දසුන්ගේ නායකත්වයේ ඉනිම දඹුල්ලට ජය ගෙනේ

0
19

මැතිව්ස්ලා පළමු පරාජය අත්විඳියි

නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් එල්පීඑල් තරග බිමේ සිය දෙවැනි අර්ධ ශතකය වාර්තා කළ දසුන් ශානක කලම්බෝ කිංග්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැති තරගයේදී ලකුණු 28ක ජයග්‍රහණයක් කරා සිය කණ්ඩායම මෙහෙයවීමට සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල වයිකින් පිලේ කඩුලු 3ක්ම ලකුණු 74කට බිඳ වැටුණු මොහොතේ පිටියට පිවිසි දසුන් ශානක ආපසු ක්‍රීඩාගාරයට හැරී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 162 දක්වා ඉහළ දැමීමෙන් පසුවය. පන්දු 34කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමග ලකුණු 56ක් රැස් කිරීමට දසුන් ශානක සමත්වූ අතර, ඔහු දැවී ගියේ ඉසුරු උදාන යැවූ 19 වැනි ඕවරයේ අවසන් පන්දුවෙනි.

දඹුල්ල වයිකින් පිල ඕවර 20 නිමාවනවිට කඩුලු 9කට රැස් කළ ලකුණු 175 හඹා ගිය කලම්බෝ කිංග්ස් පිල ඕවර 18.4ක් තුළ ලකුණු 147කට සීමා කළ දඹුල්ල ක්‍රීඩකයෝ තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූ අතර, තරගාවලියේ පළමු පරාජය අත්විඳ ගැනීමට කලම්බෝ කිංග්ස් පිලට සිදු විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල පිලේ ආරම්භක පිතිකරු යුගලය වූ නිරෝෂන් දික්වැල්ල සහ පෝල් ස්ටර්ලිං ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට නායක ඇන්ජෙලෝ මැතිව්ස් සහ ඉසුරු උදාන සමත් වූයේ පිතිකරුවන් දෙදෙනාම එක් ලකුණ බැගින් ලබා සිටියදීය. අනතුරුව උපුල් තරංග සහ සමිට් පටේල් එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 71ක සම්බන්ධතාවක් ගොඩ නගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 74 දක්වා ඉහළ දැමූහ. පන්දු 24කදී ලකුණු 25ක් රැස් කිරීමට උපුල් තරංග සමත්වූ අතර, ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහරක් ඇතුළත් විය. සමිට් පටේල් ලකුණු 30ක් රැස් කළේ පන්දු 27කිනි. ඔහුගේ ඉනිමට ද හතරේ පහර 3ක් සහ හයේ පහරක් එක් විය. දෙදෙනාම දැවී ගියේ දුෂ්මන්ත චමීරගේ පන්දු හමුවේය.

දසුන් ශානකට අනගි සහයක් ලබා දුන් ඇන්ජෙලෝ පෙරේරා පන්දු 16කින් ලකුණු 21ක් රැස් කළේ හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමගිනි. ඔහු දැවී ගියේ ඉසුරු උදානට තුන් වැනි කඩුල්ල අත්කර දෙමිනි. මුළු ලකුණු සංඛ්‍යාව 149දී අන්වර් අලී දවාලූ ඇන්ඩ්‍රි රසල් ඉනිමේ අවසන් ඕවරය යවමින් පස්වැනි හා අවසන් පන්දුවෙන් පිළිවෙළින් පුලින තරංග සහ සචිඳු කොළඹගේ දවා ගැනීමට සමත් වූයේ ඉනිම පුරා කඩුලු 3කට හිමිකම් කියමිනි.

කලම්බෝ කිංග්ස් පිලේ ඉනිම ආරම්භ කළ දිනේෂ් චන්දිමාල් පළමු පන්දුවෙන්ම දවාලීමට සමිට් පටේල් සමත් වූයේ පිතිකරු විසින් පෙරළා දෙනු ලැබූ උඩපන්දුව සුරක්ෂිතව ඩැහැ ගැනීමෙනි. අනතුරුව කසුන් රාජිත යැවූ දෙවැනි ඕවරයේදී තික්ෂිල ද සිල්වා ලකුණු 5කට දැවී ගිය අතර, මුළු ලකුණු සංඛ්‍යාව 40දී නායක ඇන්ජෙලෝ මැතිව්ස් දැවී ගියේ අන්වර් අලීගේ පන්දුවකටය. කලම්බෝ කිංග්ස් පිලේ පිතිහරඹ තුරුම්පුව වන ඇන්ඩ්‍රි රසල් ලකුණු 5ක් ලබා සිටියදී දවාලීමට සමත් වූයේ යොවුන් පන්දු යවන්නා වන සචිඳු කොළඹගේ ය. ඉනිමේ 10 වැනි ඕවරය යවමින් අෂාන් ප්‍රියංජනගේ ඉනිම ලකුණු 11කට සීමා කළ මලින්ද පුෂ්පකුමාර අනතුරුව 14 වැනි ඕවරයේදී වේගයෙන් පන්දුවට පහර දෙන ඉසුරු උදානත් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැව්වේය.

පිට පිට එක් අන්තයකින් පිතිකරුවන් දැවී යද්දී සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ලෝරි ඉවාන්ස් පන්දු යවන්නන් හඹා යමින් වේගවත් ලකුණු 59ක් රැස් කිරීමට සමත් විය. පන්දු 33ක් වැය වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය. පුලින තරංගගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් මුළු ලකුණු සංඛ්‍යාව 95 දී ඔහු දැවීයාමත් සමග කලම්බෝ කිංග්ස් පිලේ අවසන් බලාපොරොත්තුවත් බිඳ වැටිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here