රහමාන් මුදියන්සේ සිංහල බළමුළු මෙහෙයවයි

    0
    75

    මැදින් මහ අහවර වී මැදියම ගෙවුණා පමණි. පුහුුල් පහන් එකලු කළ කැලණි නදිය මතින් උඩුගංබලා ඔරුව හබල් ගෑවේ කටුපැලැස්ස තොටුපළෙනි. බියගමින් දොම්පේ හරහා මල්වානට එන විටයි එ් අඩවිය හමු වූයේ. රංවල දෙවි හාමුදුරුවන් වැඩ ඉන්න ඉසවු මානය මේ අසබඩ බව ඉඟිබිඟි පෑවේ ඉවුරු පුරාම එකයායට දැල්වී තිබුණු පුහුල් පහන්ය. විටෙක ගන අඳුරු මැදියමේ මේ අමුතු පහන් අයස්කාන්ත දසුනකි. සීතල රාත්‍රියක මේ මනරම නරඹමින් ඔරුව මැදට වී කතා අසන විට සිහි වූයේ මායාදුන්නේය. එ්, කැලණි නදියට යුද නාවික ඉතිහාසයක් එක් කළේ ඔහු නිසාය. ඒ දිය නාවික රණශූර කතා වත තවත් පුළුල් කළ ඔහු පුත් කුමරු ටිකිරිය. එ් ටිකිරිට ‘ටිකිරි රාජසිංහ’ කියා මහජන නාමයක් නැඟුණේ රජු වුවත් ජන හදට ඔහු ‘ටිකිරි’ නිසාය.

    ටිකිරි ගැන කතා අහුරකුත් අසාගෙන ඔරුව හබල් ගෑවේ සීතාවකටය. නාවික ශූරයන් වූ පෘතුගීසීන් ගං දිය මතදී මංමුළා කළේ සීතාවක පිය-පිතු දෙපළය. ලක් රාජ කතා වතේ රජුන් දෙදෙනකු පමණක් රජ සිරිත හෙබවූ එකම නුවර සීතාවක අගනුවරය. ඒ දෙන්නා තාත්තා හා පුතා වීම තවත් අපූරුය! මේ අපූරු නුවරට රජ නුවර ආවේත් අපූරු විදියටය. ක්‍රිස්තු වර්ෂ 1568 මැදින් මහේ විසි හත් වැනිදා බැද්දගානේ නාද දුන් අණ බෙර වැයුම කෝට්ටේ නුවර කලබල කළේය. ඉන් කියවුණේ නුවර වැසි සියලු මුස්ලිම්වරුන්ට නගරය අත්හැර පලා යන ලෙසය. පැය හයක් යන්නට මත්තෙන් එය ක්‍රියාවට නැඟිය යුතු අණකි. අණ පැතිරවූයේ සිංහලයකු වුව ද අණ නිකුත් කළේ සිංහල රජු වුව ද එ් විධානය පෘතුගීසීන්ගේය. එදා මුස්ලිම්වරුන් රැකවරණයට පලා යන්නේ ආරාබියට හෝ ඉන්දියාවට නොව, සීතාවකටය; තනිවම නොව, බෞද්ධයන් ද සමඟය. කෝට්ටේ දළදා මැඳුරේ වැඩ සිටි දළදා වහන්සේ එ් අතරේ සීතාවකට වැඩම කළේ තවමත් හෙළි නොවූ අභිරහස් ගමනකිනි. ‘හිරිපිටියේ දිවනරාල’ නම් වූ එකල දළදා මැඳුරේ ප‍්‍රධාන ආරක්‍ෂක තෙමේ දළදා වහන්සේ සීතාවකට වැඩමවන්නේ මුස්ලිම් ජන පලවා හැරීම සමඟය. එ් අනුව මෙතුවක් අගනුවරව තිබූ කෝට්ටේ බිඳවැටී සීතාවකට රාජ නුවර මාරු වී මායාදුන්නේ දළදාව ද මුස්ලිම් ජනතාව ද එකට උරුම ලැබ සිංහලේ රජ වන්නේ අලුත් නුවරක ඔටුනු දරමින්ය.

    බෞද්ධයන් සහ මුස්ලිම්වරුන් එකට එක්ව සීතාවක රාජධානිය තනන කල කෝට්ටේ කතෝලික රාජධානිය වන්නේය. ඉතිහාසය දෙස මඳින් මඳ හැරී බලමින් ඔරුව වක්කලමට සේන්දු විය. වක්කලම අසබඩ මල්වර මඟුලකි. මල්වානේ මල්වර මඟුල සිංහල කෙලිත්තියකගේය. රස අහර මුස්ලිම්වරුන්ගෙන්ය. අනාරාධිතවම එහි වැද මසවුළු රස විඳගත්තෙමි. සීතාවක සටන් ගැන ජාති ප්‍රේමිව ඇසූ කතා වහර අලුත් වන්න පටන් ගත්තේ මේ වක්කලමේ ඉලව් ගෙදරදීය. ඒ එහිදී රහමන් මුදියන්සේ ගැන අසන ලද පුවත නිසාය. එතැන් පටන් සීතාවක බලා ඔරුව සමඟ යන්න සිත් නොදේ. කටුපැලැස්සෙන් පටන්ගෙන කැලණි නදියෙන් උඩු ගං බලා සීතාවකට යන ගමන පටන් ගත්තේ පෘතුගීසි නසන දිය යුද චාරිකාව ගැන කියවූ අතීත කතාව නිසාය. එ්ත් වක්කලමෙන් කන වැකුණු කතා නිමිත්ත මගේ හිත කුහුල ද පශ්චත්තාපය ද සමඟ උණුහුම්ව පැටලිණි. ඉතිහාසය දෙස සියලු ඇස්වලින් බැලිය යුතුයැයි සිතුණේ එදාය. වන රොදට ඉහළින් ඉර පායා ආවේය. ගිමන් නිවන අතර හදවත පෙරළි කරන්නේ ඔහු සොයන ලෙසය. නදිය සැමදාමත් ගලන්නේය. එ් ගමන නවතා දමා නැවත විත් රහමාන් මුදියන්සේ සොයාගන්නට මඟ තොට සොයා බලන්න වීමි.

    මෙහෙම දවසක නෙත පැටලුණේ කතරගම දෙවොලේ පරපුරු වතට අදාළ සන්නසකය. සන්නස පුදා තිබුණේ රජ මායාදුන්නේය. එවිට කුහුුල හදවතින් දෝරේ ගලා යන්නේය. මේ අතර මීදෙණියේ අදිකාරම් විසින් එක්තැන් කර තිබුණු සීතාවකට අදාළ ශේෂපත‍්‍ර ගණනාවක් හමු වන්නේය. කතිර මලී මැණිකේ ඉතිහාස දොරින් එන්නේ එවිටය. ඒ මල්වාන සන්නස නිසාය. මල්වාන ගම තෑගි ලබන්නේ කතිරමලී මැණිකේය. එවිට එයට හේතු නිමිත්තක් තිබිය යුතුය. කතිරමලී ගමකින් පුද ලබන්නේ කවර හේතුවකට ද? මෙහෙම සිතුවත් වසර හතරක්ම කතිරමලීගෙන් ඔබ්බට යා ගත නොහැකිව සීතාවක රජ නගර යුගයේ සිර වී සිටියෙමි.

    ඔහොම දවසක කටුපැලැස්ස තොටුපළට ගිහින් අසංග ගලපාතත් මමත් සුරා වඩියක ගිලෙමින් පසු වුණෙමු. සීතාවක ගඟුලේ එ් මේ අත ගිය මඟ ලකුණු වූයේ ඔහුය. සීතාවක සිංහලයන් වැඩි දෙනෙක් මෙකල්හි හදවතිත් මුස්ලිම්වරුන් සමඟ නෝක්කාඩුවෙන් පෙළුණහ. එ් වැල්ලම්පිටියෙන් ඔබ්බට ඔවුන් පැතිර යන පැතිරිල්ලටය. එ් වගේම මේ මුස්ලිම්වරු ද සිංහලයන් ගැන මෙනෙහි කිරීමකින් තොරව ආධිපත්‍ය සහිත ගමනක යෙදුණෝය. මේ වාර්ගික කාන්සිය මා ද ගිලගෙන තිබිණි. එ්ත් කතිරමලී මැණිකේ සොයන්නට පිවිසි ඓතිහාසික චාරිකාවේදී මගේ වාර්ගික කාන්සිය පහව ගියේය.

    එ් ඈ ගැන මතක කතාවක් පවා දන්නා සිංහලයකු හමු නොවූ නිසාය. කතිරමලිය ගැන එකම හෝඩුවාව ලැබුණේ අඹතලේ තොටුපළේදී අස්කර් ඛාන්ගෙන්ය. ඔහුගෙන් ලද සංඥාව වංශකථාවක ඡායා මාත‍්‍රයකි. එ්ත් එ් කතාවේ ඇත්ත නැත්ත තෝරා බේරා ගන්නට කෝට්ටේ සීතාවක යුග කතාව කියවාගෙන යන්න සිදු විය. ලක් ඉතිහාස කථාවේ සංකිර්ණතම සමය ඇරඹෙන්නේ මේ යුගයේය. එ් මන්ද යත්: පෘතුගීසීන් ද සිංහලයන් ද මුස්ලිම්වරුන් මෙන් ම ද්‍රවිඩයන් ද තබා ඇති සටහන්වල විසමතා නිසාය.

    මේ අසම විසම තතු විත්ති පසෙක තබා යළිත් කතරගම දෙවොල් සන්නස කියවන්න වීමි. එ් අතර හමු වන්නේ මායාදුන්නේ බිසව තම නීල වරලස කපා පා පිස්නාවක් සේ දෙවොලට පුද දුන් විත්තියය. ඇය රාජකීය බිසවකට කළ නොහැකි තරමට දුර්ලභ මේ පූජාවේ යෙදෙන්නේ තමා මවක කළ සතුටටය. එ් කියන්නේ මායාදුන්නේ පුතකු අහිමිව ගෙවා දැමූ අනුවේදනීය කාලය නිමා වී පිය පදවිය ලද දාය. එලෙස කතරගම දෙවිඳුට බාර හාර වී ලබාගත් පුත් කුමරා ටිකිරිය. මේ ටිකිරි උපන් දා රජු බෙලිගල් කෝරළය ද මීගමු දිසාව ද දිග් විජය කරන්නේ පෘතුගීසීන් පසුබස්වමින්ය. ඉන් නොනැවතී සිතාවක බළමුළු ගෙන නුවර කලාවියට පිවිසෙන රහමාන් එය ද ජය ගෙන යාපා පටුන ජය ගන්න පිටත් වූ පුවතට රජ උදම්ව මල්වාන ගම්වරයක් කර ප‍්‍රදානය කරන්නේ කතිරමලී මැණිකේටය. එ් රහමාන්ගේ අම්මාය. මේ රහමාන් සුකුමාල තේජෝ පුරුෂ විසිතුරෙන් අනූන වූ සැටි ද සතුරා අන්ද මන්ද කළ රණ උපා පෑ අයුරු ද පෘතුගීසි තතු විත්තිවල පවා ලියවී ඇත්තේය.

    යුරෝපීය සතුරා සිංහල රාජ්‍යය වට කර තිබුණු එසමයේ සීතාවක යුද සේනාව මෙහෙයවූ තරුව වී ඇත්තේ රහමාන්ය. මේ රහමාන් ගැන සිංහලයන් ද මුස්ලිම්වරුන් ද අමතක කරදැම්මේ මන්ද? සීතාවකින් සමඟිව බැඳුණු දෙජාතියක් යළි දෙපිලකට බෙදී ගියේ මන්දැයි සිතන්න පටන් ගත්තෙමි. මෙලෙස සිතමින් යන විට මේ අපූරු කතාව හා බැඳුණු අතුරු කතා පොකුරක් ද හමු විය. එ් කතා පොකුර අතරින් පතරින් මැදින් අගින් මිස පිළිවෙළක් අනුපිළිවෙළක් නැති කතාය. එක කතාවක මුල දෙමළ වාර්තාවලය; මැද සිංහලයන්ගේ තතු පවත්වලය; අග කතාව පෘතුගීසි ලේඛකයන් තබා ඇති සටහන් අතරය.

    එබැවින් සීතාවක කියවාගැනීම අසීරුය. එ් කෙසේ වුවත් මල්වාන කතිරමලී මැණිකේට ප‍්‍රදානය කරන්නේ ඇයිද යන කුහුල යළිත් බලවත්ව නැඟී ආයේය. ඈ හා ආලවන්ත නොවූ ඉතිහාසයක ඈ සොයන්නේ කෙලෙස දැයි යන පැනය බලවත් විය. එ අතරදී ‘ක්වේරෝස්’ ලිස්බන් ලේඛනාගාරයට රැගෙන ගිය සන්නස් අතර මල්වාන සන්නස ද වූ බවට සඳහන් තතු කථාව නෙත ගැටිණි. දැන් මම පිපාසයේ අගටම විත් සිටිමි. දෙදහස් නවය වසර මැදදී යළිත් කැලණි නදිය මැදින් යන්නට කාලය උදා වුණේය. එදා නදිය තරණය කරන්නේ පෙතන්ගොඩ උයන අසබඩින්ය. එ් ටිකිරි රාජසිංහ අවසන් ගමන් ගිය ඛේදනීය භුමියය. එහි පිවිසි විට හද දෝංකාරය නංවන්නේ රහමාන් සහ කතිර මලීය. රහමාන් පෑ යුද වික‍්‍රමයට කතිරමලී පුද ලැබුවේ මන්ද? උණ පඳුරු මැදින් හඳ බැස යන අතරදී ඔරුව මැද තනි වී සිතන්නට වීමි. ඉතිහාසය නිබඳව ජන ඇසුරු පවත් සමඟ කලතාගැනීම මගේ පිළිවෙතය.

    එ්ත් එ් පිළිවෙත කතිරමලී ද රහමාන් ද යන කථාවේදී යා නොවේ. ජනකතාවක හෝ ඇය ද ඔහු ද ජීවමාන නොවන්නේය. සිංහලයන් හා මුස්ලිම්වරුන් එකිනෙකාට එරෙහිව අවි අතට ගන්නේ ක්‍රි.ව. 1915 මැයි 28 වැනිදාය. එතැන් පටන් දෙජාතියම ජාතිවාදි ගුප්තයක හැසිරෙති. එහෙත් ක්‍රි.ව. 1568දී සිංහල රණ හමුදාව පෘතුගීසීන්ට එරෙහිව මුස්ලිම් තරුණයකු සේනාධිපති පදවියේ තබාගෙන සටනට යන්නෝය. එලෙසම කෝට්ටේ පෘතුගීසීන්ට බිලි වූ විට දොන් ජුවාන්ගේ කතෝලිකවාදයට එරෙහිව මායාදුන්නේ ශක්තිමත් බැම්ම තනන්නේ මුස්ලිම්වරුන්ගේ සවිබලයෙන්ය.

    එ්ත් මේ කිසිවක් ඉන් පසු පරමාදර්ශයක් හෝ ආදර්ශයක්ව නැත්තේය. ජනප්‍රිය තතු පුවත්වල තබා ශාස්ත්‍රීය නිබන්ධන තුළවත් මේ අරබයා කතාබහක් නැත. එ් අතරදී මම මගේ පිපාසාව සන්සිඳුවා ගත්තෙමි. එ්, රහමාන් මුදියන්සේ යාපා පටුනට ඇතුළු වූ වගත් එ් සමඟම සීතාවක සිංහල රාජධානියට මුහුදු වෙරළක් විවර වී උතුරු දෙමළ ජනයා සිංහලයන් සමඟ බැඳී යෑමේ උණුසුම් පුවතත්ය. එ්ත් එදා මේ පුවත සැල වී බිය වූවෝ පෘතුගීසීහුය. රහමාන් උතුරු ලංකා දොරටුව විවර කරගත් සතුටින් සීතාවක උදම්ව උදාන ගී ගයන ඇසිල්ලේ ආරංචි වන්නේ රහමාන් ඝාතනය වූ පුවතය. සිංහලයන් කඳුළු ගංගාවක ගිලී යන්නේ සීතාවක රණ හමුදාව බිම් බත් වෙමින්ය. සෝ සයුරේ ගිලුණු මායාදුන්නේ රහමාන්ගේ මව කතිරමලීට මල්වාන ගම්වරය තෑගි කොට සන්නස් ලියන්නේ එබැවිනි.

    එ්ත් මේ රහමාන් කුමරු සොයාගෙන සිංහලයන්ට මුස්ලිම්වරුන් සමඟ ද මුස්ලිම්වරුන්ට සිංහලයන් සමඟ ද වෙළී බැඳී හිඳින්නට බැරුව ඇත. මේ වාර්ගික කාන්සිය නිමා නොවන්නේ එබැවිනි. සිංහ ධජය එසවූ මේ අසහාය මවත් පුතාත් ජාතික ඉතිහාසයන් මකා දාමා ගත් මුස්ලිම් සිංහල වර්ග ප්‍රේමීන් කර ඇති අවමානය මෙයයැයි සිතේ. මේ පුවතින් මගේ සිතුම් ලොව පළල් විය. ඉතින් මම රහමාන් ජාතක කර කතිරමලී මැණිකේට පෙම් බැඳි මුස්ලිම් ආදරවන්තයා සොයන්නෙමි.

     

    සුජිත් අක්කරවත්ත

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here