දුකා මුල්වරට පුතාට සින්දු ලියලා

0
53
දෙසැම්බර් 3, 2020

වැඩිහිටි පරම්පරාවට මාව දිරෙව්වේ නැහැ

අපි මාකටින්ග් ඉගෙනගත්තේ සේරිවාණිජ ජාතකයෙන්

මම ගමට මාකට් එකක් හදලා දුන්නා

රන්කුරහන් මලට අවුරුදු විස්සයි. ඒක නොකියා ඒ දෙන්නට තවමත් වේදිකාවෙන් බහින්න බෑ

දශකයේ ජනප්‍රියම ගීතය “අහංකාර නගරේ”

 

වසන්ත දුග්ගන්නාරාල එහෙමත් නැත්නම් හැමෝම දන්න “දුකා” ගැන අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැහැ. තාරුණ්‍යයට ගීතයෙන් ආදරය කරන්න උගන්නපු, මධුර පදවැල්වලින් තාරුණ්‍යය ආමන්ත්‍රණය කරපු දුකාව සරසවිය කතාබහකට එකතු කරගත්තේ මෙලෙසයි.

සිංහයාට බයයි කිව්වට, දුකා ගල් ලෙන බිඳලා සිංහයෙක්ව එළියට දැම්මා නේද?

ඔව්. දැන් මගේ පුතාගේ වැඩ දෙක තුනක් එළියට එනවා. එයා සඳළිඳු දුග්ගන්නාරාළ. එයා පොඩි කාලෙ ඉඳන්ම ආර්ට් පැත්තට ටිකක් බරයි. ඒත් එයා ඉගෙන ගත්තෙ කළමනාකරණය. එයා ඉස්කෝලෙ නැටුම් සහ නාට්‍ය කරපු නිසාම ගායනය නිකන්ම කරන්න වුණා. එයා උසස් පෙළ කරන කාලෙ ඕගන් එකක් ඕනෙමයි කියලා ඒ මම අරන් දුන්නා. ඊට පස්සේ ඒක ගගහා අනුන්ගෙ සින්දු කිය කිය හිටියා. මමත් ඉතින් කොච්චර සින්දු ලිව්වත් පුතාට සින්දුවක් ලියන්න බැරි වුණා. ඒත් ඉතිං ගෙදර වැඩ කොහොමත් කල් යනවානේ. (සිනාසෙමින්) ඉතින් මට පුතාට සින්දුවක් ලියන බැරි වුණා. මගේ බිරිඳ මනෝජා සහන් රන්වල එක්ක කතා කරලා තිබුණා මේ ගැන. දවසක් සහන් මට කිව්වා “මචං සින්දුවක් අපේ කොල්ලෙක්ට ලියව ගන්න ඕනි” කියලා. මම කිව්වා “ට්‍රැක් එක එවන්න මම ලියලා දෙන්නම් කියලා”. එයා කිව්වේ අවුරුදු 18ක 20ක විතර කොල්ලෙක්ට කියලා. සින්දුවේ මෙලඩි ඇහුවා මම ඒක හරිම ලස්සනයි. මගේ අතිනුත් ඉතාමත්ම ඉක්මනින් සින්දුවක් ලියවුණා. කොරෝනා පළවෙනි රැල්ලේ ඉවරවෙලා අපේ වැඩ කටයුතු ආයෙමත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින කොට සහන් කතා කරලා මට කිව්වා “මචං අර සින්දුව හරිම ලස්සනයි පේමන්ට් එක කොහොමද” කියලා. මම සහන්ට කිව්වා ඔයාගේ එක්කෙනෙක්නේ. මට ඉතින් ගණන් කියන්න බැහැ ඔයා බලලා දෙන්න කියලා.

 

ඊට පස්සේ ද සිරසෙන් ඔබව පුදුම කළේ?

මේ ළඟදි දවසක මට සිරස නාළිකාවෙන් උදේ වැඩසටහනකට කතා කළා. වැඩසටහන අතරතුරදී එකපාරටම ගෙදර හිටපු මනෝජා සාරියක් ඇඳගෙන වැඩසටහනට එනවා. ඒක මට ලොකු පුදුමයක් නෙමෙයි මොකද ඒ වගේ දේවල් වෙලා තියෙනවා මීට කලින්. ටිකක් වෙලා වැඩසටහනේ මනෝජාත් එක්කයි මාත් එක්කයි කතා කර කර ඉන්නකොට මට ඇහෙන්න ගන්නවා කලින් මම ලියපු සින්දුව. මම මනෝජාට එවෙලේ බැන්නා එතන තියාගෙන “මොකක්ද මේ කරන්නේ මේ සින්දුව තාම එළිදක්වලාත් නෑ” කියලා. ඊට පස්සේ මම සින්දුව පුතා කිය කිය එනවා. මට හිතාගන්න බැරි වුණා. එවෙලෙ මම ගොඩක් සංවේදී වුණා.

 

එවෙලේ ඇඬුවේ දුකටද සතුටටද?

ඇත්තටම මම ඇඬුවේ දුකට. මෙච්චර සින්දු ලියපු මම මගේ පුතාට සින්දුවක් ලිව්වෙ නෑනේ කියන හැඟීම මට එවෙලේ ආවාම ලොකු දුකක් ඇති වුණා. ඒ සින්දුව දැන් තචභදජඩ කළා. නම “මල් මල් සාරිය” ලක්ෂ පහක් විතර යූටියුබ් එකේ බලලා තියෙනවා. දැන් රූපරචනාවක් කරන්න ඉන්නේ. දැන් ඉතින් ප්‍රසිද්ධ ගීත රචකයෝ සංගීතඥයෝ මගේ පුතත් එක්ක වැඩ කරන්න කැමතියි කියලා මට කියලා තියෙනවා. දැන් එයා එයාගේ ඉස්සරහ වැඩ ටික කරයි. එයා ගායනය වෘත්තියක් කරගන්න එකක් නැහැ. නමුත් යමක් කරයි කියල මම හිතනවා.

 

සිංහයාට බයයි නංගියෙ ඉඳන් මල් මල් සාරිය වෙනකන් ගී පද රචනයේ සන්ධිස්ථාන ගැන පොඩ්ඩක් කතා කරමු?

“සිංහයාට බයයි නන්ගියෙ” මම රචනා කරන්න 1996දී. සේනානායක වේරලියැද්ද ටෙලිනාට්‍යයක තේමා ගීතයක් වෙන “නංගිට බැඳපු මල් වියනයි” ගීතය ගායනා කරලා ඉද්දි තමයි මම මේ ගීතය රචනා කරන්නේ. ඔහුගේ හඬ පෞරුෂය හරියටම එළියට ගත්තේ සිංහයාට බයයි නංගියේ ගීතය කියන හැඟීම ගොඩක් අය අතරට ආවා. ඒ වෙනකොට පොඩි පොඩි සින්දු ලියලා තිබුණට ජනප්‍රිය ගණයේ ගීත නෙමෙයි ඒවා. නිරෝෂා විරාජිනී, අතුල අධිකාරි, ජානක වික්‍රමසිංහ වගේ ගායකයන්ට මම ගීත රචනා කළා. ඒත් ඒවා හිට් වුණේ නෑ. ඊට පස්සේ ඉතින් මම ලියපු හැම ගීතයක්ම වගේ දිගටම සන්ධිස්ථාන තමයි. රන් කුරහන් මල කියන්නේ භාතිය සන්තුෂ් යුගල නැවත ඉපදීමක්. 2000 වසරේ ඒක එළිදැක්වුවේ. සහස්‍රකය ලබන කොටම ජන ගායනාවක් එක්ක තමයි එළියට ආවේ. දැන් සින්දුවට අවුරුදු විස්සයි. තවමත් ප්‍රසංග වේදිකාවකට ඒ දෙන්නා නැග්ගාම ඒ සින්දුව නොකියා එතනින් බහින්න බෑ. ඒ වගේම ඔවුන්ටම ලියපු “මල් පැන් පොදක්” ගීතය. ඒක සහස්‍රක යෞවනයේ ගීතය බවට පත් වුණා. ඊටපස්සේ නේත්‍රා ගීතය ලිව්වා. ඊට පස්සේ ටික ටික වැඩ කරගෙන යද්දී දුෂ්යන්ත් වීරමන්, ඉරාජ් වීරරත්න, චින්ති, රනිඳු ක්ෂේත්‍රයට එනවා. දුෂ්‍යන්ත්ගේ “පානා සෙනෙහස” ගීතයත් ගොඩක් ජනප්‍රිය වුණ. ඒක මේ වෙද්දිත් රීමේක් කරලා කියනවා. ඊට පස්සේ “අහංකාර නගරේ” ගීතය ආවා. ඒක තමයි දර්ශකයෙ ජනප්‍රියම ගීතය බවට පත්වුණේ. ඒ වගේම චින්ති වෙනම පැත්තකින් ක්ෂේත්‍රයට ආවා. එයාට “සොකරි” ගීතය ලියලා බැනුම් ඇහුවා. ඒක සමාජ කතිකාවතකට ලක් වුණා. ලංකාවේ සාමාන්‍යයෙන් ගීත එක්කෝ වාරණය කරනවා, නැත්නම් ප්‍රචාරය කරනවා. සොකරි ගීතය තමයි එක වචනයක් විතරක් වාරණය කරලා ප්‍රචාරය කරපු එකම ගීතය. කංසා කියන වචනය වාරණය කරලා මාධ්‍ය ප්‍රචාරය කළේ. ඊටපස්සේ “නින්ද නොයන හැන්දෑවේ” ලිව්වා. ඒක තමයි ලංකාවේ පළවෙනි රින්ගින්ග් ටෝන් එක. ෆේස්බුක් යූටියුබ් නොතිබුණු කාලෙක මාධ්‍ය මඟින් හිට් වෙච්ච රින්ගින් ටෝන් වෙච්ච සින්දු මේවා. ඊට පස්සේ ගයන්ත පෙරේරාට “රවුම් කඩේ” ලිව්වා. අශාන්ති ද අල්විස්ට “හන්තානේ” ලිව්වා. රොමේෂ් – ලක්ෂාන් දෙන්නාට “මා දෙස නෙත් නොපියා බලාපූ” ගීතය ලිව්වා. මේ ඔක්කොම හැමෝගෙම පළවෙනි හිට් වෙච්ච ගීත. මේ ඔක්කොම හිට් වුණේ මම ලියපු සින්දුවලින්. ඒ අය හැමෝම දැන් ප්‍රවීණයෝ. මේ අතර සමිතා මුදුන්කොටුව පවා එනවා “දුකා අයියේ හිප්හොප් සින්දුවක් කරන්න ඕන” කියලා. එයාට “සාර සදිසි පෙති” ගීතය ලිව්වා. ඒ කාලේ සින්දු ලිව්වා නම් හිට් වුණා, ලිව්වා නම් හිට් වුණාම තමයි. 2012, 2013 වෙනකන් එක දිගට ලියපු සින්දු හිට් වුණා. “සිල් බිඳ ගත්තා” ගීතයෙන් පස්සේ ටිකක් මන්දගාමී වුණා. එතනින් පස්සෙ මම සින්දු ලියන එක ටිකක් අතෑරලා ක්ෂේත්‍රය දිහා බලාගෙන හිටියා. ඒත් නොලියා ඉන්නම බැහැ, ආයිත් මාව හොයාගෙන එනවා. මේ මෑතක මම ලියපු “කතිරිනා” ගීතයත් ට්‍රෙන්ඩින්ග් වුණා. මේ අතර ගොවි ගීතය, අපි වෙනුවෙන් අපි වගේ ගීත ජාතික සේවාවන් සඳහා ලිව්වා. ඒවාට සම්මාන පවා ලැබුණා.

 

ඒ කාලේ ලියපු හැම සින්දුවක්ම හිට් වුණේ හොඳ මෙලඩි හැදුණු නිසාද?

ඒ කාලේ මට හොඳ නිර්මාණශීලී තරුණයෝ ටිකක් මුණගැහුණා. ඔවුන් හොඳ මෙලඩි හැදුවා. මේ කාලේ හැදෙන තරුණ නිර්මාණකරුවන්ගේ ගීත මම රිජෙක්ට් කරන්නේ ඒවායේ මෙලඩි එක ලස්සන නැති නිසා. මම කලින් කියපු හැම ගීතයකම වගේ මෙලඩි එක ලස්සනයි. ඒ වගේම මම ඒ සින්දුවල අමුතු වචන ලියපු නිසා ඒක හිට් එකක් වුණා. ඒ කාලේ තිබුණු චාර්ට් ෂෝවල අය අපේ ගෙදරට හැමවෙලාවේම කෝල් කරලා අහනවා “මොකක්ද ලිව්වේ, අලුත් සින්දු නැද්ද?” කියලා. මම හිතනවා එහෙම වෙන්න හේතුව මගේ තිබුණු අමුතු වචන හරඹය කියලා. ඒ වගේම තරුණ පරපුරේ ජාන මම හඳුනගත්තා. ඔවුන්ට දැනෙන්නේ මෙන්න මෙහෙම ලිව්වම කියලා මට තේරුණා. ලස්සන මෙලඩි, මගේ වචන, ඒ ඔක්කොගෙන්ම එන හැඟීම් මේ ඔක්කොම එකට ගැළපුණා. ඒකයි ඒ කාලේ ලියවුණු හැම ගීතයක්ම වගේ හිට් එකක් වුණේ.

 

සමහර පරිණත අයට තරුණයන් එක වැඩ කරන්න බැහැ. ඒත් ඔබ?

මම තාම තරුණයි. (සිනාසෙමින්) ගීත රචකයෙක් සහ මාධ්‍යවේදියෙක් විදිහට සම්ප්‍රදායික මත දරන වැඩිහිටි කලාකරුවන්ට මාව දැක්කේ රාමුවෙන් පිට යන කෙනෙක් විදිහට. ඔවුන් පනවල තියෙන සීමාවෙන් එළියට යන කෙනෙක් හැටියට. නාහෙට අහන්නේ නැති එකෙක් වගේ හැඟීමක් ඔවුන්ට මං ගැන තිබුණා. “සිංහයාට බයයි නංගියේ” එතරම් ජනප්‍රිය වෙලාත්, ඒකෙ තියෙන සාහිත්‍යමය අගය ගැනවත් සින්දුවෙ තියෙන රස ගැනවත් කිසිම කෙනෙක් කතා කළේ නෑ. වැඩිහිටි පරම්පරාවට මාව දිරෙව්වේ නැහැ. මගේ සින්දු කියන්න ඒ අය බය වුණා. එහෙම ප්‍රතික්ෂේප වුණ මම ආපහු හැරිලා සින්දු ටිකත් මුල්ලකට කරගෙන, මගේ අනිත් වැඩ කරගෙන ඉන්න ගත්තා. ඊට පස්සේ තමයි මට භාතියලව මුණගැහිලා “රන් කුරහන් මල” ගීතය ලියන්නේ.

 

නාහෙට අහන්නේ නැති මියුසික් උණ තිබුණු මේ තරුණයෝ ටික හසුරුවන් වැඩ කළේ කොහොමද?

මම ටිකක් වැඩිහිටි නිසා ඒ අය බයයි, මම කියන දෙයින් පිට දෙයක් කරන්න. සින්දුවක මොකක්හරි දෙයක් වෙනස් කරන්න කිව්වොත් ඒ අය ඒක කරනවා. “මේක මෙහෙම වෙන්න ඕනේ, මේක මම ලියපු වචනෙට හදන්න” කියලා, භාතිය සන්තුෂ්ලාගේ පවා සමහර තැන් මම හදලා තියෙනවා. ඒක මට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට සින්දු ලිව්වා නම් කරන්න බැහැ. මේ අය තරුණයෝ නිසා තමයි මට ඒ අඩුපාඩු හදන්න පුළුවන් වුණේ. ඒ සොඳුරු ආධිපත්‍ය මට ගන්න පුළුවන් වුණේම ඒ අය මට පහළ පරම්පරාවේ හිටපු නිසා. මේ තරුණයෝ හැමෝම ළඟ නිර්මාණශීලීත්වය, හැකියාව, තාක්ෂණය වගේ සින්දුවකට අවශ්‍ය හැමදේම තියෙනවා. මට ඒ ටික තිබුණාම ඇති.

 

මේ තරුණයෝ අතරින් වැඩිපුරම බැණුම් ඇහුවේ කවුද?

මම හිතන්නේ ඒ ඉරාජ් වීරරත්න. ඉරාජ් තමයි හිටපු ගමන් තක්කඩි වැඩ කරන්නේ. මම ලියපු එකේ වචන එහා මෙහා කරලා ඌට ඕනේ එක හදන්නේ ඉරාජ්. හැබැයි ඉතින් ඉරාජ් හරිම නිර්මාණශීලීයි. අදටත් සෝෂල් මීඩියා ලංකාවේ තැනකට ගෙන ආවා නම්, ඒකට මුල් තැන ගත්තේ ඉරාජ්. එයාගෙ කලා භාවිතයේ සමහර ප්‍රශ්න තිබුණට හරිම දක්ෂ ළමයෙක්.

 

ඒ තරුණයොත් එක්ක වැඩ කරපු දුකාට දැන් ඉන්න තරුණයෝ ගැන මොකද හිතෙන්නේ?

දැන් එයාලා කලින් අයට වඩා ටිකක් ඉස්සරහින් ඉන්නවා. ඒ වුණාට ලොකු ඉදිරිගාමී බවක් පේන්නෙ නැහැ. පොදු සමාජයේ සමහර තරුණයෝ ඉන්නවා කොහොමත් කිසිම මතවාදයක් නැති මෙලෝ රහක් නැති පිරිසක්. ඒ අතර රන්වල බලකායේ අය, උපුල් ශාන්ත සන්නස්ගල වගේ අය ඇසුරේ හැදෙන වැඩෙන තරුණයෝ වැඩ්ඩෝ කියලා මම හිතනවා. ඒ වගේම ප්‍රවීණයන්ගේ සමහර දරුවෝ කසුන් කල්හාර, සජිත ඇන්තනී, වගේ අයගේ නිර්මාණවලින් අර අපි කලින් හදපු දේවල් ආයිමත් ඇහෙනවා. දැන් තරුණ පරපුරට තාක්ෂණය තියෙනවා. මගේ පුතාගේ සින්දුව වුණත් හොඳ තාක්ෂණික මට්ටමක තියෙනවා. ඒත් එයාලා සින්දුවට තාමත් වචන හොයන්නෙ අප්පච්චිගෙන්. එයාලා අර මාධ්‍යවල පෙන්වන, සින්දු කියලා අඬන දොඩන කොල්ලෝ දැකලා එපා වෙලා අලුත් වැඩක් කරන්න ඕනේ කියලා හිතුණු අය.

 

ඒ කියන්නේ අඬන සංස්කෘතිය බිහි කළේ මාධ්‍ය?

ඔව්. ජනමාධ්‍ය කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට කතා කරන්න තියෙන්නේ ප්‍රබලම අංගයනේ. ඉතින් මාධ්‍යයෙන් අඬන සින්දුම පෙන්වලා, දැන් ටෙලිනාට්‍යවල පවා තොල් රතු කරපු සුදුම සුදු පෞරුෂයක් නැති පිරිමි ළමයි දකිනවා අපි. ඒත් සමස්ත සමාජයට බැහැලා බැලුවම පේනවා තාමත් කොල්ලො කොල්ලො විදිහට ඉන්න බව.

 

ඉස්සර හැදුණු ඒ ගීත දැන් හැදෙන්නේ නැත්තේ ඇයි?

2010, 2012 කාලෙදී තමයි ඕක වුණේ. අපි ඉස්සර සින්දුවේ මෙලඩිය ගැන හරිම සැලකිලිමත්. දැන් මට ලස්සන ට්‍රැක් ගෙනල්ලා දෙනවා සින්දු ලියන්න. ඒත් ඒවාගේ මෙලඩි හරි නැහැ. ඇයි අපි තාමත් 70 දශකය ගැන කතා කරන්නේ? එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි, මිල්ටන් පෙරේරා, ක්ලැරන්ස් විජේවර්ධන මේ හතරදෙනාම හතර විදිහක්. ඒත් බලන්න එයාලා සින්දුවලින් දීපු චූන් එක. මල් පිබිදෙන එක වසන්ත සමයක, පායා ඇයි හිනැහෙන්නේ, මලට බඹරෙකු සේ (තාලයට ගයමින්) මේ හැම සින්දුවකම චූන් එකක් තිබුණා. මම වචන ලියන කෙනෙක් වුණාට මම ලියපු හැම සින්දුවකම මෙලඩිය හරි ලස්සනයි. මම විශ්වාස කරනවා මිනිස්සු මුලින්ම අහන්නේ සින්දුවේ චූන් එක. ඊටපස්සේ තමයි වචන අහන්නේ. දැන් කරන්නේ වීඩියෝ එක හදලා ඒකට ඕන ට්‍රැක් එක හදලා වචන ටිකක් ලියල දාන එක.

 

ඒ කියන්නේ ශ්‍රවණ මාධ්‍යයට වඩා රූප මාධ්‍ය ප්‍රබල වෙලා?

ප්‍රබල වෙලා නැහැ ඇබ්බැහි වෙලා. ඒත් ඔය අතරේ හොඳ චූන් එකක් තියෙන සින්දුවක් ආවොත් මිනිස්සු ඒක වැලඳගන්නවා. බලන්නකො සනුක වික්‍රමසිංහගේ සින්දු. සනුක කියන්නේ විශ්වකර්මයෙක් නෙමෙයිනේ. ඒත් ඔහුට සංගීත් වික්‍රමසිංහගේ භාවිතය තිබුණා. සංගීත් කියන්නේ “ඔබ ඇපල් මලක් වාගේ” සින්දුව හදපු කෙනා. එයාගේ පුතා හදන මෙලඩි බලන්න. ඒ ගීතවල සංකල්පයයි මෙලඩියයි හරිම ආකර්ෂණීයයි. එහෙම නොවුණු හැම සංගීතකරුවෙක්ම කාලෙකින් වැළලිලා යනවා. මීට අවුරුදු පහ හයකට කලින් පපුව බදාගෙන සින්දු කියපු ඔක්කොම අයගෙන් දිමංක වෙල්ලාලගේ විතරයි දැන් ඉතුරු වෙලා ඉන්නේ.

 

දැන් ඉන්න ගී පද රචකයෝ ගැනත් මොනවා හරි නොකිව්වොත් ඒක අඩුවක්.

රවීන්ද්‍ර මීගමආරච්චි, මනුරංග විජේසේකර, ශෙහාන් ගලහිටියාව වගේ අය නැඟීගෙන එන කාලේ මම කිසිම බයක් නැතුව එයාලට භාර දීල පැත්තකට වෙන්න ඕනේ කියලා හරි ආසාවෙන් හිතුවා. මේ අය ලස්සන ගීත ලිව්වාට වැඩේ ලස්සනට කරගෙන ගියාට ඒ මොනෝපොලී (ර්ධදධනධතර) එක තියාගන්න බැරි වුණා ජනමාධ්‍යවල තියෙන ආධිපත්‍යය එක්ක. ඒක ඒ ගීත රචකයන්ගේ අඩුවක් නෙමෙයි. තනිකරම මාධ්‍යවල වරදක්. ඒ නිසා අපිට ගීත කලාවේ අවුරුදු අටක් විතර නාස්ති වුණා. ඒත් ඉතාම ලස්සන නිර්මාණාශීලී සින්දු හැදෙනවා. මට ඒ සින්දුවල සෞන්දර්යාත්මක පැත්ත වැඩි වෙලා සමාජ කතිකාවත ටිකක් අඩු වෙලා පේනවා. දැන් පරම්පරාවේ දනිත් ශ්‍රී, රිද්ම වීරවර්ධන, සුපුන් පෙරේරා වගේ අය වෙනස් වැඩක් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද අපි කලින් ලියපු සින්දු ඇත්තටම අහන්නේ ඒගොල්ලො. අපි හදපු සින්දු ටික පරද්දන්න පුළුවන් සින්දු ටිකක් ඒ අය අතින් හැදෙමින් පවතිනවා. පන්දම, කුවේණියේ, ප්‍රාතිහාරී, රාත්‍රිය මනරම් කියා වගේ ගීත වෙන ට්‍රෙන්ඩ් එකක් හදනවා කියලා මට හිතෙනවා. ඒත් එයාලා කල්පනා කරන්න ඕනෑ හැම සින්දුවක්ම එක වගේ කළොත් ඒක මිනිස්සු අහන්නේ නෑ කියන එකත්.

 

දැන් රසිකයෝ වචනවල තේරුමත් එක්ක ගීත රසවිඳීනවා කියලා හිතනවාද?

එයාලා ඒ ගීතවල ෆීල් එක, හැඟීම ගන්නවා කියලයි මට හිතෙන්නේ. ඒකයි ප්‍රේමය සහ විරහව ගැන වැඩිපුර ලියවෙන්නේ. කිසිම දැනුමක් නැති ඕනෙම කෙනෙකුට ඒ ෆීල් එක ගන්න පුළුවන්. එතකොට සින්දුවේ අටුවා ටීකා වැඩක් නැහැ. ඒ ෆීල් එක හොයාගත්තොත් ගීත රචකයො සංගීතඥයෝ පවතිනවා. ලොකු පද ප්‍රෙහෙළිකා ඕනේ නෑ ගීතවලට. මහප්‍රාණ ගීත මිනිස්සු අහන්නේ නැහැ. මම හිතන විදිහට ගීත රසවිඳීම කියන එක “පරණ කෝට්” ඉඳන් “හෝ පළු වනපෙත” දක්වා විඳීන්න පුළුවන් වෙන්න ඕන.

 

දැන් මිනිස්සු ආදරේ ඇතුළු හැඟීම් බෙදාගන්න විදිහ වෙනස් වෙලා?

ආදරය ඇතුළු හැඟීම් විතරක් නෙමේ දැන් හැමදේම වෙනස් වෙලා. ඒකට ප්‍රබල හේතුව ජනමාධ්‍ය. අඬන දොඩන සින්දු සින්දු ඇහෙද්දි කොල්ලො ඉතින් අඬනවා ඒක සාමාන්‍ය දෙයක්. ඒ අය අඬලා වැළපිලා ලව් කරන්න පුරුදු වෙනවා. ඒ වගේම පිරිමි පෞරුෂය හීන කරපු විදේශීය නාට්‍ය ගෙන්වලා හඬ කවලා පෙන්නුවාම ඒක වෙනවා. ඒ හැම නාට්‍යයකම ගැහැනිය තමයි ප්‍රබල. ගැහැනිය ප්‍රබල වෙනවා කියන එක නරක දෙයක් නෙමෙයි. ඒත් පිරිමි පෞරුෂය හීන කරන එක වැරදියි. ශ්‍රියන්ත මෙන්ඩිස්ලා, කමල් අද්දරාරච්චිලා, ලකී ඩයස්ලා බලපු අපිට දැන් බලන්න ඉන්නේ තොල් රතු වෙච්ච සුදුම සුදු කොණ්ඩේ උඩට කරල හදපු කොල්ලො. දැන් අපේ ළමයින්ට පරමාදර්ශ වෙලා තියෙන්නෙ ඒ පොඩි කොල්ලො. උන් හරි ලද බොළඳයි, සුකුමලයි, පිරිමි ගති හරිම අඩුයි.

 

දැන් ගම විකුණලා ඉවරද?

අපේ මිනිස්සු මාකටින්ග්වලට හරි බයයි. අපි සේරිවාණිජ ජාතකයෙන් තමයි මාකටින්ග් ඉගෙන ගත්තේ. ඒකෙ ඉන්නව නරක වෙළෙන්දෙක් සහ හොඳ වෙළෙන්දෙක්. එහෙම එකක් නෑ. වෙළඳාම කියන්නේ වෙළෙඳාම. මාකට් කරනවා කියන්නේ ප්‍රවර්ධනය කරනවා කියන එක. මම ඉතින් ගමත් එහෙම ප්‍රවර්ධනය කළා. මම ගම නගරයට ගෙනල්ලා ප්‍රවර්ධනය කළා. මම හදපු ගම ගැන සංකල්පය දැන් ලොකු හෝටල්, රෙස්ටුරන්ට් බවට පත්වෙලා. ඒ සංකල්ප හදද්දි මට ගම ලොකු බලපෑමක් කළා. ගමෙන් එහාට මට විකුණන්න දෙයක් තිබුණෙ නෑ. මම ගමට මාකට් එකක් හදලා දුන්නා.

 

දුකා දැන් ටෙලිවිෂන් නාළිකා එක්ක හරි හරියට වැඩ?

ඔව්. මම නාළිකා දෙකක් එක්ක වැඩසටහන් දෙකක් කරනවා. “රෑ පැදුර” කියලා වැඩසටහනක් සියත නාළිකාවත් එක කරනවා. පැදුරක ඇහෙන පැරණි ගීත නව පරපුරේ සහ පැරණි පරපුරේ ගායක ගායිකාවන් ඇවිල්ලා තබ්ලාව සර්පිනාව එක්ක ගායනා කරනවා. ඒ වගේම ස්වර්ණවාහිනී නාළිකාවේ රේඩියෝ ටීවී කියලා වැඩසටහනක් සතිඅන්තයේ කරනවා. රේඩියෝ මැදිරියක දෙන්නෙක් කතා කරන ආකාරයෙන් කතා කරන විදිහ ටෙලිවිෂනයෙන් අපි පෙන්නනවා. ගුවන්විදුලි නාළිකාවල වෙච්ච රසවත් සිදුවීම් සහ වැරදුණු තැන් හරි රසබරයි. මේක ස්ටෑන්ඩ්අප් කොමඩියක් නෙමෙයි, සිට්ඩවුන් කොමඩියක්. (සිනාසෙමින්) ඉතාම හොඳ ප්‍රතිචාර ගොඩක් මේ වැඩසටහන් දෙකටම ලැබෙනවා.

 

ජුලියට්ගේ භූමිකාවේ වගේ නැවත රඟපාන්න අදහසක් නැද්ද?

මම චිත්‍රපටිවල රඟපාන්න ආසයි. ටෙලි නාට්‍යවල රඟපාන්න නම් කැමැත්තක් නැහැ ඒත් මට හොඳ චරිතයක් චිත්‍රපටියක ලැබුණොත් රඟපාන්න කැමතියි.

 

“බාල සමාගම”ට මොකද වුණේ?

බාල සමාගම වේදිකා නාට්‍යය අපි දර්ශන වාර හැත්තෑවකට අධික සංඛ්‍යාවක් පෙන්නුවා. කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක අඩපණ වෙලා තියෙනවා. නැවත නාට්ටි පෙන්නන්න පුළුවන් වුණු කාලයක අපි ආයිමත් වේදිකාගත වෙනවා. මට තවත් වේදිකා නාට්‍යයකට රඟපාන්න ආරාධනා කළා. වැඩත් එක්ක කාලය කළමනාකරණය කරගන්න අමාරු නිසා ඒක ප්‍රතික්ෂේප කළා.

 

රංගනය කියන්නේ දුකාට මඟහැරුණු පැත්තක් කිව්වොත්?

මම මාධ්‍යවේදියෙක් වීම සඳහා මගේ රංගනය කැප කළා. ඒ වගේම තමයි මට ටෙලිනාට්‍යවල එහෙම රඟපාන්න එක එපා වුණා. ඉන්ගම්මාරුව වගේ ටෙලිනාට්‍ය කිහිපයක මම රඟපෑවා. ඒ සංස්කෘතියට තිබුණු අකමැත්ත නිසා මම ඉවත් වුණා. ඔබ කියපු එක හරියටම හරි මට රංගන මඟහැරුණා.

 

චිත්‍රපටයක් හදන්න අදහසක් නැද්ද?

පිටපත් දෙකක් ලියාගෙන මම සෑහෙන්න කල් බලාගෙන ඉන්නවා. එක පිටපතක් මම ඔළුවන් අතඇරියා. ඒකට ලොකු පිරිවැයක් යනවා. ඒ තරම් වියදම් කරලා චිත්‍රපටි පෙන්නුවාට සල්ලි හොයන්න බැහැ. ඒ නිසා ඒක මම නවකතාවක් බවට පරිවර්තනය කරමින් ඉන්නවා. අනිත් පිටපත කොහොමහරි සිනමා නිර්මාණයක් බවට පත් කරන්න ඕනේ. චිත්‍රපටයක් කරන්න තියෙන ආසාව දැන් අවුරුදු විස්සක් තිස්සේ මට කිති කව කව ඉන්නවා. පිටපත් ලිව්වා, වෙනස් කළා, දර්ශන තල පවා බලන්න ගියා. අපේ රටේ එක එක කාලෙට එක එක ව්‍යසන වෙනවානේ. කොයිම වෙලවක හරි චිත්‍රපටියක් කරනවා කියලා ඉන්නේ.

 

දුකා කියන්නේ අනාගතය දකිමින් ඉන්න කෙනෙක්ද?

මම මගේ වැඩ සැලසුම් කරන්න තව අවුරුදු ගාණකින් ඉස්සරහට. ඉස්සරහට මෙහෙම වෙයි කියලා හිතලා වැඩ සැලසුම් කරනවා. 1999දී 2000දී මම කෘෂිකාර්මයට බර වුණෙත් ලෝකයේ ඉස්සරහට ආහාර නිෂ්පාදනය ගැටලුවක් වෙන බව මට දැනුණා. දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙත් ආහාර නිෂ්පාදනයනේ. ඒකට මම හොයලා දීපු විසඳුම් දැන් ක්‍රියාත්මක වෙමින් පවතින බව පේනවා.

 

අනාගතය කොහොම වෙනස් වෙයිද?

කලාව පැත්තෙන් නම් අනාගතයේදී පොඩි ඔන්ලයින් වැඩ ටිකක් වෙයි කියලා මට හිතෙනවා. දැන් විභාගත් ඔන්ලයින්, ක්ලාස් ඔන්ලයින්. ඒ වගේම ප්‍රාසංගික කලාව පැත්තත් ඔන්ලයින් කරගන්න පුළුවන් නම් හොඳයි කියන පර්යේෂණයක මම ඉන්නවා. නගරයට සීමා වුණු ඔන්ලයින් ගමට පුරුදු කරන ව්‍යාපෘතියක මේ වෙද්දි මම ඉන්නවා. ඒක තමයි මගේ ඊළඟ වැඩේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here