ජගත් ඔලිම්පික් ශිෂ්‍යත්ව අරමුදලින් ශ්‍රී ලංකාවේ 6කට මසකට රු. ලක්ෂ 8ක්

0
21

වසර 4ක් මුදල් ලැබූ විදූෂා – ගයන්තිකා කැපී යති

වසර 2021 ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6කට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සහයෝගිතා ශිෂ්‍යත්ව අරමුදලින් මසකට රුපියල් ලක්ෂ 8ක් හිමි කරදෙයි. මෙතෙක් එම ලැයිස්තුවේ සිටි තුන් පිම්ම ක්‍රීඩිකා විදුෂා ලක්ෂාණි සහ මීටර් 1500 ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න ඔලිම්පික් කමිටුවේ සහයෝගිතා ශිෂ්‍යත්ව අරමුදලින් ඉවත් කොට ඇත.

වසර 2016 රියෝ ඔලිම්පික් උලෙළින් පසු මේ වසර දක්වාම විදූෂා හා ගයන්තිකාට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සහයෝගිතා ශිෂ්‍යත්ව අරමුදලින් මසකට ඇමෙරිකානු ඩොලර් 670 බැගින් පිරිනැමුණද ලබන වසරේ ඔලිම්පික් උලෙළ දක්වා මුදල් ගෙවීම අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ටෝකියෝ 2020 ඔලිම්පික් උලෙළ දක්වා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සහයෝගිතා ශිෂ්‍යත්ව අරමුදලින් මෙම ප්‍රතිපාදන පිරිනැමූ අතර ප්‍රතිලාභ හිමිවන සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ප්‍රගති සමාලෝචනයක් ඉල්ලා සිටි අතර එහි බලාපොරොත්තුව වූයේ ඔලිම්පික් පරිසාධන මට්ටම දක්වා ක්‍රමානුකූල දියුණුවක් ඇත්ද යන්න සොයා බැලීමය.

කනගාටුවට කරුණ නම්, මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනාගේම (විදුෂා සහ ගයන්තිකා) දස්කම් අපේක්‍ෂා අන්දමින් වැඩි දියුණු නොවීමය. මෙම ශිෂ්‍යත්වයේ ඉලක්කය වූයේ ඔවුන් අවම වශයෙන් ඔලිම්පික් සුදුසුකම් කරා ළඟා වී ඇති බව සහතික කිරීම බැවින් එම සහතිකය ලබාදීමට ජාතික ඔලිම්පික් කමිටුව අපොහොසත්වී ඇත. ජාතික ඔලිම්පික් කමිටු මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවැසූවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධ නිර්දේශ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයෙන් ලබාගෙන ඇති බවය.

“විදුෂා සහ ගයන්තිකා දෙදෙනාගේ නම් ඉවත් කළාම මලල ක්‍රීඩා සංගමය අපට තවත් නමක් එවා තිබෙනවා. ඒ නම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සහයෝගිතා ශිෂ්‍යත්ව අරමුදලට නම් කළා. දැනට ශ්‍රී ලංකාවේ සිටින මීටර් 3000 බාධක දිවීමේ ශූරියට ශිෂ්‍යත්වයක් දෙන්න හැකියාව ලැබුණා. මලල ක්‍රීඩා සංගමයේ ඉල්ලීමක් අනුවයි බාධක දිවීමේ ශූරිය ඇතුළත් කළේ. ඉදිරියේදීත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර ශිෂ්‍යත්ව ලබාදීමට ක්‍රියා කරනවා. මලල ක්‍රීඩාවෙන් අපට ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලැබී තිබෙනවා“ මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවැසීය.

ටෝකියෝ ඔලිම්පික් උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කිරීම සඳහා හඳුන්වා දී තිබෙන නවතම ලකුණු ක්‍රමය යටතේ නිලානි රත්නායක මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වෙන් ඔලිම්පික් උලෙළ නියෝජනය කිරීමේ එකම සුදුස්සා බවට පත්ව සිටින්නීය. නිලානි රත්නායක එම ලකුණු ක්‍රමයට අනුව දෙවැනි පෙළ (ග්‍රීන් කාඩ්) සුදුසුකම් ලබා ගැනීමට සමත්ව සිටීම කැපී පෙනේ. ටෝකියෝ ඔලිම්පික් සුදුසුකම් ලද 32 හැවිරිදි නිලානි රත්නායක කත්මණ්ඩු සාග් ක්‍රීඩා උළෙලේදී මීටර් 1500 හා මීටර් 5000 යන කාන්තා ඉසව් දෙකේම රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූවාය.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සහයෝගිතා ශිෂ්‍යත්ව අරමුදල් හිමි ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේය.

චාමර ධර්මවර්ධන (ජූඩෝ) – ( මසකට ඇමරිකානු ඩොලර් 1000), මැතිව් අබේසිංහ (පිහිනුම්) – (මසකට ඇමරිකානු ඩොලර් 1000), චාමර පෙරේරා (මල්ලවපොර) – (මසකට ඇමරිකානු ඩොලර් 670), නිලානි රත්නායක (මලල ක්‍රීඩා) – (මසකට ඇමරිකානු ඩොලර් 670), තිලන්ක පළගසිංහ (බර ඉසිලීම) – (මසකට ඇමරිකානු ඩොලර් 670), මිල්කා ගෙහානි (ජිම්නාස්ටික්) – (මසකට ඇමරිකානු ඩොලර් 670)

ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here