දරු සෙනෙහසේ අරුමය!

    0
    61

    පූජාවලියෙහි රස මුසු තැන් කෙරෙහි පසුගිය ලිපි දෙකෙන් අප කළ අනාවරණ, බොහෝ පාඨකයන්ගේ ධර්ම ඥානය මෙන්ම, සාහිත්‍ය රසය ද පුළුල් කිරීමෙහිලා සමත් විය. මෙවර ලිපියෙන් අපි පූජාවලියේ පළමු පරිච්ඡේදයේම ඇතුළත් තවත් විශේෂ කරුණු කීපයක් කෙරෙහි අවධානය යොමු කරමු. ඒ දරු සෙනෙහස සම්බන්ධයෙනි.

    ලොව ඇති අග්‍රගණ්‍ය, අවිච්ඡින්න බැඳීම වනාහි දරු සෙනෙහසයි. මවකගේ සෙනෙහස මෙන්ම පියකුගේ සෙනෙහස ද එකිනෙකට දෙවැනි නොවේ. මවකගේ සෙනෙහස ගැන අපමණ කතාබහ සිදුව ඇති නමුත්, පිය සෙනෙහස එතරම් සාකච්ඡාවට ලක් නොවීම පියවරුන්ට වූ අසාධාරණයක් දැයි සිතේ. මහාවග්ග පාළියෙහි එන සුදොවුන් රජුගේ ප්‍රකාශයක් වන “පුත්ත පේමං භන්තේ ඡවිං ඡින්දති ඡවිං ඡෙත්වා …” යන කියුමට අනුව, පියවරුන්ගේ දරු සෙනෙහස හද පතුලේ නිදන්ගත වූවකි. එය සම් සිඳ, මස් සිඳ, නහර සිඳ, ඇට සිඳ, ඇට මිදුළු කරා ගොසින් කම්පිත කරවන බව මෙයින් කියවෙයි. මහැදුරු සරච්චන්ද්‍ර‍ සූරීහු ද ‘සිංහබාහු’ නාටකය තනා මේ සත්‍යතාවම අවධාරණය කළහ. “මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ, පුදුමයි පුතුනි! කිම මගේ ලේ කිරි නොවුණේ?” යනුවෙන් මාලනී ජයරත්න මාතාව ගාන්ධර්ව ටී.එම්. ජයරත්න සිය ප්‍රිය සමුණාණන් ලවා ද මේ ගැටලුවම ඉස්මතු කරවයි.

    පූජාවලිය ලියවුණු දඹදෙණි යුගයේ මහ රජ දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහුය. එදා මෙදා තුර රාජාවලියෙහි මේ රජුට ළං කළ හැකි, සම කළ හැකි වෙනත් රජෙක් තවත් නොවීය. එතුමාගේ ධර්ම ඥානය ප්‍රකට කෙරෙන්නේ, ‘විශුද්ධිමාර්ග මහා සන්නයෙනි’; සාහිත්‍ය ඥානය ප්‍රකට කෙරෙන්නේ, ‘කව්සිළුමිණ’ මහා කාව්‍යයෙනි. මේ රජුගේ අගමැතිවරයා වූයේ දේවප්‍රතිරාජය. දිනක් තම නරේන්ද්‍රයාට සමීප වූ අගමැතිවරයා රජතුමාගේ ධර්ම ශාස්ත්‍රීය මෙහෙවර මෙන්ම, තෙරුවන් කෙරෙහි පිහිටි බැති සිත ද වර්ණනා කොට මෙසේ තෙපලේය:

    “හිමි, නුඹ වැනි ඥානවන්ත වූ මෙසේ මෙසේ මහ පින් රැස් කරන මහ පින්වත් රජක්හු බුදුබව් පැතීමෙහි උපේක්ෂා වනු නොයෙදෙයි. බුදු වන්නට වහා ප්‍රාර්ථනා කළ මැනව.” (14 පිට)

    සැබවින්ම රජු කෙරෙහි අත්‍යයන්ත හිතෛෂි අගමැතිවරයකු ලෙස ඔහු කියා සිටින්නේ, මෙතරම් ඥානවන්ත, බුද්ධිමත් සහ මහා පින්වතාණන් කෙනකු වූ රජතුමා, බුදුබව ප්‍රාර්ථනා නොකරන්නේ මන්ද කියාය. මෙය තත්කාලීන සම්ප්‍රදායක්ව පැවති බව පෙනේ. බොහෝ පඬිවරු, වියත්හු සහ පුණ්‍යවන්තයෝ තම කාර්ය කෙළවර බුදුබව ප්‍රාර්ථනා කළෝය. මෙවැනි සංකල්පයක් සමාජගත වූයේ, තත්තාලීන මහායාන බුදුසමයෙහි ආභාසය නිසායැයි සිතිය හැකිය. මහායානිකයෝ සියල්ලෝම බුදුබව ප්‍රාර්ථනා කළහ. එය ථෙරවාද සම්ප්‍රදායට ද පැමිණි අයුරක් මෙයින් දැකගත හැකිය.

    කෙසේ වතුදු දෙවන පැරකුම්බාවන් මෙහිදී කළ ප්‍රකාශය දරු සෙනෙහස සම්බන්ධයෙන් සම්භාව්‍ය ධර්ම සාහිත්‍යයේ හමු වන වැදගත්ම අවස්ථාවකි. එය මෙසේය:

    “කුමක් කියවු ද? මංගල නම් බුදුන් බෝසත් කල දන් දුන් දරු දෙදෙනා කරදළ නම් යකෙක් දෙකපොලයෙන් ලේ වගුරුව වගුරුවා මහ හුණ කිළිලයක් සේ මුරුමුරුයා බිඳ කන කල ඒ බෝසතාණෝ ද දරුදුක් ඉවසා බුදුබැව්හිම පෙම් බැන්දෝල. තව ද වෙසතුරු මහ බෝසතාණෝ ජූජක නම් බමුණාට ජාලිය කුමාරයා කෘෂ්ණජිනා නම් දරු දෙදෙනා දන් දී ඔහු දරුවන් බැඳගෙන මර මරා ගෙන යන වේලෙහි දෙදරුවන් පිටින් වැගිරෙන ලේ හා ඇසින් වැගිරෙන කදුළු ධාරා දැක ළය වාවා ගෙන බුදුබව් පත පතා උන්නාහු ල. ඉතා දුෂ්කරය. බෝසත්වරු එසේ යාචකයන්ට ප්‍රිය දරුවන් බැඳ දුන් වැල් පමණක් රැස් කරතොත් මහමෙර පරයා සිටී ල. එසේම ඇස් මස් ලේ දන් දීමෙහි ද භාර්යාවන් දන් දීමෙහි ද සරු නැත්තෙමි. ඒ මට ඉතාම පිළිවන. පුත්‍ර දානය කළ ඉතාම බැරිමය.” (12 පිට)

    දරු සෙනෙහසක මහිමය ගැන මේ තරම් උසස් ප්‍රකාශයක් සම්භාව්‍ය පොතපතක තවත් ඇත් ද? මෙය මොන තරම් උත්කර්ෂවත් ද? අර්ථ පූර්ණ ද? හැඟුම්බර ද? ළෙන්ගතු ද? ඇතැම් විට විමසා බලද්දී දෑසට කඳුළක් පවා ඇති කරන්න සමත් නොවෙයි ද? බෝසත්වරු බුදු බව පතා දරුවන් කෙරෙහි ඇති ආලය ද නැති කරති; දරුවන් දාන පාරමිතාවෙහි යොදවති. මේ ධර්මතාව ප්‍රගුණ කළ ධර්මධරයකු ලෙස තමාට මේ ලෝකයේ සියල්ල හළ හැකිය; තමාගේම ඇස්, ඉස්, මස් දන් දිය හැකිය; භාර්යාවන් ද දන් දිය හැකිය; එහෙත්, දරුවන් දන් දිය නොහැකි ය. ඊට හේතුව ද මෙහි අනාවරිත ය. එනම්: දරුවන් දන් දුන් කල ඒ දරුවන් රැගෙන යන්නෝ යාචකයෝය; බිහිසුණු යක්ෂයෝය; රකුසෝය. ඔවුහු බෝසත්වරුන් බලා සිටියදීම දරුවන් උණ ගොබ කන්නා සේ කන අයුරු, පහර දිදී හඬද්දී රැගෙන යන අයුරු තමා දන්නා බැවින්, ඒ දුක තම ලෙයින් පෝෂිත දරුවකු විඳිනු කිසිදු විටෙක තමාට බලා සිටිය නොහැකි බවයි.

    මේ අනුව පූජාවලිය, දාරක හිංසනය නොරිස්සූ, එය පිළිකෙව් කළ කෘතියක් ලෙස හැඳින්වීමට මෙය ප්‍රබල නිදසුනකි. දඹදෙණි යුගයේ සමාජය දරුවන් අපමණ හිංසනයට ලක් කෙරුණු සමාජයක්ය යන්න අපට පසක් වනුයේ, මෙය පශ්චාත් යුද සමයක් වූ බැවිනි; වෙසෙසින් මාඝගේ තිස්තුන් වසක සැහැසි පාලනය අවසන් වූ පසුබිමකය. යුද්ධයකදී වඩාත්ම අසරණ වන්නෝ දරුවෝය. ලංකාවේ මෑතකාලීන තිස් අවුරුදු යුද්ධයෙන් එය අපට පසක් කෙරිණි. ඒ අනුව පූජාවලී කතු බුදුපුත් හිමි ඉතා පරිස්සමෙන් සහ අවධාරණයෙන් දාරක හිංසනයට එරෙහිව කළ ප්‍රබල ප්‍රකාශනයක් ලෙස මේ අවස්ථාව ඉදිරිපත් කළ අයුරු දැකිය හැකිය. මෙනයින් දාරක හිංසනය අපමණව සිදු වන නූතන සමාජයට, පූජාවලියේ මේ නිරූපණය කවර තරම් අර්ථවත් ද?

     

    මහාචාර්ය

    අගලකඩ සිරිසුමන හිමි

    සිංහල අංශය

    කොළඹ විශ්වවිද්‍යාලය

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here