වසර 1986දී ආර්ජන්ටිනාවට පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීම සඳහා කණ්ඩායම මෙහෙය වූ සුපිරි ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා හෘදයාබාධයක් හේතුවෙන් සිය නිවෙසේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මින් සති දෙකකට පමණ පෙර මොළයේ සැත්කමක් සිදු කළ මැරඩෝනා මිය යන විට 60 වැනි වියේ පසු විය.
පාපන්දු පිටියේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයකු ලෙස සැලකෙන ඔහු අවුරුදු 16දී වෘත්තීය පාපන්දු පිටියට පිවිසියේය. 1976 ක්‍රීඩාව ඇරැඹූ ඔහු ඉන් වසරකට පසුව අවුරුදු 20න් පහළ ආර්ජන්ටිනා පිලට එක් වූ අතර, එහි අවුරුදු 2ක් ක්‍රීඩා කළේය. 1977දී ජාතික පිලට ද එක් වූ ඔහු 1994 දක්වා ජාතික කණ්ඩායම නියෝජනය කළේය. ඒ අතරතුර බොකා ජූනියර්ස්, බාර්සිලෝනා, නැපෝලි, සෙවිල්ලා සහ නිව්වෙල්ගේ ඕල්ඩ් බෝයිස් යන ක්‍රීඩා සමාජ නියෝජනය කළ ඔහු පසුව ආර්ජන්ටිනා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළේය.
ඔහු නැපෝලි ක්‍රීඩා සමාජය නියෝජනය කළ 1984 – 1991 කාලයේදී ශූරතා රැසක් දිනා ගැනීමට එම ක්‍රීඩා සමාජයට හැකි විය. ඊට සෙරී ඒ ලීග්, ඉතාලි කුසලානය සහ යූෆා කුසලාන කැපී පෙනෙයි.
මේ කීර්තිමත් ක්‍රීඩකයාගේ අභාවය හේතුවෙන් ආර්ජන්ටිනා රජය දින 3ක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.