ලංකා ප්රිමියර් ලීග් තරඟාවලියේ හත් වන තරගයෙන් ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම අද (01) සමත් වුණා. මෙම තරගයේදී ඔවුන් හමුවේ පරාජයට පත්වූයේ කලම්බු කිංග්ස් කණ්ඩායමයි.
තරඟය පැවැත්වුණේ හම්බන්තොට සූරියවැව ක්රීඩාංගනයේදීයි.
තරගයේ කාසිය වාසිය දිනාගත් දඹුල්ල වයිකින්ග් කණ්ඩායමෙ නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව දඹුල්ල වයිකින්ග් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 175 ක් රැස්කර ගැනීමට සමත් වුණ අතර දඹුල්ල කණ්ඩායමේ නායක දසුන් ශානක පන්දු 34 ක් තුලදී ලකුණු 56ක් රැස් කළා.
Image Source : SLC
සමිත් පටෙල් ලකුණු 30ක් පන්දු 27 කදී රැස් කල අතර උපුල් තරංග පන්දු 24 ක් තුල ලකුණු 25ක් රැස් කර ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී කලම්බු කිංග්ස් කණ්ඩායමේ ඇන්ඩ්රි රසෙල් ලකුණු 18 ක් ප්රතිවාදීන්ට ලබා දෙමින් කඩුලු 3ක් ලබාගත් අතර ඉසුරු උදාන කඩුලු 3ක් දවා ගත්තේ ලකුණු 25ක් ලබා දෙමින්.
දුශ්මන්ත චමීර ලකුණු 27කට කඩුලු 2ක් දවා ගත් අතර ඇන්ජෙලෝ මැතිව්ස් එක් කඩුල්ලක් දවා ගත්තා.
ලකුණු 176 ක ඉලක්කයක් හඹා යාම සඳහා පිලිතුරු ඉනිම ඇරඹූ කලම්බු කිංග්ස් කණ්ඩායමට සියලු ක්රීඩකයන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 147ක් පමණයි. එහිදී පන්දු 33ක් තුල ලකුණු 59ක් රැස් කරමින් ලෝරි එවන්ස් කලම්බු කිංග්ස් කණ්ඩායම ජයග්රහණය කරා සමීප කලද අනෙක් ක්රීඩකයන්ගෙන් එතරම් සහයෝගයක් නොලැබුණු අතර අනෙක් එක් ක්රීඩකයෙකුවත් ලකුණු 20 සීමාව පසුකිරීමට සමත්වුනේ නැහැ.
Image Source : SLC
පන්දු යැවීමේදී දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ සමිත් පටෙල්, මලින්ද පුෂ්පකුමාර, අන්වර් අලී, පුලින තරංග යන ක්රීඩකයින් අතර කඩුලු දෙක බැගින් බෙදී ගිය අතර සචිඳු කොළඹගේ සහ කසුන් රාජිත අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
තරඟය පුරා දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් යොදාගනිමින් දසුන් ශානක කලම්බු කිංග්ස් කණ්ඩායමේ කඩුලු දවාගත් ආකාරය සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ පන්දු රැකීමේ අඩුපාඩු රහිත බව නිසා මෙම තරඟය ඔවුන්ට පහසු ජයක් බවට පත්වුණා.
තරඟයේ වීරයා : දසුන් ශානක
7 වන තරගය : කලම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකින්ග්
ක්රීඩාංගනය : හම්බන්තොට සූරියවැව ක්රීඩාංගනය
ඒ අනුව කලම්බු කිංග්ස් කණ්ඩායම තවමත් ප්රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන අතර දඹුල්ල වයිකින්ග් කණ්ඩායම තෙවන ස්ථානයේ පසුවනවා.
