ප්‍රාග් ඓතිහාසික වංශකථාවට නව මානයක් එක් කළ කුරුවිට බටදොඹ ලෙන

    0
    73

    මානව ශිෂ්ටාචාරයේ මුල්ම මානවයන් දකුණු අප්‍රිකාවෙන් බිහි වූ පසු සුවදායි මෙන්ම ආහාර සහිත පරිසර කලාප සොයා ගිය ගමනේ නවාතැන් පොළක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්වීමට පිළිවන. එහි දී මෙරට සෑම පරිසර කලාපයකම පාහේ ඔවුන් ඉතිරි කර ගිය අවශේෂ රාශියක් හඳුනාගත හැකිය. ඒ සාධක, විද්‍යාත්මකව සිදු කරන ලද පුරාවිද්‍යාත්මක පර්යේෂණ මඟින් තහවුරු කරගෙන ඇති අතර, මානවයා දකුණු අප්‍රිකාවෙන් නික්මීමේ සුප්‍රසිද්ධ න්‍යායේ යම් යම් කරුණු මේ වන විට ශ්‍රී ලංකාවෙන් ද තහවුරු වෙමින් පවතී. එවැනි වටිනා සාධක සැඟවුණු පුරාවිද්‍යා ස්ථාන අතර කුරුවිට බටදොඹ ලෙන ඉදිරියෙන්ම සිටී.

    සබරගමුව පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයට අයත් කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වලඳුර ග්‍රාමයේ බටදොඹ ලෙන පිහිටයි. කුරුවිට නගරයේ සිට ශ්‍රීපාද මාර්ගයේ කිලෝමීටර් 4ක් පැමිණි විට හමු වන විහාරකන්ද නම් ස්ථානයෙන් වම් අතට ඇති ගල්පඩි ඔස්සේ කිලෝමීටර් 1.5ක දුරක් ගිය විට මණ්ඩාවල ග්‍රාමයේ පිහිටි ගල් ලෙන සහිත භූමියට ප්‍රවිෂ්ට විය හැකිය. වත්මන් නවීකරණ රටාවට හුරු වූ අපට, මේ අතීත මානව ජනාවාස සංකීර්ණයට ගමන් කිරීම තරමක් දුෂ්කර ලෙස දැනුණ ද, අතීත ප්‍රාග් මානවයා දෛනිකව එම පරිසර කලාපයේ සංචරණයේ යෙදෙන්නට ඇත්තේ, කිසිදු වෙහෙසකින් තොරව විය හැකිය. ඝර්ම කලාපීය වැසි වනාන්තර ලක්ෂණ සිහි ගන්වන තෙත් පරිසර කලාපයේ අක්කර 38කින් යුතුව පිහිටි පුරාවිද්‍යා රක්ෂිතයකට මැදි වූ ගල් කඳු අතරින් ගලා යන දිය පහර අසල බටදොඹ ලෙන පිහිටා ඇත.

    ලෙන් පියස්සේ අභ්‍යන්තරය දිගින් මීටර 30ක්, පළලින් මීටර 15ක් හා උසින් මීටර 10ක් පමණ වන විශාලත්වයකින් යුක්තය. අදින් වසර මිලියන ගණනකට ඉහත දී, එනම් ප්‍රාග් කේම්බ්‍රීය යුගයේ දී ස්වාභාවිකවම නිර්මාණය වන්නට ඇතැයි සැලකිය හැකි මේ ලෙන, මානව ජනාවාසයකට ඉතා උචිත අයුරින් සැකසී තිබේ. හිරු එළිය අභ්‍යන්තරය දක්වාම මනා ලෙස ලැබීමෙන් ආලෝකයත්, උෂ්ණත්වයත් අවශ්‍ය ලෙස පැවතීමත්, ලෙන් පිවිසුම මීටර් දහයකට ආසන්න උසක පැවතීම නිසා, වාතාශ්‍රය ලෙන් කෙළවර සීමාව දක්වා මනා ලෙස පැවතීමත් බටදොඹ ලෙන මානව ජනාවාසය දීර්ඝ කාලසීමාවක් පුරා පැවතීමට හේතු වී තිබේ.

    මේ ලෙනේ පර්යේෂණ ඉතිහාසය 1937 වසර තරම් ඈතට විහිද යන අතර, එහි දී අඩි 4ක් පමණ ගැඹුරට මුල්ම කැණීම් සිදු කර ඇත. ඒ, එවක ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂව සිටි පී.ඊ.පී. දැරණියගල මහතාගේ මූලිකත්වයෙනි. නවීන පහසුකම් නැති අවධියක වුව ද කරන ලද ඒ කැණීම් මඟින් හමු වූ මානව අස්ථි කැබැලි නිසා, බළන්ගොඩ සංස්කෘතිය (Balangoda Cultural) නම් නව සංකල්පයක් ද බිහි විය. ඉන් පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශය මඟින්, ආචාර්ය ශිරාන් දැරණියගල මහතාගේ මූලිකත්වයෙන් වර්ෂ 1978ත් 1982ත් අතර කාලපරාසයේ දී නව පර්යේෂණ ව්‍යාපෘතියක් දියත් කර තිබේ. වර්ෂ කීපයක දී වරින් වර සිදු කරන ලද කැණීම් මඟින් අදින් වසර 12, 000-28, 000 දක්වා දින වකවානු ලබාගෙන ඇත්තේ, වෙන් කර හඳුනාගත් මානව ජනාවාස පස් තැන්පතු 7ක් මඟිනි. ඒ කැණීම් මඟින් නවීන මානව සැකිලි 35කට අයත් අස්ථි කැබැලි ප්‍රමාණයක් හා සත්ත්ව අවශේෂ රැසක් මතු කරගෙන තිබේ. හමු වූ මානව අස්ථි කොටස්, අමෙරිකාවේ කෝනල් විශ්වවිද්‍යාලයේ ජීව මානව විද්‍යාඥයකු වූ කේ.ආර්.ඊ. කෙනඩි මහතා විසින් විශ්ලේෂණය කර, හෝමෝ සේපියන් සේපියන් (Homo Sapian Sapian) මානව පරපුරට අයත් බවත්, ඔවුන් හා මෙරට ආදිවාසි වැදි ජනයා අතර සබඳතාවක් ඇති බවටත් නව සංකල්පයක් ඉදිරිපත් කර ඇත.

    මීට අමතරව ප්‍රථම වතාවට, අදින් වසර 28, 000ක් දක්වා දින නියම වූ පස් තැන්පතු මඟින් අප්‍රිකාවේ ශිලා මෙවලම් හා සමකාලීන ජ්‍යාමිතික ස්වරූපි ක්ෂුද්‍ර ශිලා මෙවලම් (Geometric micro Lithic) හමු වීම ද ඉතා වැදගත්ය. ජ්‍යාමිතික ස්වරූපි ක්‍ෂුද්‍ර ශිලා ගල් මෙවලම් යනු, ඉතා කුඩා ලෙස සැකසූ ශිලා මෙවලම් වර්ගයකි. මේ ශිලා මෙවලම් සියල්ල දිගින් සෙන්ටි මීටර් හතරක් හෝ ඊට වඩා අඩු අගයකින් යුක්තය. ඒ ඇතැම් ක්‍ෂුද්‍ර ශිලා මෙවලම් ‘චන්ද්‍රාකාර’ (Lunate) හෝ ‘අර්ධ චන්ද්‍රාකාර’ (Semi Lunate) ය. තවත් මෙවලම් ‘ත්‍රිකෝණාකාර’ (Triangle) හෝ ‘ත්‍රපීසියම්’ (Trapezoidal) හැඩැතිය.

    ඒ සියල්ල නිපදවා ඇත්තේ ‘පළිඟු’ (Crystal) ඛනිජය හෝ පිරිසුදු ‘තිරුවාණා’ (Quartz) ඛනිජය භාවිතයට ගෙනය. ඉතා කලාතුරකින් හමු වන එබඳු ශිලා මෙවලම් කහඳ පාෂාණ මඟින් නිපදවා තිබෙනු හඳුනාගත හැකිය. එවැනි දුර්ලභ ඛනිජවලින් නිපදවන ලද ක්‍ෂුද්‍ර ශිලා මෙවලම්, ප්‍රාග් ඓතිහාසික ස්ථානයකට වැඩි වටිනාකමක් එකතු කරයි.

    එකළ විසූවන් මේ ශිලා මෙවලම් භාවිතයට ගනිමින් කැපීම, ඉරීම, සීරීම සහ විදීම සිදු කරන්න ඇති බවට පුරාවිද්‍යාඥයෝ විශ්වාසය පළ කරති. දිගු කලක් තිස්සේ භාවිත කළ මෙන්ම, ‘නැවත හැඩගැසූ’ (Retouch) ශිලා මෙවලම් ද, ‘ජ්‍යාමිතික ස්වරූපී ක්‍ෂුද්‍ර ශිලා ගල් මෙවලම්’ (Geo metric microlithic Stone tool) අතර දැකගත හැකිය. මේ ක්‍ෂුද්‍ර ශිලා මෙවලම්, සෑම පසෙකින්ම පතුරු ඉවත් කර, යළිත් හැඩගැසීම්වලට ලක් කර ඇත. මේ ශිලා මෙවලම් නිපදවීමේ ගෞරවය හිමි වන්නේ නවීන මිනිසාටය. කුරුවිට බටදොඹ ලෙනෙන් ද ක්‍ෂුද්‍ර ශිලා මෙවලම් රැසක් හමු වීමෙන් පැහැදිලි වන්නේ එහි විසූ මානවයා ද උසස් කලාත්මක නිර්මාණශීලිත්වයකින් යුතු ජන කොට්ඨාසයක් බවයි.

    මීට අමතරව, ප්‍රාග් මානවයා භාවිතයට ගත් ඇඹරුම් ගල්, දාගල්, තැළුම් ගල්, සිදුරු සහිත ගල්, අස්ථි යොදා සකස් කළ ආයුධ, අං කැබැලි මඟින් සැකසූ මෙවලම් හමු වී තිබේ. දඩයම් කිරීම, මස් සකස් කිරීම, අල වර්ග සුද්ද කිරීම හා වෙනත් අවශ්‍යතා සපුරා ගැනීමට මේ මෙවලම් භාවිත කරන්න ඇත.

    කුරුවිට බටදොඹ ලෙනෙන් පර්යේෂණාත්මකව හමු වන සාධකවල වැදගත්කම සලකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කැණීම් අධ්‍යක්ෂ, ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් නැවතත් පර්යේෂණ ව්‍යාපෘතියක් දියත් කර ඇත්තේ, වර්ෂ 2005දීය. ඒ කැණීමෙන් මුලින් හඳුනාගත් ප්‍රධාන පස් තැම්පතු 7, නැවත අනුපස් තැන්පතු 125ක් දක්වා ඛණ්ඩනය කර, අදින් වසර 13, 000 සිට 37, 000 දක්වා දින වකවානු රැසක් ලබාගෙන ඇත.

    ඒ, කාබන්-14 කාල නිර්ණ ක්‍රමවේදය භාවිතයට ගනිමිනි. 2005 වසරේ කළ කැණීමේ පස් ස්තර, සියුම් පාංශු පැතිකඩ විශ්ලේෂණය නම් (Thing section soil analysis) නවීන විද්‍යාත්මක විශ්ලේෂණයට ලක් කිරීමෙන් වැදගත් තොරතරු රැසක් හෙළි කරගෙන ඇත. මේ පර්යේෂණය, නැඟෙනහිර ආසියාවේ නියා ගල් ලෙනෙන් පසුව සිදුකර ඇත්තේ, කුරුවිට බටෙදාඹ ලෙනෙහි වීම විශේෂත්වයකි. එය මෙරටට ද ගෞරවයකි. එහි දී බටදොඹ ලෙන මානවයා අදින් වසර 20, 000කට පෙර සිට නිඳාගැනීමට ඇතිරිලි ලෙස මෙන්ම දඩ මස් තබන මැසිවලට හා ආහාර තබන විවිධ බඳුන් සැකසීම ද තාල වර්ගයේ ශාකවල පත්‍ර භාවිත කර ඇති බව තහවුරු කරගෙන තිබේ.

    මීට අමතරව, අදින් වසර 20, 000කට ප්‍රථම බටදොඹ ලෙනේ විසූ ප්‍රාග් මානවයා, මේ කලාපයේ වූ නිවර්තන තෙත් වර්ෂා වනාන්තරවල යැපීම් ධාරිතා අඩු මට්ටමක් තුළ එල්ල වන සියලු අභියෝග ජය ගෙන, සිය ආහාර අවශ්‍යතා කළමනාකරණය කර ගනිමින්, තරමක් දුෂ්කර හා කටුක දිවියක් ගත කර ඇති බව හෙළි වී ඇත. වසර 1982 සිට 2005 දක්වා බටෙදාඹ ලෙනෙහි කරන ලද පර්යේෂණ කැණීම් මඟින් ලබාගත් මානව හා සත්ත්ව අවශේෂවල කාබන් හා ඔක්සිජන් සමස්තානික (Isotope Analysis) අගය මැනීමෙන්, මේ නිගමනවලට එළඹ තිබේ.

    කුරුවිට බටදොඹ ලෙනෙහි මෙතෙක් කර ඇති පර්යේෂණ අනුව භාවිත කරන ලද ශිලා හා අස්ථි මෙවලම් තාක්ෂණය, විශ්වාස, ඇදහිලි, අභිචාර, මළවුන් පිදීම, ආභරණ (සත්ත්ව අස්ථි හා බෙලි කටු මඟින් සැකසූ පබළු භාවිත) විලාසිතා (ගුරුගල් ආලේපන), හුවමාරු ක්‍රම, ආහාර රටාව, කණ්ඩායම් හැඟීම අනුව මෙහි විසූ මානවයා නවීන මානවයන් ලෙස ප්‍රාග් විශේෂඥයන් හඳුනාගෙන තිබේ. බටදොඹ ලෙන මානවයා, සත්ත්ව හා ශාක ආහාර සමතුලිතව භාවිතයට ගෙන ඇති බව, ශේෂිත සාධක මඟින් පැහැදිලිය.

    එකළ ඔවුන් භාවිත කළ ශාක අතර, බැදිදෙල්, ඇටිකෙහෙල්, කටු අල (Dioscorea Spicata Depentaphylla), වැල් අල (Dopposilifolia), ඉන්නල, හිඟුරල ආදි අල වර්ග, කිතුල්, දෝතලු හා වෙනත් තාල වර්ගයේ පල ද, වීර, පලු, මා දං, දොඹ, මොර, කෝං වැනි පලතුරු ද එක්කරගෙන ඇත. මාංසමය ආහාර අතර විවිධ උරග වර්ගයේ සතුන්, මීයන්, දිය සහ ගොඩ බෙල්ලන්, මිරිදිය හා කරදිය මත්ස්‍ය වර්ග, අලි පැටවුන්, ගවයා, කුළු මී හරකා, කළු වලහා, ඌරා, ගෝණා, තිත්මුවා, මීමින්නා, ඉත්තෑවා, හාවා, දඬුලේනා, හම්බාවා, මුගටියා, උරුලෑවා, වඳුරා, වලිකුකුළා, හබන් කුකුළා, තලගොයා ආදි නොයෙක් ඉබි විශේෂ සිටි බව මතු කරගත් ශේෂවල විශ්ලේෂණ මඟින් පැහැදිලි වී ඇත.

    බටදොඹ ලෙන පස් තැන්පතු මඟින් මුහුදු බෙලිකටු, ලුණු බෙල්ලන්, මඩු මත්ස්‍යාගේ වල්ගයේ කොටසක් හමු වීමෙන් මුහුදු කලාපය සමඟ ඔවුන් ඉතා දැඩි සබඳතා පැවැත්වූ බවත්, ලුණු භාවිත කළ බවත් තහවුරුව ඇත. මේ අනුව, මුහුදුබඩ කලාපයේ මානවයන් සමඟ ආහාර ද්‍රව්‍ය හුවමාරු කරගත් බවක් පැහැදිලිය. මොවුන් විවිධ කාල අවධිවල ආහාර පුලුස්සාගැනීමට හා වෙනත් අවශ්‍යතා සඳහා ගින්දර භාවිත කර තිබේ. බළන්ගොඩ මානවයා ද ස්ථිර වශයෙන්ම සිය මළගිය ඥාතීන් වැළලීමේ හා යාතුකර්ම කිරීමේ ක්‍රියාවලියක් සිදු කරන්න ඇතැයි අනුමාන කළ හැකිය. හමු වූ බොහෝ අස්ථි සැකිලි හකුළුවා වළ දමා ඇත. මේ අනුව, වැළලීම් කරන්න ඇත්තේ ලෙන් අභ්‍යන්තර බිම නොගැඹුරුව පාදා, ඇටසැකිල්ල එහි හකුළුවා දමා, සුන්බුන්වලින් වැසීමෙන් බව සොයාගෙන ඇත.

    සමස්තයක් ලෙස ගත් කල, මෙහි විසූ මානවයා ‘ඔස්ට්‍රොලොයිඩ් වැදි’ ලක්‍ෂණවලට සමාන බව ප්‍රාග් විශේෂඥයන්ගේ මතය වේ. දළ වශයෙන් පිරිමි මානවයන්ගේ උස සෙන්ටි මීටර 175ක් ද, කපාල ධාරිතාව මිලි ලීටර 1590ක් ද වන අතර, කාන්තාවන්ගේ උස සෙන්ටි මීටර 166ක් ද, කපාල ධාරිතාව මිලි ලීටර 920ක් ද පමණ වන බව සොයාගෙන ඇත. මේ අනුව දැනට ප්‍රධාන වශයෙන් කැණීම් සිදු කළ කිතුල්ගල බෙලි ලෙන, හොරණ පාහියන් ලෙන, කෑගල්ල අලු ලෙන, දොරවක්කන්ද ලෙන, බළන්ගොඩ කූරගල යන ස්ථාන සියල්ලෙන්ම ශ්‍රී ලංකාවේ මධ්‍යශිලා යුගය නියෝජනය කරන නවීන මානව පූර්වජයන්ගේ සාධක හෙළි කරගෙන තිබේ.

    ප්‍රාග් විශේෂඥයන්ගේ සොයාගැනීම් අනුව නූතන මානවයාගේ ආරම්භය දකුණු අප්‍රිකාව නිජබිම කරගනිමින් බිහි වූ බව එක් මතයකි. අනෙක් මතය වන්නේ, දකුණු අප්‍රිකාව හා තදාසන්න ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මිනිසාගේ ආරම්භය සිදු වූ බවය. ඒ අනුව දකුණු අප්‍රිකාවෙන් නික්මීමේ න්‍යායත්, බහු ප්‍රාදේශීය න්‍යායත් සාධාරණීකරණය කරන්නට මේ අනැගි ජාතික උරුම බිමෙන් ලැබුණු දායකත්වය විශිෂ්ටය. වෙනත් රටවල මධ්‍යශිලා යුගය අබිබවා යන නවීන මානවයාගේ පරිණාමය, විකාශනය, සම්භවය රැඳුණු මේ ලෙන් පියසෙන්, හෙට දවසේ තවත් බොහෝ තොරතුරු හෙළිදරවු වනු ඇත. එය මෙරට ඉතිහාසයට අභිමානයක් ගෙන ඒම කිසිවකුටත් වළකා ලිය නොහැකිය.

     එච්.එම්.එස්.කේ. ඇරෑගම

    පුරාවිද්‍යා පර්යේෂණ සහකාර (කැණීම්)

    ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය,

    සීතාවක

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here