මුදල් වෙන්කර පැය 24ක් යන්නටත් පෙර “සියපත” නිවාස ක්‍රමය ආරම්භවීම ලේඛන ගතවිය යුතු දෙයක් – විදුලිබල ඇමැති

0
59

“සියපත” නිවාස වැඩසටහන සම්බන්ධයෙන් අගමැති පාර්ලිමේන්තුවේදී අයවැය කතාවෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත්කොට මුදල් වෙන්කර පැය 24ක් ගතවීමටත් පෙර එම වැඩසටහන මහපොළවේ

ස්ථාපිතවිම ලේඛන ගතවිය යුතු විශේෂ අවස්ථාවක් බව විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. සෞභාග්‍යයේ දැක්මෙන් ප්‍රකාශයට පත්කළ “සියපත” වැඩසටහනේ මංගල පියවර මාතර දිස්ත්‍රික්කයේ කැකණදුර කොකාවෙල ප්‍රදේශයේදි අාරම්භ කරමින් ඇමැතිවරයා එසේ පැවසීය.

සෞභාග්‍යයේ ඉදිරි දැක්ම යටතේ දිවයිනේ එක ග්‍රාම සේවක කොට්ඨාසයකට නිවසක් බැගින් ග්‍රාමසේවක කොට්ඨාස 14022ක සෑදෙන නිවාසවලින් මාතර දිස්ත්‍රික්කයේ මේ වනවිට නිවාස 420ක් ඉදිවෙමින් පවතිනවා. මේ වැඩසටහන්වලට නිකරු‍ණේ මුදල් නාස්ති කරන්නේ නැහැ. පසුගිය පාලන කාලයේදී පමණක් නිවාස ව්‍යපෘතියක මුල්ගලට පමණක් රුපියල් ලක්ෂ දෙකහමාරක් වියදම් කරලා. ප්‍රචාරක වියදම්වලට වැයකර ඇති මුදල් දෙස බලන විට ඒ නාස්තිකාර මුදලින් තවත් අලුතින් ගම්මානයක් ඉදිකරන්න තිබුණා. මෙය ප්‍රචාරක ව්‍යපෘතියක් නොව නිවාසයක් නැති මිනිසුන්ගේ දුප්පත්කමේ දර්ශකයක් පමණක් බලලා සාදන මේ නිවාස ව්‍යපෘතිය දේශපාලන වර්ණය ගැන නොබලන අපට ඡන්දය දීපු මිනිහා පමණක් නොබලන මානවිය ව්‍යපෘතියක් සහ ආනුභාව සම්පන්න කටයුත්තක් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මේ අයවැයෙන් මේ රටේ නැති බැරි මිනිස්සු ආමන්ත්‍රණය කළා. නිවාස වගේම විදුලිය බැලුවොත් දිවයිනේ විදුලිය දිය හැකි නිවාස 36000කට මෙතෙක් විදුලිය ලබාදී නැහැ. 2021 අයවැයෙන් සියලුම දෙනාට විදුලිය දීමට මුදල් වෙන් කරනවිට ලබන වසර අවසානය වනවිට තවත් දින 365කින් කිසිවකුට විදුලිය නැහැ කියන්න බැහැ. විදුලි බිල ගෙදරටත් ආයොජකයන්ටත් දරන්න බැහැ. 2013 වර්ෂයේ මහින්ද රාජපක්ෂ මහතා නොරොච්චෝලේ විදුලිබලාගාරය විවෘත කර විදිලි බිල 25 % කිනි අඩුකළා. ඊට පසුව කිසිම පාලකයකුට විදුලි බිල අඩුකරන්න බැරිවුණා. අදට ජාතික විදුලි පද්ධතියට වසර 7කින් අලුතින් බලාගාරයක් එකතු වෙලා නැහැ. ජාතියට මෙය අනතුරක්. හැම වසරකම විදුලි ඉල්ලුම 6 % ක්. අවුරුදු 7 ක් තිස්සේ විදුලි ඉල්ලුම 42 % කින් ඉහළ ගිහිල්ලා.

තවදුරටත් ඇමැතිවරයා එහිදී මෙසේද පැවසීය.මේ අයවැයෙන් ලංකාවේ පළමු වතාවට මෙගාවොට් 600 ක ධාරිතාවක් ඇති ස්වාභාවික වායු බලාගාර දෙකක වැඩ ලබන වසරේ කෙළවරපිටියෙන් ආරම්භ කරනවා.මේ වනවිට ඩීසල් බලාගාරවලට වසරකට රුපියල් බිලියන් 100ක් වැයවෙනවා.මේ නිසා ඩිසල් වලින් ආර්ථිකය දහනය කරනවා. ලංකාවේ පවුල් ලක්ෂ 16ක් සමෘද්ධි ප්‍රතිලාභින්.මොවුන්ගේ එක් නිවසකට මසකට වැයවෙන්නේ විදුලි ඒකක 30කට අඩු ප්‍රමාණයක්. ඉදිරි අවුරුදු 2ක කාලයේදී මේ නිවාසවල වහළ මත සුර්ය පැනල් සවිකර විදුලිය දීමෙන් ලක්ෂ එකක පිරිසක් සමෘද්ධිවලින් ඉවත් කර ගැනීමට හැකිවෙන බවට හෙතෙම විශ්වාසය පළකළේය.

දිවයිනේ ඇති පාසල් ගොඩනැඟිලිවලින් එක ගොඩනැඟිල්ලක සුර්ය පැනලයක් සවිකළොත් එමගින් කිලොවෝට් 21ක් හදන්න පුළුවන්. මෙවන් පාසල් ගොඩනැඟිලි 10000ක් සුර්ය පැනල් සවිකිරීමෙන් මෙගාවොට් 221ක් විදුලියක් නිපදවන්න පුළුවන්. මේ ප්‍රමාණය වික්ටෝරියා, කොත්මලේ, රන්දෙණිගල, විදුලි බලාගාරවලින් නිකුත් වන විදුලියට වැඩි ප්‍රමාණයක්.රාජ්‍ය ආයතනවල වහළ මත සුර්ය පැනල් සවිකිරීම ලබන ජනවාරි මාසයේ ආරම්භ කරනවා. ගමේ ට්‍රාන්ස්පෝරමයක් අසල පුංචි බලාගාරයක් හදනවා. එය පළමුවෙන්ම කඹුරුපිටියේ ආරම්භ කරනවා. මෙහි අවසාන ඉලක්කය වෙන්නේ විදුලිබිල අඩු නිසා ලෝකයේ ආයෝජකයන් මේරටේ ව්‍යපාර ආරම්භ කිරීමට පෙළඹවීමයි. මාතර ප්‍රාදේශීය මහ ලේකම් දිපිකා කේ. ගුණරත්න, නිවාස සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු ඩබ්ලිව්. වන්නිනායක, මාතර ප්‍රාදේශීය සභාවේ සභාපති විමල් ප්‍රියජනක මහත්වරුද අදහස් දැක්වූහ.දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි සරත් ද අල්විස්, තිහගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති නිර්මාල් සමරසිංහ, වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහත්වරුන් අැතුළු නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීහුද මේ අවස්ථාවට සහභාගි වුහ.

ඩබ්ලිව්.පී.ධර්මසේන – මාතර සමූහ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here