගේ වචනයෙන්ම කියතොත් ඇගේ දෑත මෙන් ඇයට ශක්තිය දෙන රූපවාහිනී වැඩසටහන් ද්වයකි. එකක් මෙරට කලාකරුවන්ගේ ජීවිත කතාව මෙන්ම ඔවුන්ගේ නිර්මාණ පිළිබඳ පුළුල් විග්‍රහයක යෙදෙන ආලකමන්දාවයි. අනෙක භාරතීය ගී මිහිරෙන් රසික සවන්පත් සනහන සුහානී රාත්ය. මේ ද්වයම ජාතික නාළිකාවේ බොහෝ ජනප්‍රිය වැඩසටහන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් ඒවා පිළිබඳ කතාව ඉස්මතු වන්නේ විනීතා කරුණාරත්න රාජකාරියෙන් විශ්‍රාම ගැනීමේ දිනය කෙමෙන් කෙමෙන් ළං වද්දී මේ වැඩසටහන්වලට නැවතීමේ තිත තැබේදැයි සැකයක් රසිකයන් අතර මතුවන නිසාය. එවන් ආස්ථානයකට රූපවාහිනී වැඩසටහනක් ගෙන ඒමට ඇය මුල පිරූ හැටි අපූරුය.

“ගුරු වෘත්තිය අතරම මම රූපවාහිනී නිවේදක පරීක්ෂණ තුනකින් සමත් වෙලා නිවේදිකාවක් විදිහටත් කටයුතු කරන්න ගත්තා 80 දශකයේ මුල හරියේ. මම මුලින්ම නිවේදන කටයුත්තකට ආවේ චීත්ත ගවුමක් ඇඳගෙන. ඒත් ටික කාලෙකින් නිවේදන කටයුතු මඟ ඇරිලා ගියා. මගේ ජීවිතේ වගේම පරිසරයේ තිබුණු පාළුව තනිකම නිසාදෝ මම කවි, නිසඳැස්, කෙටිකතා ලියන්න ගත්තා. ඒවා තරුණි, දිනමිණ වගේ පත්තරවල පළ වුණා. ගුවන්විදුලියේ ලාලන රේඛා, කාන්තා කළඹ වගේ සවස 2ට විකාශය වන කාන්තා වැඩසටහන්වලටත් මම ලීවා. ඒ අතර ගුවන්විදුලි සරල ගී හා නූර්ති ගී ශිල්පිනියක් විදිහටත් කටයුතු කළා. රූපවාහිනියට යන එන වෙලාවක හෙන්රි ජයසේන සර් දැකලා ඇහුවා රූපවාහිනියට සම්බන්ධ වෙන්න කැමතිද කියලා. ඒ 1987 අවුරුද්දේ. මම වැඩකළේ රුපියල් 45/- දවස් පඩියට. ටික කාලයක් රූපවාහිනී තැටි පුස්තකාලේත් සේවය කළා. සංගීත අංශයේ ප්‍රධානි සෝමසිරි ඉලේසිංහ සර්, අජිත් ජයවීර වගේ අය සමඟ වැඩ කරන්න ලැබුණා. පස්සේ ජෝජ් කීට් මහත්මයාගේ පුතා සචින්දත් කීට්ගේ සංගීත වැඩසටහන්වල නිත්‍ය නිෂ්පාදන සහායිකා ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. අද වවනතුරුත් මට ඉතුරු වුණේ ඒ අත්දැකීම් විතරයි. මොකද මට කවදාවත් රූපවාහිනියෙන් දේශීය හෝ විදේශීය පුහුණුවක් සඳහා ශිෂ්‍යත්වයක්වත් හිමි වෙලා නැහැ. මම තමයි රූපවාහිනියේ කිසිම පුහුණුවක් නොලැබූ එකම ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරිය. වසර 31ක සේවා කාලයක් තුළ මම හැමදාමත් නිෂ්පාදකවරියක්ම පමණයි.” ඇය සිනාසෙමින් පැවසුවාය.

“සහාය නිෂ්පාදක තනතුරේදි අපි මොනවා කළත් නම දාන්න දෙන්නේ නැහැ. ඒත් මම බජන් ගී, නූර්ති ගී, මියුරස ගී, නිම්නාද වගේ වැඩසටහන් කළා. තනිවම නිෂ්පාදන කටයුතු ආරම්භ කළේ කවිමඩුව සහ කවිනඩුව වැඩසටහන්වලින්. ලංකාවේ රූපවාහිනී ඉතිහාසයේ පළමුවැනි ගීත දර්ශකය ගී හත වැඩසටහන ආරම්භ කළෙත් මම. එහි වැඩසටහන් 300ක් පමණ විකාශය වුණා. මොහාන් රාජ් මඩවල නිවේදකයකු විදිහට කලඑළි බසින්නේත් ඒ වැඩසටහනින්.

නුග සෙවණ පළමුවැනි සජීවී වැඩසටහන කළෙත් මම.”

 

එපමණක් නොව සංගීතඥ රවි ශංකර්, බී. දාස්ගුප්තා, සෝමා ටී. චැටර්ජි, අදූර්ගෝපාල් ක්‍රිෂ්ණන් වැනි ඉන්දීය කලාකරුවන් ලංකාවට පැමිණි විට ඔවුන්‌ පිළිබඳ වැඩසටහන් කිරීමට බාර වූයේ ඇයටය. එසේ ඇය සංගීතවේදී රවි ශංකර් වෙනුවෙන් කළ වැඩසටහන වෙනුවෙන් සම්මානයටද පාත්‍ර විය. අපේ ගායක ගායිකාවන්ගේ බොහෝ ගීත රූපගත කිරීම්ද සිදු වූයේ ඇගේ අතිනි.

“මම මුලින් පටන් ගත්තේ ‘සෙනෙහසේ නවාතැන’ වැඩසටහන. එහි කොටස් 85ක් පමණ කළා. දෙනවක හාමිනේ, රුබී ද මෙල්, ගාමිණි ෆොන්සේකා, වගේ දුර්ලභ ගණයෙය් කලාකරුවන්ගේ වැඩසටහන් එයට ඇතුළත් කරන්න අපට පුළුවන් වුණා. ඒ වැඩසටහන පටන් ගත්තේ යශෝධා විමලධර්මගෙන්. යශෝධා මගේ වැඩසටහන් බොහොමයකට මුල් වෙනවා. සුහානි රාත් පටන්ගත්තෙත් ඇය එක්කනේ. ඒ විතරක් නෙවෙයි රිදී නිම්නයත් වැඩසටහන් 60ක් විතර කළා. ඒත් සමහර චිත්‍රපටවල අයිතිය පිළිබඳ ප්‍රශ්න නිසා කොටස් ලබා ගන්න බැරුව නැවැත්වුවා. සුහානි රාත් යළි ඇරඹුවේ ඒ වෙනුවට. ආලකමන්දාවත් ටික කාලයක් චිත්‍රපට කොටස් ලබා ගන්න බැරුව නතර කරන්න වුණා. හැබැයි මම ස්තූතිපූර්වක වෙන්න ඕනේ හරේන් නාගොඩවිතාන සහ චරිත් නාගොඩවිතාන දෙදෙනාට නිර්ලෝභීව දුර්ලභ චිත්‍රපට කොටස් ලබා දීම ගැන”

සෙනෙහසේ නවාතැන පිළිබඳ රසවත් මතක ඇය සිහි කළාය.

“සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා – සෙනෙහසේ නවාතැන කියන වැඩසටහන කරද්දි මම වගේ පුංචිම පුංචි කෙනෙක් අරවගේ දැවැන්ත කෙනෙක් ළඟට යන්නේ කොහොමද කියලා බයක් දැනුණා. ඒත් ඔහු හරිම සුහදශීලීව කටයුතු කළා. එතුමා නැති වෙනකොටත් වෙන කිසිම නාළිකාවකින් කළ වැඩසටහනක් තිබුණෙ නැහැ විකාශය කරන්නවත්. “

සෙනෙහසේ නවාතැනින් ආලකමන්දාවට පිවිසි පියවර ඇයගේ හඬින් මෙසේ විය.

“පස්සේ මම හිතුවා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ, පණ්ඩිත් අමරදේව වගේම ප්‍රේමසිරි කේමදාස වැනි අය සමඟ සෙනෙහසේ නවාතැනට වඩා වැඩි ගැඹුරකින් යුතු තේමාවක් ඔස්සේ යමක් කළ යුතුයි කියලා. එහෙමයි ආලකමන්දාව ඇරැඹුණේ කේමදාස මාස්ටර්ගේ වැඩසටහනින් 2004 වසරෙ. ඒ වෙද්දි මාස්ටර් සෑහෙන අසනීපෙන්. අපි දවසක් රෑ එළිවෙනකල්ම මාස්ටර්ගේ මුළු ජිවිත කතාවම රෙකෝඩ් කරගෙන අශෝක වීරසිංහ පිටපත ලීවා. රූපවාහිනියේ පූර්ව ප්‍රචාරක පට ඔක්කොම පෙන්වලා තියෙද්දි හෙට වැඩසටහන යනවා කියලා අදත් මාස්ටර් සූදානම් නෑ. මම කරදර කරනවා කියලා මාස්ටර් බැන්නත් එක්ක. ඒ දවස්වල එක කලාකරුවකු ගැන පැය බාගෙ වැඩසටහන් හතර බැගින් යනවා. ඉතින් අන්තිමට කොහොම හරි පටිගත කිරීම් කරලා රෑ එළිවෙනකල් සංස්කරණය කරලා හවස විකාශය කළා.

ජීවතුන් අතර නැති සුනිල් ශාන්තයන්, මහගම සේකරයන් වගේ අය ගැනත් අපි යම් යම් උපක්‍රම යොදලා ආලකමන්දාව ඔස්සේ කතා කළා.

ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ ආලකමන්දාව කල් දමමින් හිටියා පස්සේ කරමු කියලා. දවසක් ඇන්ජි අක්කම මට කතා කරලා කියනවා, “විනීතා මට දෙවියන් වහන්සේ කියනවා දැන් ආලකමන්දාවක් කළොත් හොඳයි කාලෙ කියලා”. අපි ඉතින් ඇගේ ගමට ගිහින් පාසල් ගිය ස්ථාන ආදි සියල්ල සමඟ රූගත කිරීම් කළා. ඉන් ටික කාලෙකට පස්සෙ ඇන්ජි අක්කා අපට අහිමි වුණා.

ආචාර්ය ධර්මසේන පතිරාජ වම් ඉවුරේ ආලක මන්දාවත් ඒ වගේ කැමැත්ත ගන්න ගොඩක් කල් ගිය වැඩසටහනක්. පිටපත් හතරක්ම ප්‍රතික්ෂේප කරලා පස්සේ මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි ලියූ පිටපතටයි කැමැති වුණේ. බඹරු ඇවිත්, පොන්මනී වැනි චිත්‍රපට කළ කල්පිටියේ, යාපනේ අපි ගියා ඒ වෙනුවෙන්. යාපනයට යෑම අධික වියදම් නිසා අපට වැඩසටහන කල් දමන්නත් සිදු වුණා. රවි ජයවර්ධන සභාපතිතුමා යළි අවසර දුන්නාම අපි ආයෙ ගියා. පතිරාජ මහත්තයා කොළඹ කනත්තට යන්න ඕනෙමයි කීවා අහස්ගව්ව චිත්‍රපටයේ විජය කුමාරතුංග සින්දුව කියනවා වගේ දර්ශනයක් පතිරාජ මහත්තයාටත් ඕනෙමයි කියලා ඒ දර්ශනයට බොහොම සංවේදීව පෙනී සිටියා. එය බොහොම සාර්ථක වුණා. මට ජනාධිපති සම්මානයකුත් ලැබුණා. හැබැයි අපි නොදන්නවාට එතුමා දැනගෙන ඉඳලා තිබෙනවා එයාගේ ජීවිතයේ අනිත්‍යතාවට බොහොම ළඟයි කියලා ඒ වෙද්දි.

අයිරාංගනී සේරසිංහ මහත්මියගේ ආලකමන්දාව වැඩසටහන වෙනුවෙන් අපි සංදේශය චිත්‍රපටය කළ බෙලිහුල් ඔය පවා ගියා. ඇයව අපි එතැනට ඔසවාගෙන වගේ ගෙනිච්චේ.

මාලනී ෆොන්සේකා මහත්මිය වෙනුවෙන් නිළිරැජන නමිනුයි, ඔබ දෑස දකිනා ආකාස කුසුම නමිනුයි ආලකමන්දා වැඩසටහන් දෙකක් කළා. කේ. ගුණරත්නම් සහ වාමදේවන් වැනි කලාකරුවන්ගේ වැඩසටහන් කළාම මටම සතුටුයි. අපි ගුණරත්නම් මහත්මයාගේ වැඩසටහන වෙනුවෙන් යාපනයේ ඔහුගේ ගෙවල් තිබුණු තැන්වලට ගියා. 83 කලබල කාලේ වෙඩි වැදිලා විනාශ වෙලා තිබෙන හැටි, යාපනයේ තිබුණු ලොකුම සිනමා ශාලාවට සිදුව ඇති දේ අපේ ඒ වැඩසටහනින් දකින්න පුළුවන්.

හේමප්‍රිය කණ්ඩම්බි, ඩොමී ජයවර්ධන, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, නන්දා මාලිනී, රෝහණ වීරසිංහ, නර්ථනාචාර්ය ජයසේන කෝට්ටෙගොඩ වැනි අය මේ වැඩසටහන කරන්න කැමැත්තෙන් ඉන්නවා.

මම එක්තරා විදිහක ලොකු භාග්‍යයක් කර තිබෙනවා මේ වගේ වැඩසටහනක් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කරන්න ලැබෙන්න.

හොඳ තිරපිටපත්, මහාචාර්ය සුනිල් සෙනෙවි, පුෂ්කර වන්නිආරච්චි, අශෝක වීරසිංහ, ආචාර්ය ජයලත් මනෝරත්න, ගාමිණි වේරගම, ලාල් ආනන්ද අබේධීර වැනි විශිෂ්ටයන්ගේ ලැබුණු තිරපිටපත් නිසා තමයි අති සාර්ථක වුණේ මේ වැඩසටහන. ඒ වගේම ක්‍රිෂාන්ත දයානන්දගේ ළයාන්විත කටහඬින් කරන පසුබිම් කථනයත හේතුවුණු.

වැඩසටහන් මාලාවට අපේ කණ්ඩායම එකම මුතුවැලක් වගේ අවුරුදු 16ක් පුරා බැඳීමෙන් කටයුතු කළ සහෝදර කාර්ය මණ්ඩලය නිසායි රසිකයන් මෙයාකාර පිනවන්න ලැබුණේ. ඒ සියලු දෙනාටමත් ස්තූතියි. ඒ වගේම වෛද්‍ය නිහාල් ජයතිලක සභාපතිතුමා, අධ්‍යක්ෂජනරාල් අජිත් නාරගල සහ වැඩසටහන් අංශය බාර සුමේධ අතුලසිරි මහත්වරුන්ටත් මට කරන ඇගයීම් සහ උපකාර වෙනුවෙන් ස්තූති කළ යුතුමයි.”

ඒ මතක සැමරුම් අතරින් ඇගේ පළමුවැනි සම්මානය දක්වා ඇය ගියේ බොහෝ සංවේදී හැඟීමකිනි.

“ආලකමන්දාව වෙනුවෙන් මම පළමුවරට සම්මාන ගන්නේ එච්. එම්. ජයවර්ධනයන්ගේ වැඩසටහන වෙනුවෙන්. එය රූගත කරද්දිත් මට බොහෝ හැඟීම්බර ගතියක් දැනුණා. ඔහු මාලීනී බුලත්සිංහල මිස්ගේ ස්වාමියා. අපි සියඹලාණ්ඩුවේ ඔහුගේ ගමේ රූගත කිරීම් කළේ විදුලිය නැති නිසා පෙට්‍රල් මැක්ස් ලාම්පුවලින් එළිය අරන්. මුද්‍රා නාට්‍ය ශීල්පී ආචාර්ය වසන්ත කුමාර වෙනුවෙන් කළ වැඩසටහනට රාජ්‍ය, සුමති සහ රයිගම් සම්මාන වගේම ඒබීයූ මඟින් නවදිල්ලියගේ පැවැත්වූ උලෙළකදී ජූරියේ විශේෂ කුසලතා සහතිකයක් ලැබුණා. ඉන්පසු සිංගීතඥ සරත් දසනායක ගැන කළ ආලකමන්දාව වෙනුවෙන් රාජ්‍ය සම්මාන ලැබුණා. ආලකමන්දාවට වැඩසටහන් 50 පිරීම වෙනුවෙන් මටත් අපේ යාවජීව සංස්කරණ ශිල්පී රංජිත් වලිසුන්දරටත් ජූරියේ ප්‍රශස්ත ඇගයීමක් කළා. අද වන විට සම්මාන 14ක් සහ 16 වතාවක් නිර්දේශිතව වැඩියෙන්ම සම්මාන දිනාගත් වැඩසටහන බවට එය පත්වී තිබෙනවා. මාලනී ෆොන්සේකා මහත්මිය මේ වැඩසටහන පිළිබඳ අගමැතිතුමන් දැනුම්වත් කර තිබෙන නිසා එතුමා ලිපියක් මඟින් ඉල්ලා තිබෙනවා කලාකරුවන් ගැන සාකච්ඡා කෙරෙන මේ වැඩසටහන සංරක්ෂණය කරන්න කියලා.”

විනීතා කරුණාරත්න මේ වනවිට ආලකමන්දා 81ක් ඔස්සේ මෙරට කලාකරුවන් රැසකගේ තොරතුරුවලින් ප්‍රේක්ෂක ජනතාව රසවත් කිරීමට සමත් වී ඇත. එහෙත් වේගයෙන් ඉගිලී යන කාලය ඇය විශ්‍රාම දිවිය කරා යොමු කරමින් සිටියි. එහෙත් ඇය දැඩි අදිටනින් මෙසේ කියන්නීය.

“කොරෝනා තිබුණත් සතියට දින පහක් මම වැඩට යනවා, හරි සතුටින්. කිසිම වෙහෙස මහන්සියක් නැහැ. වෙනදාටත් වඩා මට වැඩකරගෙන යන්න පුළුවන්. ඒ නිසා මම ආලකමන්දාව නතර කරන්න බලාපොරොත්තුවක් නැහැ. සේවා දායකයෙකු ලැබෙනවා නම් එළියේ ඉඳගෙන හරි හදලා වැඩසටහන රූපවාහිනියට බාර දෙනවා. සුහානි රාත් වැඩසටහනත් එහෙමයි. “

ඇගේ හඬ බිඳී මොහොතක් නිහඬ විය.

” ජාතික රූපවාහිනියට මම දොහොත් මුදුන් දී වඳීනවා. මාව ලෝකයක් දැනගත්තේ ආලකමන්දාව වැනි වැඩසටහන් කරන්න දුන් නිසා. මට සුවශේෂි චරිතවල ජීවිතයට ඇතුළු වෙන්න පුළුවන් වුණා. අපි නොදන්න දේවල්, නොහිතන දේවල්, ලොකු දැනුම් සම්භාරයක්, එයාලාගේ ජීවිතය මගේ ජීවිතය වනවා. සරසවියට මුලින්ම කියන්න තියෙන්නේ මම කොහෙටවත් නොකියූ දෙයක්. මට වචනවලට කියාගන්න බැරි හැඟීමක් දැනෙනවා ලබන වසරේ විශ්‍රාම යන්න වෙන බව මතක් වෙද්දි. මට ඇත්තෙන්ම ගෙදර වුණේ මගේ නිවෙස නෙවෙයි රූපවාහිනිය. දවසේ වැඩි හරියක් රැඳුණේ එතැන. මම ආරක්ෂා කළේ, හම්බ කළේ මම කළ වැඩසටහන්වල සතුටයි. ජනතාවයි විතරයි. හැම උදේකම නැඟිටිනකොට මට හිතෙන්නේ කළ හැකි බොහෝ දේ කරන්න තිබෙන කාලය තව දවස දවස අඩුවෙනවා නේද කියලා.”

දැරණියගල කැලේ උපන් මලක් වූ විනීතා කරුණාරත්න නම් ඇය ලොවක් දන්නා නමක් ඇත්තියක කළ රූපවාහිනී මාලිගයේ ආලකමන්දාවට වී අද ඇය බලා සිටින්නේ ළදරු වියේ සිටම අහිමි වීම් සහ හිමිවීම් අතර දෝලනය වූ ඇගේ දෛවය නුදුරු අනාගතයේ ඇයට අත්කර දීමට සැරසෙන ඉරණම උපේක්ෂාවෙන් බාරගැනීම සඳහාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here