උඩුගම්පළ සේවිකාවට පහර දීම ගැන පියවරක් ගන්නැයි ඇමැති ප්‍රසන්න ඉල්ලයි

0
76
Author(s): 
මහින්ද අලුත්ගෙදර

බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පළ කාර්යාලයේ ඉංජිනේරුවරයා විසින් එහි සේවිකාවකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහා පියවරක් ගන්නැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකරවරයාගෙන් ඉල්ලීමක් කරයි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයාර් වයිස් මාෂල් රොෂාන් ගුණතිලක මහතා වෙත ලිපියක් යවමින් ඔහු ඉල්ලා සිටින්නේ මෙම පුද්ගලයාගේ තරාතිරම නොබලා ඔහුට එරෙහිව වහා කටයුතු කරන ලෙසයි.

බස්නාහිර පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ ඉංජිනේරුවරයා එහි සේවිකාවකට පහර දීමේ සිද්ධිය ඇතුළත් විඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වේ. මේ සිද්ධිය දැඩි ලෙස හෙළා දකින බවත් දියණියන් තිදෙනකුගේ පියකු වන තමන් කවරාකාරයේ හෝ කාන්තා හිංසනයකට එරෙහි බවත් ඇමැතිවරයා කියා සිටියි.

මෙම සිද්ධියට එරෙහිව වහා පියවර ගත යුතු බවට තමන් ආණ්ඩුව තුළද පෙනී සිටින බව ඇමැතිවරයා ආණ්ඩුකාරවරයා වෙත යැවූ ලිපියේ වැඩි දුරටත් සඳහන් වේ.

මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ ඉංජිනේරුවරයා තමන්ගේ ආධාරකරුවකු බවට ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ද ඇමැතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදමින් සදහන් කර තිබේ. විපක්ෂයට සම්බන්ධ පුද්ගලයන් හා ෆෙස්බුක් පිටු මගින් සිද්ධියට තමන්ගේ නම ඈදගෙන තිබෙන්නේ තමන්ව හා ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ උවමනාව මත බව පවසන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා උඩුගම්පළ සිය ගමේ තමන්ට කිසිදු සම්බන්ධයක් නොමැති කාර්යාලයක ඇති වූ සිද්ධියකට තමන්ගේ නම ඈදාගැනීමෙන්ම එය තහවුරු වන්නේ යැයි ද පෙන්වා දෙයි.

මේ නිසා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට එරෙහිව මඩ ප්‍රචාරය කරනු ලබන පුද්ගලයන්ට එරෙහිව පියවර ගන්නා බව ද ඔහු සිය නිල ෆෙස්බුක් ගිණුමේ සටහන් කර තිබේ. තමන්ට කිසිදු සම්න්ධයක් නොමැති සිද්ධියකට තමන්ගේ නමද ඈද ගනිමින් මඩ ප්‍රචාර කරනු ලබන පුද්ගලයන්ට එරෙහිව ද පියවර ගන්නා බව ඒ මහතා සිය නිල ෆෙස්බුක් පිටුවේ සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here