ජාතික ඇඳුම ඇඳ කැමරාව අතට ගත් එකම චිත්‍රපට අධ්‍යක්ෂවරයා

0
64
ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා (1926-2009)
නොවැම්බර් 26, 2020

කුණු බින්දුවක් නැති සුදුම සුදු ජාතික ඇඳුමින් සැරසුණ උස, හීන් තරුණයකු කැලණියේ ගල්්බොරැල්ලේ තම නිවසේ සිට බයිසිකලයක නැඟී සිරිසේන විමලවීරයන්ට අයත් කිරිබත්ගොඩ නවජීවන චිත්‍රාගාරයට යන දර්ශනයක් 50 දශකයේ පදිංචි නිවැසියන්ට නම් මතක ඇති. ඔහු ගියේ මාස්ටර්ගේ චිත්‍රපටවල නාමාවලිය ඇඳීමටය. මෙහි එන්නට පෙර ඔහු වාණිජ චිත්‍ර ශිල්පියෙකු නැතිනම් ‘කොමර්ෂල් ආටිස්ට්’ කෙනෙකි. ඔහු කලක් නිව් ඉම්පීරියල් ටෝකීස් නම් චිත්‍රපට ප්‍රදර්ශන සමාගමේ දැන්වීම් ඇන්දේය. එකල සිනමා ශාලාවල ප්‍රදර්ශනය කළ චිත්‍රපටවල පිටරට රූප සහිත වර්ණ පෝස්ටර් ආවේ සීමිත ගණනකි. ඒවා සිනමා ශාලාවේ ප්‍රධාන දැන්වීම් පුවරුවේ ද සිනමා ශාලා තුළ ද ප්‍රදර්ශනය වූ අතර එළිමහනේ හා ප්‍රසිද්ධ තැන්වල අලවන අකුරු පෝස්ටර් ඇන්දේ මේ තරුණයාය.

‘හැමදාම අකුරු ඇඳ ඇඳ ඉඳලා හරියන්නේ නැහැ. මම කාර්මික ශිල්පියෙකු වෙන්න ඕනෑ’ යයි සිතුවේ නොමිලයේ චිත්‍රපට නැරඹීමෙන් දුටු කැමරා හරඹ හේතුවෙනි. සිංහල සිනමාවට සම්බන්ධ කෙනෙක් හැටියට ඔහු හඳුනාගෙන සිටියේ හියුගෝ ප්‍රනාන්දු පමණි. හියුගෝ මාස්ටර් හා නුගේගොඩ ඩී. හෙට්ටිආරච්චිගේ මාර්ගයෙන් මේ තරුණයා තම සිහිනය සැබෑ කර ගත්තේය.

කවුද? මේ තරුණයා?

ඔහුගේ සම්පූර්ණ නම වැල්ලවත්ත ආරච්චිගේ බර්ටි ද සිල්වාය. එහෙත් පසු කලෙක ඔහු ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා නමින් කැමරා ශිල්පියෙකු වී 1970 සරසවිය සම්මාන උලෙළේදී හොඳම කැමරා ශිල්පියා ලෙස තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂණය කළ ‘නාරිලතා’ චිත්‍රපටයෙන් සම්මාන ලැබීය.

1926 සැප්තැම්බර් 04 වෙනිදා දකුණු පළාතේ ඉපිද කළුතර හැදී, හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති සිල්වා මහතාගේ පියා වූයේ බෙන්ජමින් ද සිල්වාය. ඔහු සාහිත්‍යකීර්ති ඩබ්ලිව්. ඒ. සිල්වා සූරීන්ගේ සහෝදරයෙකි. මව කේ. පොඩි නෝනා මහත්මියයි.

පාසල් යන කාලයේ සිටම ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා චිත්‍ර ඇදීමට දස්කම් දැක් වූ අතර බොක්ස් කැමරාවකින් ඡායාරූප ගැනීමට දස්කම් පා ඇත.

‘මම මුලින්ම කාර්මික ශිල්පියකු ලෙස පුහුණුවට ගියේ කඳානේ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයට. දැන්වීමක් දැකලා ගිය මට එහි ප්‍රධාන කැමරා ශිල්පී ඇම්. ඩී. සුමනසේකර යටතේ හොඳ පුහුණුවක් ලැබුණා. මම කැමරා තාක්ෂණ ඉක්මනට ඉගෙන කිරිබත්ගොඩ සිරිසේන විමලවීර මාස්ටර්ගේ නව ජීවන චිත්‍රාගාරයට බැඳුණා. එහි සහාය කැමරා ශිල්පියකු වූ පී. එස්. වී. මූර්ති යටතේ ඉගෙන ගන්න කාලේ පෝල් මතායස් නම් කැමරා ශිල්පියා යටතේ සහාය කැමරා ශිල්පියකු ලෙස ‘පිටිසර කෙල්ල’ (1953) හා ‘සරදියෙල්’ (1954) චිත්‍රපටවල සහායකයා ලෙස වැඩ කළා. මේ කාලයේ තමයි පසු කලෙක හොඳම කැමරා අධ්‍යක්ෂ ලෙස සරසවිය සම්මාන දෙකක් (ගැටවරයෝ සහ සාරවිට) දිනූ ඩබ්ලිව්. ඒ. රත්නායකත් සහාය කැමරා ශිල්පියා ලෙස නවජීවන චිත්‍රාගාරයේ වැඩ ඉගෙන ගන්න ආවේ.

මට යන්තම්වත් කැමරා දර්ශනයක් ගැනීමට ඉඩ ලැබණේ ‘විමලවීර මාස්ටර්ගේ හොඳම චිත්‍රපටය වූ ‘පොඩි පුතා’ (1955) හි එන ‘ලෝකය මායාවේ කෙළි බිමකි’ නම් යුග ගීයට සුමිත් බිබිලේ හා පුෂ්පා ජෙනට් පෙනී සිටින ගීතමය ජවනිකාවයි. ඊට පස්සේ ඒ චිත්‍රපටයේ එළිමහන් දර්ශන රූප ගත කිරීමට මටම පැවරුණා’. සිල්වා මහතා එදා තම අතීත සිදුවීම් විස්තර කළේය.

ඒ කාලයේ හැටියට ඉන්දියානු ජාතික මතායස්ට මසකට රුපියල් 500 ක් ගෙවා ඇති අතර සිල්වා මහතාට ලැබී ඇත්තේ රුපියල් 30 ක්ලු. වැඩ කිරීමේ කාර්යක්ෂමතාව හා දක්ෂතාව දුටු විමලවීර මාස්ටර් තව රුපියල් 10 කින් මාසික පඩිය වැඩි කර ඇත. ඒ කාලේ නව ජීවනයේ තිබී ඇත්තේ වින්ටර් එවරස්ට් නම් රාත්තල් 200 ක් පමණ බර කැමරාවකි. එය එසවීමට හතර දෙනෙක් අවශ්‍ය බව ඔහු ‘සදිසි‘ (සිරිසේන විමලවීර ජන්ම ශත සංවත්සර විශේෂ කලාපයේ) සඟරාවේ සම්මුඛ සාකච්ඡාවකදී කියා තිබුණි. එහි එන පරිදි එළිමහනේ රූප ගත කිරීමට නම් ජෙනරේටරයක් ද අවශ්‍යලු. එකල චිත්‍රපට ගත කළ අයිමෝ කිව්, පී. එල්. සී. මිචෙල් වගේ කැමරා භාවිතා කළ අතර මාස්ටර් පරණ කැමරාව විකුණා ඇරිෆ්ලෙක්ස් කැමරාවක් මිල දී ගෙන ‘සිරකරුවා’ (1957) චිත්‍රපටය ආරම්භ කරන කාලයේම ප්‍රධාන කැමරා ශිල්පී මතායස් හදිසියේම ‘නව ජිවනයෙන්’ ඉවත්ව යළි ඉන්දියාවට ගොස් ඇත.

කලබල වූයේ මාස්ටර් නොවේ. ඔහු සිල්වා නම් දක්ෂ කැමරා ශිල්පියාට චිත්‍රපටයේ සම්පූර්ණ රූපගත කිරීම නිර්ලෝභීව විශ්වාසය තබා භාර දුන් අතර, සිල්වා නම් කැමරා ශිල්පියා සිංහල සිනමාවට එකතු වූයේ ජාතික ඇඳුම ඇඳි මුල්ම සිංහල එකම කැමරා ශිල්පියා ලෙස ද වාර්තාවක් තබමිනි.

ඉන්පසු සිල්වා විමලවීර මාස්ටර්ට නැතිව බැරි කැමරා ශිල්පියා වී ඇත. මාස්ටර්ගේ ‘එකමත් එක රටක’ (1958) කැමරා මෙහෙය වූ ඔහු මෙරට නිෂ්පාදිත ප්‍රථම කාටූන් චිත්‍රපට නාමාවලිය ද රූපගත කළේය. එහි චිත්‍ර ශිල්පියා වූයේ දයා කරුණාරත්නය. ඔහු 1966 සරසවිය සම්මාන උලෙළේදී හොඳම කලා අධ්‍යක්ෂ ලෙස සම්මාන දිනුවේ ‘සාරවිට‘ චිත්‍රපටය සඳහාය. විමලවීර මාස්ටර් ගේ ‘මා ආලය කළ තරුණිය’ (1959) හා ‘වනමල’ (1960) චිත්‍රපටවල කැමරාව මෙහෙය වූ අතර ඇම්. පී. ගිල්මන්ගේ ‘වැදිබිම‘ (1961) අහමඩ් කමූර් හා නන්දිසේන කුරේගේ ‘සැපත සොයා’ (1965), රෝලන්ඩ් අමරසිංහගේ ‘කොළඹ හාදයෝ’ (1966) ධර්ම ශ්‍රී කල්දේරාගේ ‘සීතල වතුර’ (1966) හා රෑන ගිරව් (1967), මී මැස්සෝ (1969) හෙක්ටර් ජයසිංහගේ ‘සඳ නැඟ එද්දී’ (1966) හර්බට් රූපසිංහගේ ‘හිත ගිය තැන’ (1967), රෝලන්ඩ් අමරසිංහගේ ‘සුදුසු දා’ (1968), ශාන්ති අබේසේකරගේ ‘වහල් දූපත’ (1968), තිස්ස ලියනසූරිය (1969), සිරිල් පී. අබේරත්නගේ ‘සුමුදු භාර්යා’ (1970) කැමරා අධ්‍යක්ෂණය කළේය.

සිල්වා විසින් කැමරාව මෙහෙය වූ දෙවන කෙටි චිත්‍රපටය සුනිල් ආරියරත්නගේ ‘සරාගී’ (1970) චිත්‍රපටයයි.

1971 වසර සිල්වාගේ සිනමා ජීවිතයේ අමතක නොවන වසරකි. තමා විසින්ම කැමරාව මෙහෙයවා තමා විසින්ම අධ්‍යක්ෂණය කළ ‘පූජිතයෝ’ චිත්‍රපටය තිරගත වීමය. මේ චිත්‍රපටයේ ස්ටැන්ලි පෙරේරා, වොලී නානායක්කාර, තිස්ස විජේසුරේන්ද්‍ර, නිලන්ති විජේසිංහ, ස්වර්ණා කහවිට ප්‍රධාන චරිත රඟපෑ එහි එන අමරදේවයන් ගයන ගීතය ‘නිවන් පුරට මඟ පෙන්වන පහන් වැටක් සේ’ (ගීත රචනය ධර්මසිරි ගමගේ) එන්නේ ‘පූජිතයෝ’ චිත්‍රපටයේය. මේ ගීතය ගැන සිල්වා මෙසේ කීවේය.

‘මගේ කැලණියේ නිවසට උදේ හවස දකින්නේ කැලණි මහා විහාරේ වෙහෙරයි. කැලණි විහාරය ගැන චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂ ප්‍රේමසිරි කේමදාස. මම චිත්‍රපටයේ මුල්ම දර්ශනය රූපගත කළේ මේ අමරණීය සදාතනික මේ ගීතයයි.’

‘පූජිතයෝ’ චිත්‍රපටයෙන් මෙතෙක් සිංහල චිත්‍රපටයකින් නුදුටු ඇස් දන් දෙන ශල්‍යකර්මයක් ප්‍රේක්ෂකයන්ට දකින්නට ලැබුණි.

ඉන් පසු වෙනත් චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපටවල කැමරා අධ්‍යක්ෂ වූයේය. ධර්ම ශ්‍රී කල්දේරාගේ ‘රන් ඔන්චිල්ලා’ (1971) සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ ‘මාතර ආච්චි’ (1973) ‘ශ්‍රී මදාරා’ (1977), ‘රජගෙදර පරෙවියෝ’ (1975) මෙහි සම අධ්‍යක්ෂ සිල්වාය. රෝලන්ඩ් අමරසිංහගේ ‘කේසර සිංහයෝ’ (1971), ඇන්ඩර්සන් අල්ගමගේ ‘දාමරිකයෝ’ (1974) මෙහි සම කැමරා අධ්‍යක්ෂණනය එම්. වී. හේමපාල (තලේ)ය. සිරි කුලරත්නගේ ‘වස්තුව‘ (1974), ‘සිකුරු දසාව‘ (1977), ‘රිදීතැල්ල’ (1981) ‘පෙති ගෝමර (1982), ‘නිළියකට පෙම් කළෙමි’ (1983), ‘පොඩි රාළහාමි’ (1984), ‘අනුරාධා’ (1981), සුනිල් ආරියරත්නගේ ‘සරුංගලේ’ (1979), ‘වජිරා’ (1981), ලාල් පෙරේරාගේ ‘තවලම‘ (1981) මේ චිත්‍රපටය.

1975 වසරේ සිල්වා කැමරාව මෙහෙයවා සතිස්චන්ද්‍ර එදිරිසිංහ සමඟ රජ ගෙදර පරෙවියෝද 1976 වසරේ සිල්වා කැමරාව මෙහෙයවමින් ‘හුලවාලි‘ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත.

ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වාට තම අනාගත සහකාරිය හමු වන්නේ නවජීවන චිත්‍රාගාරයේ ‘සිරකරුවා’ චිත්‍රපටය රූගත කරන ලද 1957 වසරේදීය. කැලණියේ මිලී වයලට් චිත්‍රාගාරයට පැමිණියේ නැටුම් දර්ශනකට පෙනී සිටීමටය. ඔවුහු පිරිමි දරුවන් දෙදෙනකු හා දියණියක ලැබුහ. කැලණියේ ගල්බොරැල්ලේ මහ ගෙදර නිවසන බාල දියණිය වූ දීපානි තම පියාගේ වගතුග මෙන්ම ගති පැවතුම් ගැනත් කතා කළාය.

‘මගේ තාත්තා සරල ජිවිතයක් ගත කළ ධර්මානුකූල ජීවිතයක් ගත කළ කෙනෙක්. තාත්තාට කේන්ති යන්නේ කලාතුරකින්. අපිට දඬුවම් කරල නෑ. තාත්තා අම්මාව විවාහ කර ගත් පසු ඇය නිරතව සිටි කලා කටයුතුවලින් ඉවත් කරගෙන තියෙනවා. ඒ කොන්දේසි තාත්තා විවාහ වෙන්න ඉස්සරම කියලා කැමැත්ත අරං තියෙනවා. අම්මා නැටුම්වලට, ගායනයට දක්ෂයි. ‘සිරකරුවා’ ‘වැදිබිම‘ චිත්‍රපටවල නර්තනයේ යෙදුණු අම්මා ගායනයට දක්ෂලු. ගුවන් විදුලියේ ‘ආධුනික පැය’ සංගීත වැඩසටහනේ ගීත ගයලා තියෙනවා. අම්මා විවාහ වුණාට පස්සේ ගෘහණියක් හැටියට අපිව බලා ගත්තා. තාත්තාගේ වැඩිහිටියෝ දිග කලිසමක් අඳින ලෙස ලොකු යුද්ධයක් කරලා තියෙනවා. ‘බෑ . . . බෑ මට මේ ජාතික ඇඳුම මට පහසුයි. මම මැරෙන කල් ජාතික ඇඳුම අතාරින්නේ නෑ’ තාත්තා එක වචනෙම ඉඳලා ජීවිතය කුමක් ද කියලා තේරුම් අරං හිටියා. මම තාත්තා කැමරා ගත කළ ‘මී මැස්සෝ’ චිත්‍රපටයේ අනුලා කරුණාතිලකගේ කුඩා දියණිය ලෙසත්, ‘සරුංගලේ’ චිත්‍රපටයේ වීණා ජයකොඩිගේ දුව ලෙස රඟපෑවා. මගේ ලොකු අයියා කීර්ති ද සිල්වා ‘වහල් දූපත’ චිත්‍රපටයේ දර්ශනයකට පෙනී සිටියලු. දෙවෙනි අයියා දීප්ති ද සිල්වා තාත්තා රූ ගැන් වූ සුනිල් ආරියරත්නගේ ‘දුෂ්කර ක්‍රියා’ කෙටි චිත්‍රපටයේ පැවිදි වූ කුඩා සාමනේර කෙනෙකු ලෙස රඟපෑවා. මගේ පුතා තරිඳු ලක්රුවන් සීයාගේ අඩි පාරේ යමින් චිත්‍රපට කලාව නිස්කෝ ආයතනයෙන් ඉගෙන ගෙන සහාය අධ්‍යක්ෂවරයකු හා කැමරා සහායකයකු ලෙසත් ටෙලි නාට්‍යවලට චිත්‍රපටවලටත් සම්බන්ධ වී සිටිනවා.’

සිරිසේන විමලවීර මාස්ටර් 1956 බුද්ධ ජයන්තිය වෙනුවෙන් ‘පූජා’ නමින් කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කර ඇත. එහි කැමරාව මෙහෙය වූයේ සිල්වාය. මේ චිත්‍රපටයේ මාස්ටර්ගේ පුතෙකු වූ උපසේන විමලවීර රඟපෑ අතර ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීතය අධ්‍යක්ෂණය කර ඇත. මේ කෙටි චිත්‍රපටයේ තවත් විශේෂයක්ව ඇත්තේ එය නොමිලයේ කිරිබත්ගොඩ චිත්‍රාගාරය ඉදිරිපිට ප්‍රදර්ශනය කිරීම බව සිල්වා පවසා තිබුණි. එපමණක් නොව ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා විසින් ‘සිනමා සිහිවටන’ නමින් අගනා සඟරාවක් 1963 දී මරදානේ පිහිටි චන්ද්‍රසිරි මුද්‍රණාලයේ මුද්‍රණය කර ප්‍රසිද්ධ කර ඇත. ‘1947 – 1963 සිංහල කලාවට සොළොස් වස් පූර්ණ කලාපය’ නමින් හැඳින්වෙන මේ සංග්‍රහය ඉතා දුර්ලභ වටිනා ලිපි ද චිත්‍රපට ඡායාරූප රැසක් ඇතුළත්ය. සරසවිය සම්මාන උලෙළේ දී යාවජීව කර්තව්‍යය වෙනුවෙන් ජීවිතයේ එකවරක් පිදෙන රණ තිසර සම්මානය 1995 වසරේදී පිරිනැමුණේ ඔහුටය. එය රණ තිසර සම්මානය කාර්මික ශිල්පියකු උදෙසා පිරිනැමුණු මුල්ම අවස්ථාවයි.

සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු කලාකරුවන් ‘සිල්වා මහත්තයා’ ලෙස හැඳින් වූ මේ ප්‍රතිභාපූර්ණ කලාකරුවා ඉතා කුඩා වියේ සිටම මට ඇසුරු කිරීමට ලැබීම භාග්‍යයක් කොට සළකමි. ඔහු මා පදිංචි ග්‍රෑන්ඩ්පාස්හී කොස්ගස් හන්දියේ නිවසට පැමිණියේ චිත්‍ර ශිල්පියකු, කලා අධ්‍යක්ෂවරයකු වූ මගේ මාමා ගුණරත්න රත්නායක හමුවීමටය. අපි ආදරයෙන් ‘සිල්වා මාමා’ නමින් කතා කළ ඔහු පැමිණියේ ධර්ම ශ්‍රී කල්දේරා සමඟය. ඔවුන් අපේ ගෙදර ලොකු කළු මේසයේ පුටුවල හිඳගෙන ෆයිල් පෙරළාගෙන කතා කළේ ඒ වන විට කල්දේරා මාමා අධ්‍යක්ෂණය කිරීමට සැළසුම් කළ ‘සිතල වතුර’ චිත්‍රපටයේ තිර නාටක කැපුම් හා කෙටීම් ගැනය. ඒ 1962 වසරය. මා එවකට වයස අවුරුදු දහ හතර හැවිරිදි ළමයෙකි.

‘සීතල වතුර’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ කල්දේරාය. කැමරා අධ්‍යක්ෂ සිල්වාය. ගුණරත්න කලා අධ්‍යක්ෂකය. ඔවුන් කතා කරමින් තර්ක කරමින් මෙන්ම විවේකයකදී විමලවීර මාස්ටර්ගේ සැඟවුණු රහස් ද කතා කරති. අද මේ තිදෙනා ජීවතුන් අතර නැත. ඔවුන් එක්ව නිර්මාණය කළ ‘සිතල වතුර’ චිත්‍රපටයේ ද එකදු පිටපතක්වත් නැත. සිල්වා මාමා රූ ගැන් වූ අගනා චිත්‍රපට කීපයක් සිංහල සිනමාවට ඉතිරි කොට 2009 දෙසැම්බර් 30 වෙනිදා මිය ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here