ග්‍රැමොෆෝන් ගීතයෙන් “පර්යේේෂණාත්මක ළමා ගී” බිහි කළ සංගීතඥයා

0
52
“සරණගුප්ත අමරසිංහ”
දෙසැම්බර් 3, 2020

විසිවැනි සියවසෙහි මුල් කාර්තුවෙහි එස්. මහින්ද හිමියන්, ආනන්ද රාජකරුණා, කුමාරතුංග මුනිදාස වැනි කවියන් අතින් ළමා කවි රාශියක් බිහිවී තිබුණ ද , කුඩා දරුවන්ට ගායනා කළ හැකි සරල බසකින් සහ සරල නාද රටාවන් ඇසුරින් නිපදවූ, “සිංහල බසින් රචිත ළමා ගීත” බිහිවී තිබුණේ ඉතාමත් අතළොස්සකි. මෙසේ “ළමා ගී” සුලභ නොවූ යුගයක ග්‍රැමොෆෝන් ගීත තැටි මගින් “ළමා ගීත” ප්‍රචලිත කිරීම ආරම්භ වන්නේ 1940 දශකයේ මුල් භාගයේ ය. මෙයට පෙරාතුව දරුවන් වෙනුවෙන් උපදේශාත්මක හෝ අවවාදාත්මක ගීත ග්‍රැමොෆෝන් තැටි හරහා බිහි නොවුයේ නොවේ. නිදසුන් ලෙස, 1930 දශකයේ රෙජිනා පෙරේරා විසින් ගැයූ “කෝමළ ළදරු”, “දරු වේලාසනින් නැගිට” වැනි උපදේශාත්මක ගීත ද, රුක්මණී දේවී සහ ප්‍රිසිලා ඕපාත ගැයූ “මවගේ ඔවදන්” ලෙස නම් කෙරුණු “ලොවේ දසත පූජිත ගරු සිංහල ජාතියේ උපන්න” ආදී විරිඳු ගායනාවන්ද, වී.පි. ලීලාවතී ගැයූ “ගරු ආරිය වංශේ රම්‍යා – බාල ළමෝ අප ලංකා වාසි” ආදී ගීත පෙන්වාදිය හැකිය. නමුත්, 1940 දශකයේ ආරම්භයත් සමඟම දරුවන්ට ගායනා කිරීමට පහසු , සරල සහ මිහිරි ගීත තනු රැගත් “ළමා ගීත රැල්ලක්” ග්‍රැමොෆෝන් ගීත තැටි සමාගම් වලින් නිකුත් කිරීම ආරම්භ විය. එවකට සුප්‍රසිද්ධ HMV  ගීත තැටි සමාගම විසින් “සුරතල් නංගියේ අපේ අම්මා” ( ට්‍රිලීෂියා අබේකෝන්, විජේපාල සහ සිරි අයියා ගැයූ), “නාඬා මගේ හොඳ නංගි – අලස නොවී අපි යමු පාසලටා“ (ලීලාවතී සහ අනුලාවතී සොයුරියෝ) ආදී ගීත ද, COLUMBIA සමාගම විසින් “පුංචි නංගි එයි දැන් තාත්තා අපේ” , “ආලේ පානා අක්කේ” (ග්‍රේටා සහ සෙල්සි ද සිල්වා සොයුරියෝ), “මල් නෙළීම”, “කළගෙඩි නැටුම” (පීරිස් සොයුරියෝ), “බාලාංශ ගී” ලෙස නම් කෙරුණු “මුහුද”, “පලතුරු වෙළෙන්දී“, “සමනළයා සහ මීමැස්සා” (රත්මලාන බෞද්ධ පාසලේ සිසුන්) යනාදී ගීත ද තැටියට නැගුණි.

“ප්‍රීතියෙන් පියාඹමින් කුරුල්ලෝ නාද දේ – ඒ හඬින් ළමෝ වහාම නැගිටලා උදේ” අතීතයේ ඉතා ජනප්‍රිය ළමා ගීතයක් වූ මෙය අදටත් අපේ පැරැන්නෝ ඉතා ආදරයෙන් සිහිපත් කරති. එසේම වර්තමානයේ ද ඉතා ජනප්‍රිය ගීතයක් වූ “පායනා කාලේදී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරයි කූඹියෝ” යන මෙම ජනප්‍රිය ගීත සංගීතවත් කරමින් ගායනා කළේ මෙරට සිටි සුප්‍රසිද්ධ සංගීතඥයෙක් වූ සරණගුප්ත අමරසිංහ මහතා ය. අද මා මෙම ලිපියෙන් පිඬු කොට දක්වන්නේ එතුමා විසින් මෙරට ගීත ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා කළ සේවයයි.

වර්ෂ 1904 පෙබරවාරි 22 උපත ලද සරණගුප්ත අමරසිංහ මහතා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයයෙහි ආදි ශිෂ්‍යයෙකි. ඉන්දියාවේ ශාන්ති නිකේතනයෙන් අධ්‍යාපනය ලද මෙතුමා වර්ෂ 1937 දී මෙරටට පැමිණ සංගීත ගුරුවරයෙක් ලෙස ස්වකීය වෘත්තීය දිවිය ආරම්භ කරන්නේ ය. හොරණ ශ්‍රීපාලි විදුහලේ පළමු සංගීත ගුරුවරයා වන මෙතුමා රාජ්‍ය සේවය යටතේ මෙරට ගුරු අභ්‍යාස විද්‍යාලයක සංගීත ගුරුවරයෙක් ලෙස පත් වූ ප්‍රථම තැනැත්තා ද වෙයි. හොරණ ශ්‍රීපාලි , ගාල්ල රිච්මන්ඩ් ආදී විද්‍යාල සඳහා පාසල් ගීත නිර්මාණය කරන්නේ ද මෙතුමා ය. එසේම ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා, රිච්මන්ඩ් විද්‍යාලයය, කොළඹ බෞද්ධ බාලිකා විදුහල, මහනුවර උසස් බාලිකා විදුහල, ආදී විද්‍යාල රැසකම සංගීත ගුරුවරයා ද වන්නේ ය. පසුව මෙතුමා මෙරට සියලුම ගුරු අභාස විදුහල් වල ප්‍රධාන සංගීත ආචාර්යවරයා වන්නේ ය. මෙකල මෙතුමාගේ ඉතා කුලුපග මිත්‍රයෙක් , ප්‍රසිද්ධ අධ්‍යාපනඥයෙක් සහ ගුරුවිද්‍යාල ප්‍රධානාචාර්යවරයෙක් වූ, යූ .ජී. පී ද සිල්වා මහතාගේ උදවු ඇතිව මෙතුමා ග්‍රැමොෆෝන් ගීත තැටි සඳහා “ළමා ගීත” රාශියක් නිර්මාණය කරන්නේ ය. “නිල් අහස් තලේ අගේ – නෑ වලාකුළු“, “මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ“ යන ගීත ලොකු කුඩා කා අතරත් අතිශයින් ජනප්‍රිය මෙම ගීත යුග්මය සඳහා සංගීතය සැපයුවේ සරණගුප්ත අමරසිංහ මහතා විසිනි. ගීත ද්විත්වයම ගායනා කළේ යූ .ජී. පී ද සිල්වා මහතා විසිනි.

මෙම ළමා ගීත සියල්ල තැටිගත කෙරුණේ LANKA FILM COMPANY LTD. ( ලංකා ෆිල්ම් කොම්පැනි සමාගම ) නමැති ග්‍රැමොෆෝන් තැටි ලේබලයට ය. මෙම ගීත තැටි ලේබලය පැවතුනේ 1938-44 කාල සීමාවෙහි පමණි. SW අංක ශ්‍රේණියකින් ගීත තැටි නම් කළ මෙම ගීත තැටි ලේබලය නිල් පැහැයෙන් නිකුත් වූ අතර, HMV  තැටි සමාගමේ සහ එවකට (මෙන්ම වර්තමානයේ ද) ප්‍රසිද්ධියට පත්ව තිබෙන SIEDLES  ඉලෙක්ට්‍රොනික සමාගම සමාගමේ ආධාර ඇතිව මෙම ගීත තැටි ලේබලය නිකුත් වුණි . එබැවින් සෑම ගීත තැටි ලේබලයකම “SPECIALLY MANUFACTURED FOR SIEDLES CINERADIO LTD..” (SIEDLES  CINERADIO සමාගම වෙනුවෙන් විශේෂයෙන් නිෂ්පාදනය කරන ලදී) යනුවෙන් සටහනක් යෙදුණි. “ළමා ගීත ශ්‍රේණිය“ නොහොත් “THE CHILDERN’S SONG SERIES” ලෙස ගීත තැටි ලේබලයේ මුද්‍රණය කරන්නට යෙදුණු මෙම ගීත අතරට, “දෙවඟනන් ගේ රැඟුම්” (“රූ රැසේ අදිනා ලෙසේ” -යූ .ජී. පී ද සිල්වා), “හඳ හාමි හැංගි හැංගි එබිලා බලනවා“ (යූ .ජී. පී ද සිල්වා), ආදී ගීත මෙන්ම සිංහල ජන ගායනා, වන්නම් සහ සිංහල සංස්කෘතිය විදහාපාන ගීත සරණගුප්ත අමරසිංහ මහතා අතින් නිර්මාණය විය. “ඔලිඳ කෙළිය” (සරණගුප්ත සහ ඩොරීන් ගුණසේකර),“දැල් ඇදීම“, “යකඩ තැලීම”, “දරු නැළවිල්ල“, (සරණගුප්ත අමරසිංහ) ආදී ගීත රාශියක් මෙන්ම “කිරලා වන්නම”, “තුරඟා වන්නම”, “කරත්ත කවි- සිව් පද” (හියුබට් රාජපක්ෂ) ආදී ගීත සඳහා ගායනයෙන් මෙන්ම සංගීතයෙන් ද දායකත්වය සැපයී ය.

වර්ෂ 1917 දී පමණ තැටිගත කෙරෙන සේදවත්තේ වෙළුම් පෙරේරා විසින් ගායනා කළ “සාන්ත ජෝන්ගේ වීදියේ කඩේ“ යන ගීතයත්, එම වකවානුවේම පෑලිස් අප්පු විසින් ගයන “මාළු වෙන්දේසිය” නම් ගීතයත් හැරුණු කොට ධීවර ජන ජීවිතය හෝ මාළු වෙළෙඳාමක් ගැන ගීත පූර්ව සිනමා (1903-47) ග්‍රැමොෆෝන් ගීත ඉතිහාසයේ හමු නොවේ. සරණගුප්ත අමරසිංහ මහතා විසින් වර්ෂ 1942 දී උක්ත සඳහන් කළ LANKA FILM COMPANY LTD. ග්‍රමොෆෝන් ගීත තැටි අංක SW 11 යටතේ සංගීතවත් කර ගායනා කළ “දැල් ඇදීම“ නම් එවකට ඉතා ජනප්‍රිය වූ ගීතයක් හමු වේ. මෙරට පවතින විවිධ සංස්කෘතිකාංග සිංහල ගීතයෙන් මතු කිරීමට සරණගුප්ත අමරසිංහ මහතා ගත් එක් ප්‍රයත්නයක් ලෙස මෙම “දැල් ඇදීම” ගීතය හඳුනාගත හැකිය. වර්ෂ 1944 දී සරණගුප්ත අමරසිංහ මහතා විසින් නිකුත් කළ කුඩා දරුවන් වෙනුවෙන් සැකසු, SINHALESE FOLK SONGS ( සිංහල ජන ගී ) නම් ස්වර ප්‍රස්ථාර සහිත ගීත පොතෙහි ද මෙම ගීතය අන්තර්ගත වේ. එම පොතේ පෙරවදන ලියු හියුබට් රාජපක්ෂ මහතා සරණගුප්ත අමරසිංහයන් විසින් මෙරට සිංහල ජන සංගීතය ප්‍රචලිත කිරීමට ගත් ප්‍රයත්නය ද විස්තර කෙරෙයි.

ධීවර භාෂාවට ආවේණික “ධීවර සැහැලි” ඇසුරින් එකී භාෂා විලාසයන් සහ වාග්මාලාවන් යොදා මෙම “දැල් ඇදීමේ ගීතය” ප්‍රබන්ධ කර, තනු නිර්මාණය කොට ගායනා කළේ ද, මෙතුමා ය. ධීවරයෝ දැල් අදින විට ගායනා කරන කවි “අබ්ම්බාවන්” නමින් හඳුන්වයි. ධීවර බසින් මාළු දැල “ජාලය” වෙයි. දැල් අදින්නෝ “ජාලියෝ” නොහොත් “අම්බාවෝ” නම් වෙති. දැල් ඇදීමේ ආරම්භයේ ගයන “ඕඩි හෝඩි හෙලෙයි හෙලෙයි ලාම්” යන කොටස ධීවර බසින් “වාරුව” ලෙස හදුන්වයි. සරණගුප්ත මහතා විසින් නිර්මාණය කළ ගීතයේ පදවැල් පහත පරිදි වේ.

 

ඕඩි හෙලෙයි හෙලෙයි ලාම් ///

දෙවියන්ගේ හෝයියා,

දෙවි පිහිටයි හෝයියා

දෙවි සරණයි හෝයියා,

මහා මුහුදේ හෝයියා

දැල් අදිනා හෝයියා,

ලොවට කෙතයි හෝයියා

කෙතර ගියා හෝයියා,

ඉපිලි දෙකයි හෝයියා

ගල් ගෙඩියයි හෝයියා,

හාමිනේට හෝයියා

බොරළු මාළු හෝයියා,

නැත කියලා හෝයියා

ගුටි බැට යි හෝයියා –

ඕඩි හෙලෙයි හෙලෙයි ලාම් //

තෝර මාළු, පරා මාළු, ඉස්සන්, කුණිස්සන්

හාල්මැස්සන්, කටුවල්ලන් අරගන්නේ කවුද ?

ගන්නේ කවුද? ගන්නේ කවුද ?

ඕඩි හෙලෙයි හෙලෙයි ලාම් //

ඕඩි හෙලෙයි හෙලෙයි හෙලෙයි හෙලෙයි

හෙලෙයි හෙලෙයි හෙලෙයි හෙලෙයි ලාම්

 

ෂඩ්ජය රිෂභය ලෙස (D major) පිහිටා ඇති ගීතයේ දාදරා තාලයේ තබ්ලා මාත්‍රා හතරකට පසු පසු හවායින් ගිටාරයක් හෝ මැන්ඩලිනයකට අනතුරුව වයලින් දෙකක් සුසංවාදීව (harmonised) ගීතයේ ස්ථායී කොටස හඳුන්වා දෙයි. ස්වර දෙකකින් ගැයෙන සරල ගීයක් වුවද, ගීතයේ මැද කොටස ක්‍රමයෙන් මුල් ස්වර දෙකට ඉහළ ඇති සප්තකයේ සුසංවාදී ස්වර (harmony notes) යොදමින් ඉතා අලංකාරව ආතතියක් මුසු කරයි. මෙහි ඇති සරල තනුව නිසා කුඩා දරුවන්ට පාසල් ගීත ගායනාවන් සඳහා ද මෙම ගීතය එවකට භාවිත කරන ලදී. පසුකලෙක චිත්‍රසේනයන්ගේ කරදිය මුද්‍රා නාටකයේ (1961) ගැයෙන “හෝයියා හෝයියා” ගීතයේ නාද රටාවන් ද මෙම ගීතයට යොදාගත් නාද රටාවන්ට බොහෝ සෙයින් සමාන ය.

ග්‍රැමොෆෝන් ගීත තැටි ලේබල දෙස බැලීමේදී , මෙතුමා විවධ ගීත තැටි ලේබල සඳහා ගීත විශාල සංඛ්‍යාවක් තනු නිර්මාණය ගායනා කර ඇත. ODEON  ලේබලය වෙනුවෙන් “පදිමු මේ ගඟේ”, “නමදිමු ශ්‍රී ලංකා” (ඩොරීන් ගුණසේකර සමග) , YOUNG INDIA  ලේබලය වෙනුවෙන් “පුන් සඳ පායා“, “පෑ සේ එන කුසුමයි”, DIANA ලේබලය වෙනුවෙන් “ඔරලෝසුව“, “වැස්ස“, “හොඳ ළමයි“, ආදී ළමා ගීතද, LANKA FILM COMPANY LTD  ලේබලයෙන් “ බඹරා සහ සපු මල”, සහ “ප්‍රේම ගී සාගරේ ” (ඩොරීන් ගුණසේකර සමඟ) ආදී ගීත ද ගායනා කළේ ය. එසේම මෙතුමා එවකට භාරතයේ සිටි පසුබිම් ගීත ගායිකාවක වූ ෆ්‍රෙනි ෂ්රොෆ් නම් ගායිකාව සමඟ ගායනා කළ “ලෝකා ලෝකේ” නම් “සන්ධ්‍යා වර්ණනා” ගීතය “අසෝක මාලා” චිත්‍රපටයට (1947) මොහිදීන් බෙග් විසින් ගැයූ “ආලේ මාගේ හර්දේ පිරේ” යන ගීතයේ තනුවම විය. එසේම භාරත චිත්‍රපටයක පසුබිම් ගීත ගැයූ ගායිකාවක පළමු වරට චිත්‍රපට නොවන සිංහල ග්‍රැමොෆෝන් තැටියකට යුග ගීතයක් ගයන්නේ ද මෙම ගීතයෙනි. ෆ්‍රෙනි ෂ්රොෆ් ගායිකාව පිළිබඳ තොරතුරු අප්‍රකට ය. එසේම, එවකට මෙතුමාගේ ගායනා ශෛලීයය සහ සංගීත සම්ප්‍රදායය අනුගමනය කළ හියුබට් රාජපක්ෂ සහ දේවාර් සුරියසේන යන මහත්මාවරුන් සමඟ ද මෙතුමා බොහෝ ගීත නිර්මාණය කළේ ය. හියුබට් රාජපක්ෂ මහතා විසින් ගායනා කළ “ සුරලො සැප දේ”, “ලංකා මේ දීපේ” ආදී ගීතවල සංගීත සංයෝජනය කළේ ද මෙතුමා විසිනි. සිංහල ජන ගී සහ වන්නම් මුල්වරට බටහිර තනු සහ වාද්‍ය භාණ්ඩ භාවිත කර පර්යේෂණ මට්ටමින් සරල තනු ඇසුරින් ගායනා කළේ ද, සරණගුප්ත අමරසිංහ මහතා විසිනි. මෙතුමාගේ ගායනා වල ආවේණික ලක්ෂණය වූයේ, එතුමාට අනන්‍ය වූ ගැඹුරු, බටහිර ඌරුවට ගැයුණු හඬ ය. එසේ වුවද, ඔහුගේ බොහෝ ගීතවල භාවිත වූයේ, ඉතා මනරම් අන්දමින් පර්යේෂණාත්මකව යොදා ගත් දේශීය නාද රටාවන් ය.

ගීත ගායනයට සහ සංගීත අධ්‍යක්ෂණයට අමතරව මෙතුමා කුඩා දරුවන් වෙනුවෙන් ළමා ගීත පොත් රාශියක් රචනා කළේ ය. “SINHALESE SONGS FOR CHILDREN” යනුවෙන් සඳහන් කළ මෙම පොත් පෙළ එවකට රජයේ නිර්දේශිත, පාඨශාලා වල භාවිතයට සුදුසු ළමා ගී පොත් පෙළක් විය. වයස අවුරුදු 7-12 දක්වා වයස් කාණ්ඩවල දරුවන් සඳහා පෙරදිග සහ අපරදිග තනු අනුව රචනා කොට, තනු යෙදු ගීත සහ ප්‍රස්තාර සහිත පොත් කාණ්ඩ හතරක් වශයෙන් මෙතුමා පළ කළේ ය. ග්‍රන්ථකරණයට අමතරව, “සමූපකාර ගීතය”, “පොලිස් රණ ගීතය”, “බාලදක්ෂ මානවිකා ගීතය”, “විහාරමාහා දේවී උපහාර ගීතය”, “සත්‍ය ශ්‍රී සායි බාබා භජන්ගීතය” ආදී ගීත රාශියක් ප්‍රබන්ධ කළේ මෙතුමාය. මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා සහ අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතාගේ කුලුපග මිතුරෙකු වූ මෙතුමා, එවකට බොහෝ දේශපාලන වේදිකාවන්හි ද ජනප්‍රිය චරිතයක් විය. සාවිත්‍රි, විජිත සහ යස්මින් යන දුවාදරුවන් තිදෙනෙකුගේ පියෙකු වූ මෙතුමා වසර 81 ක් ආයු වළඳා වර්ෂ 1985 සැප්තැම්බර් 22 දින මෙලොවින් සමුගත්තේ ය.

භාරතයේ ශාන්ති නිකේතනයෙන් ලද පෙරදිග සංගීතමය ශාස්ත්‍ර ඥානය යොදාගෙන, මෙරටට ආවේණික වූ ජන ගී, වන්නම්, සීපද ආදී සංගීතමය අනුභූතීන මෙන් ම , මෙරට එකල ජනප්‍රිය වූ නාඩගම් සහ නුර්ති ශෛලීන් ද යොදා ගෙන බ්‍රිතාන්‍ය සංගීත ඇකඩමියෙන් ලද බටහිර සංගීත ඥානයද භාවිත කර, මෙරට “පර්යේෂණාත්මක සංගීතයක්” නිර්මාණය කිරීමේ පුරෝගාමියා වන්නේ සරණගුප්ත අමරසිංහ මහතා ය. එතුමාගේ නාමයට මෙම ලිපිය උපහාරයක් ම වේවා !

 

විශේෂ ස්තූතිය : සරණගුප්ත අමරසිංහ මහතාගේ දියණිය වූ සාවිත්‍රී ඉබ්‍රාහීම් මහත්මිය, සහ එතුමාගේ මිනිබිරිය වන ශිරාලසා ඉබ්‍රාහිම් මහත්මිය, සාවිත්‍රි මහත්මිය සම්බන්ධ කරගැනීමට උපකාර කළ ගනුෂ්ක රන්දුල සහ තමල්ක නිලක්ෂණ මහත්මාවරු, ගීත තැටි සංරක්ෂක දයා ලියනගේ මහතා, ගීතයන්හි සංගීතය පිළිබඳ දැනුම්වත් කළ අසංක පෙරේරා මහතා, පැරණි සිනමා සහ කළා ලිපි සංරක්ෂක කපිල සිරිමාන්න මහතා

 

මූලාශ්‍ර : සාවිත්‍රී ඉබ්‍රාහීම් මහත්මිය සමඟ කළ සංවාදය, “ ජනරංජන ගී”- සරණගුප්ත අමරසිංහ සමරු වැඩසටහන, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, තිලකරත්න කුරුවිට බණ්ඩාර, “සංගීත රසය”-2 වැනි කාණ්ඩය (1947)- නිව් වෙල්කම් ස්ටෝර්ස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here