නීති විරෝධී ගිනි අවි ළඟ තිබූ නිසා ඇප ලැබී නෑ
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගමන් ගත් වාහනය අත්අඩංගුවට ගැනීමේදී එහි තිබූ ගිනි අවි දෙකක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ සිද්ධියේ පළමු සැකකරු වන අබ්දුල් සලාම් නමැති පුද්ගලයෙකි. ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇප ඉල්ලීමක් සිදු කර තිබූ අතර, එම ඉල්ලීමට අනුව දෙවැනි සැකකරු වන නිලාම්ඩීන් මොහොමඩ් රිස්වි යන අය රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප මත මුදා හැරිණි.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේ රට තුළ පවතින කොවිඩ් – 19 තත්ත්වය හේතුවෙන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සැකකරුවන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.
හිටපු කර්මාන්ත අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ගමන් ගත් වාහනයෙන් බස්සවා වෙනත් වාහනයකට නැඟ පලා යෑමට ආධාර උපකාර කිරීම හේතුවෙන් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි. මෙලෙස ඔවුන් නැවත රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ වාහනයේ නීති විරෝධී ලෙස ගිනි අවි තබා ගැනීම හේතුවෙනි. රක්ෂිත බන්ධනාගාරයේ සිටි රිෂාඩ් බදියුදීන් මහතා ද පෙරේදා (25) ඇප මත මුදා හැරිණි.