ධරණි නාට්‍යයේ විනුලි මෙන්න

0
100
නොවැම්බර් 26, 2020

මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය වන ධරණි ටෙලි සිතුවම නරඹන ඔබට ඇය සුපුරුදු චරිතයකි. එහි විනුලි ලෙස චරිත මවන මේ සුරූපිනියගේ නම ඩිලුෂි හංසිකාවේ.

 

ඩිලුෂි මම ඔබෙන් මුලින්ම අහන්නේ සාම්ප්‍රදායික ප්‍රශ්නයක්.

ක්ෂේත්‍රයට ආවේ කොහොමද කියන එකනේ අයියේ..

 

ඔව්?

මෙහෙමයි. මම දෙරණ අවුරුදු කුමරි තරගාවලියට සහභාගි වුණා මේ වසරේ. එහි තුන් වැනි ස්ථානය දිනා ගැනීමට මට හැකියාව ලැබුණා. එකත් එක්කම තමයි ධරණි නාට්‍යය සඳහා ආරාධනා ලැබෙන්නේ.

 

එතකොට ඔබ රඟපාන්න කැමැත්තෙන් හිටිය ද?

අනේ නැහැ. ඔය දෙරණ අවුරුදු කුමරිය තරගාවලියටත් අයැදුම් කළේ මගේ යහළුවෝ සහ මගේ ගෙදර පිරිසගේ උනන්දුව මත. මගෙ නංගි කෙනෙක් තමයි අයදුම්පතත් යැව්වෙ. නොසිතූ විදිහට මට ඒ තරගාවලියෙන් තුන්වැනි තැන ජයග්‍රහණය කරන්නට ලැබුණා.

 

රංගනයට ආරාධනා ලැබුණාම මොකද හිතුණේ?

පුදුමාකාර විදියට සතුටක් දැනුණා. හරියට අර අපි බලාපොරොත්තුවෙන් හිටපු දේකට කතා කළා වගේ. ධරණි දෙරණ නාළිකාවේ විකාශය වන ටෙලි නාට්‍යයක් හින්දා බය වෙන්න දේකුත් නැහැනේ. ඒක මගේ ජීවිතයට ලැබුණු අනගි අවස්ථාවක් කියලා කියන්න පුළුවන්.

 

රඟපාන්න ගිය පළවෙනි දවස මතකද?

අනිවාර්යයෙන් මතකයි. එදා වෙච්ච දේවල් නම් කවදාවත් මට අමතක වෙන එකක් නැහැ. මම දර්ශනතලයට ආවේ උදේ පාන්දර. එතකොට ඒ වෙලාවේ පොඩි දරුවන්ගේ දර්ශන රූපගත කරමින් තිබුණේ. චූටි ළමයිගේ සීන් ගනිද්දි නැවත නැවතත් ඒවා රූපගත කරනවානේ. ඉතින් එදා රෑ වෙනකම් මට මුකුත්ම කරන්න තිබුනේ නැහැ. පැත්තකට වෙලා රූපගත කිරීම දිහා බලාගෙන ඉන්න තමයි මට වුණේ. අන්තිමේ මගේ දර්ශනය ගනිද්දී රෑ දහය මාරයි. තිබුණෙත් එකම එක දෙබසයි. කියන්න ඒක කියල එදා ගෙදර ආවා.

 

කොහොම ද ඔබට මේ ලැබුණු ජනප්‍රියත්වය දැනෙන්නේ?

ඇත්තටම ඒක මම බොහොම හොඳීන් විඳීනවා. තැනකට ගියාම මිනිස්සු මාව අඳුර ගන්නවා. සමහරු මාව කටහඬින් අඳුර ගන්නවා. එතකොට ඉතින් කියාගන්න බැරි තරම් සතුටක් හිතට දැනෙනවා.

 

ඔබ රඟපාන චරිතයට මිනිස්සු ආදරෙයි ද?

ඒක සාපේක්ෂයි. ඇතැම් ප්‍රේක්ෂකයෝ ඉන්නවා ටෙලි නාට්‍ය චරිතත් එක්කම ජීවත් වෙන. එතකොට එයාලා හිතන්නේ අපි රඟපාන චරිත වල ගතිගුණමයි අපිට තියෙන්නෙ කියලා. එහෙම අය හිතාගෙන ඉන්නේ මටත් හරියට කේන්ති යනවා කියලා. මොකද ධරණි නාට්‍යයේ මගේ චරිතෙට අනුව මට ටිකක් කේන්ති යනවා. එහෙම එච්චර කේන්ති ගන්න එපා කියලා කියන අයත් ඕන තරම් ඉන්නවා. ඒව ඉතින් ප්‍රේක්ෂක ප්‍රතිචාරනේ. මම හරි ආසයි මොන අන්දමේ ප්‍රතිචාරයක් වුණත් මට ලැබෙනවාට.

 

රඟපෑම පිළිබඳ ලොකු බලාපොරොත්තු තියෙනවාද?

ඇත්තටම නැහැ. මම මේ වනවිට කැලණිය විශ්ව විද්‍යාලයේ අන්තර්ජාතික සබඳතා පිළිබඳ උපාධියක් හදාරමින් ඉන්නේ. දැනට මම තුන්වැනි වසරේ. ඉතින් අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට යන්න තමයි මගේ අදහස. කවදා හරි මම අධ්‍යාපනය ඉවර වෙලා වෙනත් ක්ෂේත්‍රයක රැකියාවක් කරයි.

 

එතකොට රඟපෑම?

මම රඟපෑමෙන් අයින් වෙන්නේ නැහැ. හොඳ චරිතයක් ආවොත් මම කරන්න හිතාගෙන ඉන්නවා.

 

ඔබේ පදිංචිය කොහෙද?

මම කටුබැද්දෙ.

 

ඉගෙන ගත්තු පාසල?

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය දෙහිවල.

 

උපන් දිනය

නොවැම්බර් 20

 

මෙතෙක් පැමිණි ගමනට ස්තුති කරන්න ඕනේ කාටද?

දෙරණ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහත්මයාව මුලින්ම මතක් කරනවා. ඊට පස්සේ අපේ ධරණි නිෂ්පාදක ජානක සිරිවර්ධන, අධ්‍යක්ෂ ශ්‍රියන්ත ප්‍රසාද් සහ පිටපත රචනා කරන නිදුක් මදුෂික යන මහත්වරුන් ඇතුළු ධරණි නාට්‍ය කණ්ඩායමට ස්තූතිවන්ත වෙනවා.

 

ඔබ ගැන කෙටියෙන් හැඳීන්නුවොත්?

හරිම සරල නමුත් උත්සාහ වන්ත කෙනෙක්.

 

 

පමුඛ නිමේෂ්

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here