එල්පීඑල් වර්ණවත් කිරීමට අතරමැදදී තවත් විදෙස් ක්‍රීඩකයන්

0
42
Author(s): 
ගීෂා මුණසිංහ

– තරගාවලි අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න

එල්පීඑල් තරගාවලිය වර්ණවත් කිරීමේ අරමුණින් කණ්ඩායම්වල හිමිකරුවන්ගේ අභිමතය පරිදි අතරමැද වුවත් ක්‍රීඩකයන්ගේ ආදේශ කිරීම් සිදු විය හැකි බව තරගාවලියේ අධ්‍යක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරයි. හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (26) ඇරැඹෙන ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) තරගාවලිය පිළිබඳ පසුගියදා කොළඹ හිල්ටන් රේසිඩන්සි හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය. නිවේදනය කර ඇති කණ්ඩායම්වල අවසන් සංචිතයේ තවත් විදෙස් ක්‍රීඩකයන් දෙදෙනකු පමණ පැමිණීමට නියමිත වන අතර, තරගාවලි අධ්‍යක්ෂවරයා කියා සිටියේ කණ්ඩායම් හිමිකරුවන් තවදුරටත් සිය කණ්ඩායම්වලට ප්‍රබල විදෙස් ක්‍රීඩකයන් ඇතුළත් කරගැනීමේ මෙහෙයුමක නිරතව සිටින බවය.

ඉදිරි වසර කිහිපය ඇතුළත එල්පීඑල් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් ප්‍රමාණය වැඩි කරන බවත්, නැගෙනහිර පළාත කේන්ද්‍ර කරමින් නව කණ්ඩායමක් බිහිවනු ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

ඉදිරි වසරවලදී කණ්ඩායම් හා ක්‍රීඩකයන් වැඩි වීමේ ප්‍රවණතාවක් තිබෙන නිසා මීට වඩා වැඩි කණ්ඩායම් ගණනක් තරගාවලියට එක්වේවි. ඒ වගේම ක්‍රීඩකයන්ගේ ගෙවීම්වල පළමු කොටස දැනටමත් ගෙවා අවසන්. එහි ඉතිරි 60% ක කොටසත් තරගාවලිය ආරම්භ කිරීමට පෙර ගෙවා අවසන් කරාවි යැයි ඔහු වැඩි දුරටත් පැවැසීය.

මේ වන විට කොවිඩ් වයිරසය ආසාදිත වී සිටින විදෙස් ක්‍රීඩකයන් දෙදෙනාගෙන් රෝග ලක්ෂණ දකින්නට නොමැති බව මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය උපදේශක මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා, දින 10කට පසු ඔවුන්ගෙන් වෙනත් පුද්ගලයන්ට වයිරසය ආසාදනය වීමේ ප්‍රවණතාවක් නොමැති වූවත් එම ක්‍රීඩකයන් දෙදෙනා ලෝක සෞඛ්‍ය නීතිරීතිවලට අනුව දින 14ක නිරෝධායන කාලසීමාවක් පසු කළ යුතු බව කීවේය. එබැවින් දින 14ක් ගතවනතුරු අදාළ ක්‍රීඩකයන් දෙදෙනාට ක්‍රීඩා කිරීමට අවසර නොලැබෙන බව මහාචාර්යවරයා තහවුරු කළේය.

‘එල්පීඑල් තරගාවලිය පැවැත්වීමට කටයුතු යෙදුවේ මීට වසර තුනකට පෙරයි. නමුත් නොයෙකුත් බාධක මැද එය සංවිධාන කිරීමට අපට නොහැකි වුණා. මේ වසරේ පසුගිය අගෝස්තු මාසයේ එය පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කර තිබුණත් කොවිඩ් දෙවැනි රැල්ලේ ව්‍යාප්තියත් සමග එය කල් දැමීමට සිදු වුණා. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මී සිල්වා මහතාගේ සහ විධායක කමිටුවේ දැඩි කැපවීම මත තරගාවලිය පවත්වන්න අපට හැකි වුණා. දැඩි සෞඛ්‍ය නීති රෙගුලාසිවලට අනුකූලව තරගාවලිය පවත්වන්න ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ පූර්ණ සහයෝගය අපට ලැබුණා. ඒ වගේම ජනාධිපතිතුමා, අගමැතිතුමා හා සෞඛ්‍ය ඇමැති තුමියත් අපිට විශාල දිරියක් වුණා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු කොවිඩ් කාර්ය සාධක බළකාය තරගාවලිය සාර්ථක කරගැනීමට ලබාදෙන්නේ නොමඳ සහයෝගයක් යැයි මෙහිදී අදහස් පළ කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා කීවේය.

එල්පීඑල් තරගාවලියේ ප්‍රධාන මෙහෙයුම් සමාගම වන අයිජීපී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අනිල් මොහාන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපතිවරයකු වන ජයන්ත ධර්මදාස සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහත්වරු ද මාධ්‍ය හමුවට එක්වූහ.

ඡායාරූප – විමල් කරුණාතිලක

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here