කොවිඩ් අවදානම වැඩි කරන බෝ නොවන රෝග

    0
    36

    වයස අවුරුදු 35 පසු කිරිමත් සමග ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැතිව වැඩි දෙනකු කුමන හෝ බෝ නොවන රෝගයකින් පීඩා විඳිති. එමෙන්ම තවත් අවධාරණය කළ යුතු කරුණක් වන්නේ මෙම බෝ නොවන රෝගවලට දරුවන් ද ගොදුරු වීමේ ප්‍රවණතාව ඉහළ යමින් පැවතීමය. විශේෂයෙන් තරබාරුකම බොහොමයක් දරුවන් අතර දැකිය හැකි අතර, මේ තත්ත්වය බෝ නොවන රෝග අවදානමට අත වනන්නකි.

    කොවිඩ් 19 වසංගතයත් සමඟ කතා බහට ලක්ව ඇති බරපතළම මාතෘකාව බවට පත්ව ඇත්තේ බෝ නොවන රෝග රැල්ලයි. මෙතෙක් අධි රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි රෝග ගැන ඉන් පීඩා විඳින්නන් හැර සෙසු අයට බියක් තැතිගැන්මක් එතරම්ම ඇති නොවුණා යැයි කිවහොත් සියයට සියයක් ම නිවැරැදිය. නමුත් කොරෝනා වයිරස ව්‍යාප්තිය සහ ලෝකයේ සෑම රටකින් ම වාර්තා වී ඇති කොවිඩ් මරණ දෙස බලන විට බෝ නොවන රෝග ඇති අයට මෙම වයිරසය ආසාදනය වීම භයානක තත්ත්වයකි. මේ නිසා බොහෝ දෙනකු දැන් දැන් බෝ නොවන රෝගවලින් වැළකීම කෙරෙහි අවධානය යොමු කරමින් සිටිති.

    කොවිඩ් දෙවැනි රැල්ල පළමු රැල්ලට වඩා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ සහ අපේ වැඩිහිටියන්ට එයින් ඇතිවන අවදානම ඇස් පනා පිට පෙනෙන්නට ඇති මොහොතක ශ්‍රි ලාංකීය ජනතාව ට හෘදයාබාධ, දියවැඩියාව , පිළිකා , අධි රුධිර පීඩනය වැනි රෝගවලින් වහ වහා ආරක්ෂා වීමේ දැඩි වුවමනාව ඇති වී තිබේ. ලංකාවේ සිදු වන මරණවලින් සියයට 70ක් සිදු වන්නේ බෝ නොවන රෝගවලින් බව දැනටමත් තහවුරු කර ගෙන ඇත.

    එමෙන්ම වයස අවුරුදු 35 ට වැඩි බොහෝ දෙනකු මෙම බෝ නොවන රෝගවලින් එකකට හෝ කිහිපයකට ගොදුරුවී සිටීම ද අවාසනාවන්ත තත්ත්වයකි. එමෙන්ම සියයට හැත්තෑවක් වු බෝ නොවන රෝගවලින් සිදුවන මරණවලින් සියයට 10ක් දියවැඩියාව ද ,සියයට 25ක් අධි රුධිර පීඩනය නිසා ද සිදු වන බවද සනාථ වී තිබේ. මෙම තොරතුරු රට පුරා පිහිටි රෝහල්වලින් වාර්තා වන දෛනික මරණවලින් සනාථ කර ගත් ඒවා නොවන අතර සෞඛ්‍ය අමාත්‍යංශය මගින් වසර පහකට වරක් සිදු කරන සමීක්ෂණයකින් ගත් සංඛ්‍යාලේඛන මත තහවුරු කරගත් තොරතුරුය.

    අනවබෝධය

    මෙම සමීක්ෂණයෙන් තහවුරු වු තවත් කරුණක් වන්නේ තමන්ට අධි රුධිර පීඩනය තිබෙන බවට දැනුම්වත්ව සිටින්නේ එම රෝගයට ගොදුරු වුවන්ගෙන් තුනෙන් එකක් පමණක් බවය. එමෙන්ම විධිමත්ව වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර ගනු ලබන්නේ එම තුනෙන් එකෙන් තවත් තුනෙන් එකක් පමණක් වීම ද සුවිශේෂත්වයකි. මෙවැනි තත්ත්වක් තුළ නොමිලේ සෞඛ්‍ය සේවාවක් පවතින රටක ශ්‍රි ලාංකේය ප්‍රජාව තුළ බෝ නොවන රෝග පිළිබඳව පවතින අනවබෝධය සහ නොසැලකිලිමත් බව මොනවට පැහැදිලි වේ.එමෙන්ම මෙම තත්ත්වය ලෝකයේ ඉතා විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් පවතින අපේ රටටත්, පෞද්ගලිකව ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයටත් ඉතාමත් අහිතකර ලෙස බලපානු ඇත.

    ඒ කෙසේ වෙතත් මේ දිනවල නිරන්තරයෙන් කතා බහට ලක් වන්නේ ‍ෙකාවිඩ් වසංගතයත් සමග නිවෙස්වලදීම සිදු වන පුද්ගල මරණ ගැනයි. මෙම මරණ කොවිඩ් තත්ත්වයත් සමග ඇති වු බරපතළ ඛේදවාචකයක් ලෙස ම හුවා දැක්වීමට තරම් සාධාරණ හේතු සාධක නැත. මීට පෙරත් බෝ නොවන රෝගවලින් පුද්ගලයන් මිය ගොස් තිබේ. මෙය සාමාන්‍ය තත්ත්වයකි. නමුත් බස්නාහිර පළාතේ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් වාර්තා වී තිබීමත්, එම අාසාදිතයන්ගේ ආශ්‍රිතයන් ද ආසාදිතයන් ව සිටීමත් නිසා නිවෙස්වලදී මිය යන පුද්ගලයන්ගේ පී.සී.ආර් පරීක්ෂණවලදි ඔවුන් ආසාදිතයින් ව සිට ඇති බවට සනාථ වී තිබේ. නමුත් අපේ මරණ අනුපාතයන් ගත් විට රෝහලක දී මිය යනු ලබන්නේ සියයට 30ක් පමණක් වන අතර, සෙසු මරණ වාර්තා වන්නේ නිවෙස්වලමය. මේ මොහොතේ නිවෙස්වල සිදු වන මරණ වැඩි බරක් ගෙන විග්‍රහ කිරීමට වඩා වැදගත් වන්නේ වයස අවුරුදු 60ට අඩු පුද්ගල මරණ කොවිඩ් නිසා හෝ බෝ නොවන රෝග නිසා සිදු විය හැකි ප්‍රවණතාව හැකි තරම් අවම කර ගැනීම බව අපි අවධාරණය කර සිටිමු.

    වයස අවුරුදු 35 පසු කිරිමත් සමග ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැතිව වැඩි දෙනෙකු කුමන හෝ බෝ නොවන රෝගයකින් පීඩා විඳිති. එමෙන්ම තවත් අවධාරණය විය යුතු කරුණක් වන්නේ මෙම බෝ නොවන රෝගවලට දරුවන් ද ගොදුරු වීමේ ප්‍රවණතාව ඉහළ යමින් පැවතීමය. විශේෂයෙන් තරබාරුකම බොහොමයක් දරුවන් අතර දැකිය හැකි අතර, මේ තත්ත්වය බෝ නොවන රෝග අවදානමට අත වනන්නකි. මේ අයුරින් වයස් භේදයක් නොමැතිව බෝ නොවන රෝග රැල්ල අපට පාලනය කර ගත නොහැකි මට්ටමට ඔඩු දුවා ඇත්තේ අපිට නොගැළපෙන ජිවන රටාවකට අනුගත විම නිසා බව අවධාරණයෙන් ද කිව යුතුය.

    අපේ ජීවන රටාව තුළ වැඩියෙන් අවධානය යොමු කරන්නේ අපේ ආහාර සංස්කෘතියටයි. අන් සියල්ලටම වඩා වැඩියෙන් වෙහෙසෙන්නේ ආහාර සම්බන්ධයෙන් වුවත් වැඩිම නොසැලකිලිමත් බවක් දක්වන්නේ ද ආහාර රටාව ගැන බව ද සඳහන් කළ යුතුය. අපේ දෛනික ආහාර වට්ටෝරුව ගත් විට බෝ නොවන රෝගවලට වැඩියෙන් හේතු වී ඇත්තේ සීනි සහ ලුණු අනුභවයයි. සාමාන්‍යයෙන් දිනකට සීනි තේ හැඳි හයකට වඩා සහ ලුණු කැපූ තේ හැන්දකට වඩා නොගත යුතු බව සිහි තබා ගත යුතුය. එමෙන්ම ඉවුම් පිහුම්වලදී පවුලට අවශ්‍ය ලුණු ප්‍රමාණය මැන වෙනම තබා ගැනීම පවා වැදගත් බව වෛද්‍ය උපදේශයයි. අපි නිවෙසේ සකසා ගත් ආහාරවලට අමතරව වෙළෙඳසලෙන් අමතර ආහාර ද අනුභව කරන්නේ නම් ඉහතින් සඳහන් කළ ලුණු ප්‍රමාණය අඩු කර ගෙන ආහාර පිසීමේදි අවශ්‍ය ලුණු ප්‍රමාණය වෙන් කර ගත යුතුය.

    වැරැදි ජිවන රටාව මුලින් ම බලපාන්නේ සෞඛ්‍යයටයි. මේ නිසා ආහාර සැකසීමේ දී අනුභවයේ දී මෙතෙක් සිදු කළ සියලු වැරැදි භාවිතයන්ගෙන් අප මිදිය යුතුය. ආහාර පිසින අවස්ථාවේ දි ලුණු නොදමා පිස අවසන් වු පසුව ලුණු දැමිම වඩාත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයයි. ලුණු රසයට හුරු වි ඇති විට එය එකවර නැවැත්වීම දුෂ්කර නිසා ආහාරයේ පිටත පමණක් ලුණු තැවරෙන සේ පිසිමෙන් පසු ලුණු යෙදිය හැකිය. එවිට ආහාරය තුළට ලුණු උරා ගැනීමක් සිදු නොවන නිසා අපේ ශරීරයට ආහාර මගින් ඇතුළුවන ලුණු ප්‍රමාණය හැකි තරම් අවම කර ගත හැකිය. එමෙන්ම බත් පිසීමේ දි ලුණු දැමීම අනවශ්‍ය වන අතර වැඩි දෙනෙක් බහුලව සිදු කරන වැරැදි භාවිතයකි. දැනට විදෙස් රටවල පවා සිදු කර ඇති පර්යේෂණ අනුව අධි රුධිර පීඩනයට වැඩියෙන් ම හේතු වී ඇත්තේ ව්‍යායාම අඩුකම නොව අධික ලුණු භාවිතයයි. එමෙන්ම වකුගඩු රෝග සඳහා ද වැඩියෙන් බලපා ඇත.වැරැදි ආහාර පුරුදු අතර, සිරුරට අහිතකර මේදය සහිත ආහාර ගැනිම ද බලපා තිබේ. බෝ නොවන රෝග අතරින් විශේෂයෙන් මැදි වියේ පසු වන්නන් ගොදුරු වී ඇති කොලෙස්ටරෝල් ඇති විමට බේකරි ආහාරවල වැඩියෙන් අන්තර්ගත අහිතකර මේදය බලපා තිබේ. කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම හෘද රෝගවලට ද හේතු වීම මෙහි තවත් භයානක තත්ත්වයකි.

    ආහාර පුරුදු

    කොවිඩ් වසංගතයත් සමග අපේ ජීවන රටාව ද අපට පාලනය කළ නොහැකි ලෙස විකෘති වි ඇතැයි සඳහන් කළොත් ඒ අර්ථකතනය වඩාත් නිවැරැදිය. නිවෙස්වල ට කොටු වී සීටිමත් සමඟ බාල මහලු කවුරුත් වැඩියෙන් ආහාර ගැනීම සහ සිරුරට අහිතකර ආහාර ගැනීමට ද පෙළඹී සිටිති. මේ තත්ත්වය කොරෝනා සමග බෝ නොවන රෝග රැල්ල ඉහළ යාමට ඉඳුරා ම බලපා ඇත . මේ නිසා බත් අනුභව කරන ප්‍රමාණය අවම කර ගැනීම සහ විශේෂයෙන් ශාරිරික ව්‍යයාමවලට මුල් තැනක් දීම අතිශයින්ම වැදගත්ය. බෝ නොවන රෝගයකින් පෙළෙන අය මෙන්ම නීරෝගිමත් අය ද මේ ගැන සැලකිලිමත් විය යුතු අතර, ශරීරයේ දහදිය පිටවන කුමන හෝ කාර්යයක නිරත වීම ඒ සඳහා ප්‍රමාණවත්ය. එයට ශාරිරික ව්‍යයාම කරන ස්ථාන සොයා යා යුතු නැත. දිනකට විනාඩි 150ක් වත් ව්‍යායාම කළ යුතුය. වයස අවුරුදු 18 ට අඩු ළමයින් නම් දිනකට අවම වශයෙන් පැයක් වත් ව්‍යායාමයක නිරත වීම සුදුසුය.

    කෙසේ වෙතත් බෝ නොවන රෝග සහ කොවිඩ් වසංගතය යන අවදානම් තත්ත්ව දෙකෙන් ම ආරක්ෂා වී සිටීමට අපට සිදු ව තිබේ. එය තරමක් අභියෝගාත්මක මුත් මේ තත්ත්වය ට මානසික වදයක් හෝ බියක් තැතිගැන්මක් ඇති නොකර ගෙන මුහණ දීම ට අපි ශක්තිමත්ව සුදානම් විය යුතුය. සෑම කායික රෝගයකින් ම මිදිය හැකි වඩා ත් ආරක්ෂිත වැඩපිළිවෙළ මානසික ශක්තියයි. නිතර සතුටින් සැහැල්ලුවෙන් සිටින අතරතුර ප්‍රතිශක්තිය වැඩි කරන සෞඛ්‍යාරක්ෂිත ආහාර ලබා ගැනීම ආදිය මගින් මේ සියලු අවදානම්වලින් මිදීමට හැකියාවක් ඇත. එමෙන්ම නිවෙස්වල නිරෝධායනය වන අය මෙන්ම නිවෙසින් බැහැරව රාජකාරි සඳහා යන අය තම පවුලේ දරුවන් වැඩිහිටියන් ගැන වඩාත් කැපවිමෙන් ස්වයං විනයක් ඇති කරගෙන කටයුතු කිරීම සහ සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අකුරටම පිළිපදින්නේ නම් මේ අවදානම් තත්ත්වයෙන් මුළු රටක් පහසුවෙන් ගලවා ගත හැකිය.

    බෝ නොවන රෝග යනු නිට්ටාවට සුව කළ නොහැකි හැකි එහෙත් පාලනය කර ගත යුතු රෝගාබාධයන් ය. මේ නිසා ප්‍රතිකාර සහ වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ගැනීම අත්‍යවශ්‍යය. කොවිඩ් තත්ත්වයත් සමග බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ගන්නා අය ට ඖෂධ ලබා ගැනිම සඳහා රජය සෞඛ්‍ය අමාත්‍යංශය සහ ඊට පහසුකාරකයන් සපයන තැපැල් සේවාව සමග එක්ව ඖෂධ නිවෙසටම රැගෙනවත් බෙදා දීමේ ක්‍රමවේදයක් සකසා ඇත. මෙහි යම් යම් අඬලුහුඬුකම් පැවතිය ද සෙසු රටවලට සාපේක්ෂව අප ඉතාමත් ඉහළ මට්ටමේ ක්‍රමවේදයක් මේ සඳහා ක්‍රියාත්මක කරමින් තිබේ .මෙය ඇඳිරිනීතිය සමඟ හුදෙකලා කර ඇති කොළඹ සහ බස්නාහිර පළාතේ සෙසු ප්‍රදේශවල මෙන්ම රටේ සෙසු පළාත්වල ද මතුවන ගැටලු හඳුනාගෙන විධිමත් වැඩපිළිවෙළක් යටතේ සිදු කර ගෙන යනු ලබයි. 

    එමෙන්ම මෙම රෝගීන් ට හදිසියේ රෝගය උත්සන්න වුවහොත් රෝහලකට ඇතුළුවිමේ හෝ වෛද්‍යවරයකු ගේ පරික්ෂාවකින් ප්‍රතිකාර ගැනීමට කිසිදු බාධාවක් නැත. කොරෝනා රෝගීන් ඇතුළත් කර ඇති රෝහල්වලින් ද මෙවැනි රෝගීන් ට ඕනෑම හදිසි අවස්ථාවක දී ප්‍රතිකාර ලබා දිම සිදු කෙරෙයි. රජයේ කිසිදු රෝහලක් රෝගියකු ට ප්‍රතිකාර ගැනීමට ඇති අයිතිය අහුරා වසා දමා නොමැත. මීට අමතරව 1990 සුවසැරිය සේවාව, නිරෝධායනය වන නිවෙස්වල අයට නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෝ ප්‍රාදේශිය වෛද්‍ය නිලධාරිවරයාගේ දුරකතන අංකවලට අමතා ඔවුන්ගේ අධික්ෂණය යටතේ හදිසි ප්‍රතිකාර සඳහා රෝහල්ගත විමේ පහසුකම ඇති බව ජනතාව දැනුම්වත් විය යුතුය. එමෙන්ම නිරෝධායනය වන පුද්ගලයන් සඳහා 0113 422557 දුරකතන අංකය මගින් ගිලන් රථ පහසුකම් සලසා ගත හැකි අතර ඕනෑම පුද්ගලයකුට මේ කිසිදු ක්‍රමවේදයකින් සේවාවක් ලබා ගැනීමට නොහැකි වුවහොත් 1999 ඔස්සේ වෛද්‍යවරයකු සමඟ සජීවිව ම දුරකතනයෙන් සම්බන්ධ වීමට ද අවස්ථාව සලසා දි ඇත.

    මානසික ආතතිය

    බෝ නොවන රෝග අතර මානසික රෝග රැල්ල ද ඔඩු දුවා ඇති බව සඳහන් කළ යුතුය. නිවෙස්වලට කොටු වී ඒකාකාරි ව සිටීමත් , මත්ද්‍රව්‍ය ආදියට ඇබ්බැහිවුවන් අතර ද මේ තත්ත්වය දැකිය හැකිය. එවැනි රෝගින් ට ලබා දෙන ඖෂධ එන්නත් මගින් ලබා ගන්නේ නම් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් , ප්‍රාදේශිය වෛද්‍ය නිලධාරිවරයාගෙන් හෝ පවුල් සෞඛ්‍ය සේවිකාවක් මගින් එන්නත් කර ගැනිමට පහසුකම් සලසා ඇත. මේ සියලු පහසුකම් මහල් නිවාස, විථි නිවාස යන කිසිදු හේදයකින් තොරව ක්‍රියාත්මක වනු ඇත. එමෙන්ම මානසික ආතතිය හෝ මානසික රෝග තත්ත්වයකින් පෙළෙන්නේ නම් 1926 දුරකතන අංකය ඔස්සේ සජීවීව වෛද්‍යවරයකු සමග සම්බන්ධ වීමට ද හැකි අතර මේ සේවාව පැය විසි හතර පුරා ක්‍රියාත්මකව පවතී.

    සාක්ෂරතාව, සෞඛ්‍යාරක්ෂාව ආදි මේ සියල්ලෙන් ම ලෝකයේ සෙසු රටවල්වලට නොදෙවෙනි තැනක් අප හිමිකරගෙන ඇත . මේ සියලු ජයග්‍රහණයන් අප ලබා ගෙන ඇත්තේ ජාතියක් වශයෙන් සිදු කර ඇති සමාජ වගකීම සහ කැපකිරීම් මතය. මේ ආකාරයෙන් ම අප ඉදිරියටත් කටයුතු කරන්නේ නම් බෝ නොවන රෝග සහ කොවිඩ්ි අවදානමින් මිදී අපේ වැඩිහිටි පරම්පරාව ආරක්ෂා කර ගැනීමට බැරිකමක් නැත.

    සකුන්තලා ජයසිංහ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here