ටොරින්ටන් ක්‍රීඩා නේවාසිකාගාරයේ ක්‍රීඩා නිලධාරියකුට කොරෝනා

0
44
Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

පරිශ්‍රය සෞඛ්‍ය ආරක්ෂිත කලාපයක් කරයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා නේවාසිකාගාරයේ ක්‍රීඩා නිලධාරියකුට කොරෝනා ආසාදිත බවට සිදු කරන ලද පීසීආර් පරීක්ෂණයකදී හඳුනා ගෙන තිබේ. ටොරින්ටන් ක්‍රීඩා නේවාසිකාගාරයේ හා පරිශ්‍රයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් සියලු දෙනා අහඹු පීසීආර් පරීක්ෂණයකට ලක්කොට ඇති අතර, එහිදී එක් නිලධාරියකුගේ පීසීආර් පරීක්ෂාව ධනාත්මක වී තිබේ.

ඒ අනුව සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි ආසාදිත නිලධාරියා සමඟ පී.සී.ආර් පරීක්ෂණයට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනකු, නිලධාරීන් සිවුදෙනකු සහ රියැදුරෙකු ඇතුළු පළමු පෙළ සම්බන්ධතා පැවැත්වූ සියල්ලන්ම නිරෝධනයට ලක් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන ඇත. එමෙන්ම මේ ක්‍රීඩා නිලධාරියා කටයුතු කළ ශක්ති ශාලාව (ජිම්) ඇතුළු ඔහු සිටි සියලු ස්ථාන විෂබීජහරණය කිරීමට කටයුතු කර ඇති අතර, අනෙක් සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් ඇතුළු සියලු දෙනා පොදු සෞඛ්‍ය උපදේශන මාලාවකට යටත් කොට ඇත.

එම පොදු සෞඛ්‍ය උපදේශන මාලාව අනුව දිනකට දෙවරක් උෂ්ණත්ව පරීක්ෂාව, කොරෝනා සෞඛ්‍ය ප්‍රශ්නාවලියකට පිළිතුරු සැපයීම, අත් සේදීම හා මුහුණු ආවරණ පැළදීම හා දුරස්ථභාවය රැකීම වැනි දැඩි සෞඛ්‍ය ක්‍රියාමාර්ග ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පනවා ඇත. කිසිදු අයුරකින් ටොරින්ටන් නේවාසිකාගාරයට නැවත දැනුම් දෙනතුරු පිටස්තරයන් ඇතුළුවීම තහනම් කර තිබෙන අතර, පිටවීමේදී දැඩි සීමාවන් පනවා ඇත.

මේ සිදුවීමෙන් නේවාසිකාගාරයේ ගත කරන ක්‍රීඩක ක්‍රීඩිකාවගේ දෛනික පුහුණුවීම් කටයුතුවලට බාධාවක් නොමැති අතර, මෙතෙක් ටොරින්ටන් ක්‍රීඩා නේවාසිකාගාරයෙන් පිටත පුහුණුවීම්වල යෙදුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා වෙනත් ස්ථානවල පුහුණුවට යෙදවීමට කටයුතු යොදා ඇත. ක්‍රීඩා නේවාසිකාගාරය ඇතුළු සෙසු පරිශ්‍රයන් කොරෝනා වයිරස ආරක්ෂිත කලාපයක් ලෙස පවත්වා ගෙන යාමට කටයුතු යොදා ඇත. මෙයට පෙර ජාතික පාපන්දු පිලේ ක්‍රීඩකයෙකුට හා හිටපු ක්‍රීඩකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබූ අතර, ඔවුන් දැනට සුවය ලබා ඇත. ජාතික පාපන්දු පිලේ ක්‍රීඩකයා ආරක්ෂක හමුදාවකට සම්බන්ධ බැවින් එහි සේවා කටයුත්තකදී කොරෝනා වයිරසය ආසාදනය වී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here