පරිසර විරෝධයට ප්‍රතිප්‍රහාර

    0
    35
    Author(s): 
    චතුමී පිටිපන

    භූ විද්‍යාඥයන් විසින් කරන ලද සමීක්ෂණයන්ට අනුව පෘථිවියෙන් රත්‍රං සපයා ගත හැක්කේ තව වසර 20ක් යන තෙක් පමණි. කොපර් වසර 34කි, යකඩ වසර 70ක් පමණි, නිකල් වසර 50කි, මැංගනීස් වසර 56කි. මෙම ද්‍රව්‍යයන් තිරසරව පරිහරණය කිරීමට මිනිසා දැනුවත් විය යුතුය. එවිට මෙම පාරිසරික සම්පත් අනාගත පරපුරට ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගත හැකි ලෙස ඉතිරි කළ හැකිය. 

    මිනිසා විසින් වරින් වර පරිසරයට කරනු ලබන අකටයුතුකම් හේතුවෙන් ලෝකයේ අර්බුද රැසක් නිර්මාණය වෙමින් තිබේ. 2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් බොහෝ රටවල ජීවිත හා දේපළ හානි සිදුවිය. එහෙත් මිනිසා ඉන් ද පාඩමක් ඉගෙන ගත් බවක් පෙනෙන්නට නොතිබුණි. පසුගිය මාස කිහිපයයේදී ලැව් ගිනි ,ගංවතුර ,ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම වැනි පාරිසරික ගැටලු රැසකට මුහුණ දෙන්නට ලෝකයාට සිදු විය. . වර්තමානයේ ද මුළු ලොවම මුහුණ දී සිටින්නේ බරපතළ ඛේදවාචකයකට ය. දරුණුතම වයිරසයක් මුළු ලොවම ගිල ගැනීමට සූදානම්ව සිටියි.එයද වක්‍රාකාරයෙන් ගත් කල මිනිසා ගේ පාරිසරික ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයකි. අද වන විට මිනිසාට හුස්ම ගැනීමට සිදු වී ඇත්තේ ද මුහුණ වසා ගෙනය. මිනිසා පරිසරයෙන් ඈත්වීමට බලපෑවේ කුමන හේතු ද ඒ කවදා සිටද ?

    මිනිසාගේ සම්භවය

    මිනිසාගේ සම්භවය ආරම්භ වූයේ වානරයාගේ පරිණාමයත් සමඟිනි. වානරයන් පෘථිවියට සම්භවය වූයේ මීට වසර මිලියන 25කට කලිනි. එලෙස සම්භවය වූ වානරයන්ගේ පොසිල වසර මිලියන 13ක් යන තෙක් ලෝකයේ විවිධ ප්‍රදේශවලින් හමු වී තිබේ. එසේ හමු වූ පොසිල හමු වන ප්‍රදේශ අනුව එම වානරයන් නම් කරනු ලැබේ. එනම්, රාම පිතිකස්, ශිවා පිතිකස්, ඊජිප්තු පිතිකස්, කෙන්යා පිතිකස් සහ ගිගැන්ටො පිතිකස් යනුවෙනි. ලෝකයේ විශාලම වානරයා වනුයේ ගිගැන්ටො පිතිකස්ය. එම වානරයා වසර 35,000ක් චීනයේ ජීවත් වී ඇති බව සොයා ගෙන තිබේ.

    වසර මිලියන 5දී පමණ දෙපාවත් මානවයා ලෙස සලකන ඔසිටොලෝ පිතිකස් ඇපරෙන්සිස් කාණ්ඩය හමු වේ. මෙම වානරයාගේ දෙපාවත්බව හඳුනාගනු ලබන්නේ ගිනි කඳු පිපීරීමෙන් ඇති වූ ලාවා මත ඔහුගේ කුඩා දරුවා සමඟ ඇවිද ගිය බවක් දක්න‍ට ලැබීමෙනි. මෙම වානරයාගෙන් පසුව හෝමෝ ගණයට පරිණාමය වී ඇත. හෝමෝ ගණය යනු නූතන මානවයන් අයිති වන ගණයයි. හෝමෝ හැබිලිස්, හෝමෝ ඉරෙක්ටස් සහ හෝමෝ සේපියන්ස් ආකාරයට නූතන මානවයන් පරිණාමය වී තිබේ.

    හෝ‍මෝ හැබිලිස් කාණ්ඩය පෘථිවිය මත ජීවත් වීම සඳහා පරිසරයේ තිබෙන ස්වාභාවික ගල් සහ ස්වාභාවික මුගුරු ආදිය ආයුධ ලෙස භාවිත කර අල බතල වැනි දෑ හාරාගෙන ආහාරයට ගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කර තිබේ. හෝමෝ ඉරෙක්ටස් කාණ්ඩය මීට වඩා බොහෝ දේ කිරීමට පෙලඹී තිබේ. පොසිල මඟින් සොයා ගත් දත්ත අනුව පෘථිවියේ ශීත කාලයේදී මොවුන් බහුල ලෙස ව්‍යාප්ත වූ බවක් දක්නට ලැබේ. මෙම ශීත දේශගුණයත් සමඟ මොවුන් උග්‍ර මාංශ භක්ෂකයන් ලෙස ජීවත් වී ඇත. මේ නිසා සතුන් දඩයම් කිරීමට මොවුන් පෙලඹි තිබේ. මේ සඳහා අවශ්‍ය කරන ආයුධ තනා ගැනීම සඳහා පාෂාණ භාවිත කර ඇති හෙයින් මෙම අවදිය ගල් යුගය ලෙස හැඳින්විණි. මෙම ගල් යුගය ලෝකයේ වැඩි කාලයක් පැවති යුගයක් ලෙස ද හඳුන්වා දිය හැකිය. .

    හෝමෝ ඉරෙක්ටස් මානවයාගෙන් පසුව හෝමෝ සේපියන්ස් කාණ්ඩය පෘථිවිය මත විවිධ ප්‍රදේශවල විවිධ ආකාරයට ඇති වී තිබේ. මෙම හෝමෝ සේපියන්ස් වානරයන් උප විශේෂ කිහිපයකට බෙදී අද වන විට නූතන මානව‍යා ලෙස සලකනු ලබන හෝමෝ සේපියන්ස් සේපියන්ස් ලෙස සලකන මානවයන් පෘථිවිය මත සම්භවය වී තිබේ.

    මිනිසාට සහ සතුන්ට පරිසරය වැදගත් වන්නේ ඇයි?

    මිනිසාගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වන ජීවි ද්‍රව්‍ය සපයනු ලබන මාධ්‍ය ලෙස පරිසරය සලකනු ලබයි. පරිසරය මඟින් නඩත්තු කරනු ලබන ජලය, වාතය සහ හිරු එළිය මිනිසාට සහ සතුන්ට ලැබෙනුයේ පරිසරයේ තිබෙන ලක්ෂණ නිසාය. මේ ආකාරයෙන් ලැබෙන දේ මිනිසාගේ දැනුවත්කමින් හෝ මිනිසාගේ නොදැනුවත්කමින් නැති කර ගනු ලබයි. එහි ප්‍රතිඵලයක් ලෙස පරිසර දූෂණය ඇති වේ. මිනිසා විසින් ඇති කරනු ලබන පරිසර දූෂණය වායු ගෝලීය දූෂණය, ජල දූෂණය, භෞමික පරිසර පද්ධති දූෂණය සහ ශබ්ද දූෂණය යනුවෙන් හැඳින්විය හැකිය. මේ අතරින් වායු ගෝලීය දූෂණය ප්‍රධාන ආකාර තුනකි. 1.අම්ල වැසි ඇති වීම, 2. ඕසෝන් වියන හායනය වීම, 3. ගෝලීය උණුසුම යනුවෙනි.

    අම්ල වැසි හේතුවෙන් මිනිසාට බොහෝ අවාසි සිදු වේ. පෘථිවියේ පවතින පරිසර පද්ධති තුළින් මිනිසාට ලැබෙන ජෛවීය සම්පත අඩු වේ. උදාහරණයක් ලෙස භෝග වගාවන්වල සහ අනෙකුත් ශාකවල හරිත පටක විනාශ වේ. මේ නිසා භෝග වගාවන්ගෙන් ලැබෙන ඵලදාව අඩු වේ. මේ නිසා ඵලදාවේ මිල ඉහළ යෑම සිදු වේ. ඒ හරහා සිදු වන්නේ ආර්ථික වශයෙන් මිනිසාටම විශාල අගතියකි.

    ඕසෝන් වියනේ සාමාන්‍ය ගණකම වන්නේ ඩොප්සන් ඒකක 350කි. එය අද වන විට ඩොප්සන් ඒකක 200ට පමණ අඩු වී තිබේ. එලෙස අඩු වීමට බලපා ඇති හේතුවක් වන්නේ ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් භාවිතයයි. මෙම කාබන් භාවිතය ලෝකයෙන් තුරන් කිරීම සඳහා විවිධ සම්මුතීන් ඇති වී ඇති මුත් අතීතයේ දී එම ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් භාවිත කළ හෙයින් ඔසෝන් වියනේ ගණකම අඩු වීම නිසා අහිතකර අධෝරක්ත කිරණ පෘථිවියට ළඟා ‍වේ. මේ නිසා ශාක ප්‍රවාංග වන ඇල් ගී වැනි දෑ විනාශ වේ. මේ නිසා සාගර පරිසර පද්ධතිවල ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය කළ නොහැකි වේ. මේ නිසා වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහළ යෑමක් සිදු වේ. මින් සූර්ය ශක්තිය වැඩි පුර උරා ගැනීමක් සිදු වී ජෛව ගෝලය උණුසුම් වේ.

    මේවා සියල්ල මිනිසා විසින් ළඟා කර ගත් අහිතකර ප්‍රතිඵලයන්ය. අවසානයේ දී මේවා මිනිසා කරාම ළඟා වෙන අතුරු විපාක ලෙස හැඳින්විය හැකිය.

    වායුගෝලය අපිරිසුදු වීම

    කර්මාන්ත ශාලාවලින් පිට කරනු ලබන අපද්‍රව්‍ය ගංගාවලට මුදා හැරීමෙන් ගංගා මෝය කට අවහිර වීමෙන් සහ වැලි ගොඩ දැමීම වැනි ක්‍රියාවන් හේතුවෙන් ගං වතුර තත්ත්වයන් වැනි ස්වාභාවික ව්‍යසනයන්ට මුහුණ දීමට මිනිසාට සිදු වී ඇත. කෘෂි රසායන ද්‍රව්‍ය ජලාශවලට දැමීමෙන් පිරිසුදු ජලය දූෂණය වී ඇත. ගස් වැල් කපා පිලිස්සීම, කැලය එළි පෙහෙළි කිරීම, ගොඩනැඟිලි හා ගම්මාන ඉදිකිරීම හේතුවෙන් පරිසරයේ සුන්දරත්වය විනාශ වී ගොස් තිබේ. එමෙන්ම වාහනවලින් පිට කෙරෙන කළු දුම්, කර්මාන්ත ශාලාවලින් පිට වන දුම් හා යුද අවි අත්හදා බැලීමේදී ද වායුගෝලය අපිරිසුදු වේ. කඳු නාය යෑම්වලට හේතු වී ඇත්තේ ගස් කැපීම සහ කඳුවල ගල් කැඩීම වැනි හේතූන්ය. එමෙන්ම ඉතා අකාර්යක්ෂම ලෙස පරිසරයට කුණු කසළ එකතු කොට තිබීමෙන් පරිසරය අප්‍රසන්නතාවයට පත් වී ඇති සේම කුණු කඳු නාය යැමෙන් පසුගිය දා අප රටට සිදු වූ විනාශය ද සුළුපටු නොවේ. මෙසේ හානියට පත් වූ පරිසරය යථා තත්ත්වයට පත් කිරිම පරිසරයට හානි කරන්නාක් මෙන් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.

    ආර්ථික අමුද්‍රව්‍ය හා ශක්තිය සැපයීම

    පරිසරය විසින් මිනිසාට අවශ්‍ය ආර්ථික අමුදුව්‍ය සහ ශක්තිය සැපයීම සිදු කරනු ලබයි. මේ යටතේ පොසිල ඉන්ධන, ජෛව ඉන්ධන, ඛනිජ ලවණ සහ රසායනික ද්‍රව්‍ය වැනි දේ දැක්විය හැකිය. මේ ආකාරයෙන් පරිසරයේ තිබෙන ඇතැම් ස්වාභාවික ද්‍රව්‍යයන් මිනිසාගේ අධි පරිභෝජනය හේතුවෙන් ක්‍රමයෙන් හීන වී යන බවක් පෙනෙන්නට තිබේ. උදාහරණයක් ලෙස මිනිසා භාවිතයට ගනු ලබන ජංගම දුරකතනය ගත් විට එහි ප්‍රධාන වශයෙන්ම අන්තර්ගත වන්නේ එකිනෙකට වෙනස් ඛනිජ වර්ග සහ මූල ද්‍රව්‍ය 50කට අධික සංඛ්‍යාවකි. මේ අතර බැර ලෝහ ද අන්තර්ගතය. මෙම ජංගම දුරකතනය අකර්මණ්‍ය වූ විට පරිසරයට මුදා හැරීමක් සිදු වේ. එවිට සිදුවන්නේ එහි අඩංගු රසායනික ද්‍රව්‍යයන් නැවතත් පරිසරයට එකතු වී ඇතැම් බැර ලෝහ ආහාර දාම දිගේ ගමන් කොට නැවතත් මිනිසා කරාම පැමිණීමය. මෙහි ප්‍රතිඵලයක් ලෙස හඳුනා නොගත් වකුගඩු රෝගවලට මුහුණ දීමට මිනිසාට සිදු වේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ තත්ත්වයන් වර්තමානයේ දක්නට ලැබේ.

    එමෙන්ම පසෙන් ලබා ගන්නා ඛනිජ ලවණ ක්ෂය වී ගෙන යන තත්ත්වයක් දක්නට ලැබේ. භූ විද්‍යාඥයන් විසින් කරන ලද සමීක්ෂණයන්ට අනුව පෘථිවියෙන් රත්‍රං සපයා ගත හැක්කේ තව වසර 20ක් යන තෙක් පමණි. කොපර් සපයා ගත හැක්කේ වසර 34කි. යකඩ සපයා ගත හැක්කේ වසර 70ක් පමණි. නිකල් සපයා ගත හැක්කේ වසර 50කි. මැංගනීස් සපයා ගත හැක්කේ වසර 56කි. මෙම ද්‍රව්‍යයන් පරිහරණය කිරීම තිරසරව කිරීමට මිනිසා දැනුවත් විය යුතුය. එවිට මෙම පාරිසරික සම්පත් අනාගත පරපුරට ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගත හැකි ලෙස ඉතිරි කළ හැකිය.

    අපද්‍රව්‍ය අවශෝෂණය

    මිනිසා විසින් පරිසරයට බැහැරලන අපද්‍රව්‍ය අවශෝෂණ ගුණයක් පරිසරය සතුය. ඒ සඳහා විශාල වශයෙන් දායක වන්නේ කඩොලාන පරිසර පද්ධතීන්ය. කඩොලාන පරිසර පද්ධතියෙන් තුරන් වුව හොත් භෞමික පරිසර පද්ධතිය විශාල වශයෙන් දූෂණයට ලක් වේ. මේ නිසා සමස්ත මානව සංහතියටම මෙහි අහිතකර විපාක භුක්ති විඳීමට සිදු වේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසරය විනාශ කෙරෙන තත්ත්වයක් ලෙස ඉස්සන් වගාව හැඳින්විය හැකිය.

    ස්වභාවික සම්පත් සජීවි සම්පත් සහ අජීවි සම්පත් ලෙස ප්‍රධාන කොටස් දෙකකට වර්ග කළ හැකිය. මේවා පුනර්ජනනය කළ හැකි සම්පත් සහ පුනර්ජනනය කළ නොහැකි සම්පත් ලෙස නැවතත් වර්ගීකරණය කළ හැකිය. පුනර්ජනනය කළ හැකි සජීවි සම්පත් ශාක සහ සතුන් ලෙස වර්ග කෙරේ. පුනර්ජනනය කළ නොහැකි සජීවි සම්පත් ද ශාක හා සතුන් ලෙස පවතී. මාංශ සඳහා ඇතැම් සතුන් ගොවිපළවල ඇති කෙරේ. ඇතැම් ශාක වර්ග ද මෙලෙස අවශ්‍යතාවන් සඳහා වගා කෙරේ. මේවා පුනර්ජනනය කළ හැකි සජීවි සම්පත්ය. පුනර්ජනනය කළ නොහැකි සජීවී සම්පත් ලෙස වල්ලපට්ට ශාකය හැඳින්විය හැකිය. ලංකාවට ආවේණික සතුන් ලෙස සැලකෙන මී මින්නා, තිත් මුවා වැනි සතුන් විශාල වශයෙන් අධි පරිභෝජනයට ලක් කළ හොත් එම සතුන් වඳ වී යෑමට පටන් ගනී. ඔවුන් නැවත හැදීමට නොහැකි බැවින් මොවුන් පුනර්ජනනය කළ නොහැකි සජීවී සම්පත් ගණයට අයත් වේ. 

    අජීවී සම්පත් ප්‍රධාන වශයෙන් කාණ්ඩ තුනකට වෙන් කළ හැකිය. නිත්‍ය සම්පත් (සුළඟ, සූර්ය ශක්තිය), පුනර්ජනනය කළ හැකි අජීවි සම්පත් සහ පුනර්ජනනය කළ නොහැකි අජීවි සම්පත් ලෙසිනි. නැවුම් ජලය, නැවුම් වාතය සහ පස පුනර්ජනනය කළ හැකි සම්පත්ය. පොසිල ඉන්ධන, ලෝහ වර්ග සහ අලෝහ වර්ග පුනර්ජනනය කළ නොහැකි අජීවි සම්පත් වේ. අඩක් ජීර්ණය වුණු වසර මිලියන ගණන් ගත වූ සතුන්ගේ දේහයන් පොසිල ඉන්ධන ලෙස සැලකේ. ඒවා වේගයෙන් භාවිත කරන විට නැවත පුනර්ජනනය කළ නොහැකි වේ.

    3R ක්‍රමය

    පරිසරය ඉතා සාර්ථකව ආරක්ෂා කර ගනිමින් ඉතා යහපත් තත්ත්වයකින් පරිසරය තුළ ජීවත් වීමට නම් 3R ක්‍රමයට අනුගත වීම කාලෝචිතය. 3R ක්‍රමය යනු (භාවිතය අවම කිරීම) Reduction, (නැවත භාවිතය) Reuse, (ප්‍රතිචක්‍රීකරණය) Recyle. මෙම ක්‍රමයට අනුගත වුව හොත් ස්වභාවික සම්පත්වල තිරසරභාවය මෙන්ම ආර්ථික වාසි රැසක් අත් කර ගැනීමට ද හැකි වේ. මෙම ක්‍රමය නිවැරදිව භාවිත කළ හොත් පරිසරයේ ගොඩගැසෙන මළ ද්‍රව්‍යයන් සහ අපද්‍රව්‍යයන් එකතු වීම අවම වේ. මේ නිසා සම්පත් විශාල ප්‍රමාණයක් ඉතිරි කරගත හැකිය. ලෝකයේ බොහෝ රටවල් මෙම 3R ක්‍රමයට අවතීර්ණ වී තිබේ.

    මානවයන්ගේ සංකීර්ණ දිවි පෙවෙත හේතුවෙන් ඇතැම් මානවයන් මෙලෙස පරිසරයෙන් ඈත් වේ. එමෙන්ම මානවයන්ගේ ගහන ගණත්වය වැඩි වීම හේතුවෙන් අවශ්‍ය කරන්නා වූ සැප සම්පත් ළඟා කර ගැනීම සඳහා ඔවුන් අතර විවිධ තරගයන් නිර්මාණය වී තිබේ. මෙම තරගයන් ජය ගැනීම සඳහා ඔවුන් පරිසරය අසීමිත ලෙස භාවිත කරනු ලබයි. මෙහි ප්‍රතිඵලය වන්නේ මිනිසා පරිසරයෙන් ඈත් වීමය.

    රතු ඉන්දියානු නායක සියැට්ල් පරිසරයට ඉතා ආදරය කළ මිනිසෙකි. ඔහු කියන ලද්දේ, අලුත උපන් දරුවකු අම්මාගේ හද ගැස්මට ආදරය කරන්නේ යම් සේ ද, අප ද එසේම පරිසරයට ආදරය කළ යුතුයි යනුවෙනි. පරිසරයට ඇලුම් කරනු ලබන මානව සංහතියේ දායකත්වය යම් හෙයකින් නැතිව ගිය හොත් නුදුරු අනාගතයේදී ඉතා අහිතකර ප්‍රතිඵලයන්ට මුහුණ දී පෘථිවියෙන් මානවයන්ගේ ගහනය තුරන් වන තත්ත්වයකට පත් වීම නොවැළැක්විය හැකි වනු ඇත.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here