ලෝක ප්‍රකට ටාලින් උලෙළේ චිත්‍රපට තේරූ

0
51
අපේ මිලානි
දෙසැම්බර් 3, 2020

ශ්‍රී ලංකාවේ කාන්තාවන් සම්බන්ධයෙන් මාතෘකා බහුලව කතා කරන සමයක් අපි පහු කරනවා. ඒ මාතෘකාවල පැවැත්ම සහ ඵලදායිතාව කෙසේ වුවත් අපේ කාන්තාවකගේ මාතෘකා සභාවට එන්නේ කලාතුරකින්. විශේෂයෙන්ම සිනමාව හා කලාව තුළ. පසුගිය සතියේ ආරම්භ වුණු ලෝකයේ සුප්‍රකට සිනමා උලෙළක් වන එස්තෝනියා රාජ්‍යයේ ටාලින් අගනුවර කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක ටාලින් බ්ලැක් නයිට්ස් සිනමා උලෙළේ ප්‍රබල කාර්ය භාරයක් අපේ කාන්තාවකට හිමි වුණා. ඒ එම උළෙලේ ‘ප්‍රෝග්‍රැමර්’ භූමිකාවක් හෙවත් ද්විතියික ජූරි සභික භූමිකාවක්. ඇය නමින් මිලානි පෙරේරා. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඉංග්‍රීසි විෂය සම්බන්ධයෙන් කථිකාචාර්යවරියක් වන ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක්. බොහෝ කලක් ඉගැන්වීමේ නිරත වූ ඇය එස්තෝනියාව බලා යන්නේ සිය දෙවෙනි පශ්චාත් උපාධිය වෙනුවෙන් සූදානම් වීමටයි. මේ වන විට ඇය සැමියා සහ දරුවා සමඟ ටාලින් අගනුවර වෙසෙමින් අධ්‍යයන කටයුතු කරන අතරතුරයි මේ ගෞරවනීය අවස්ථාවට සහභාගී වන්නේ. මේ කාර්ය භාරයන් අතරයි මිලානි මා සමඟ ස්වල්ප සාකච්ඡාවකට එකතු වෙන්නේ.

මිලානි, යුරෝපයේ කෝවිඩ් වසංගත තත්වය එක්ක එස්තෝනියාවේ ජීවිතය ගෙවාගන්නේ කොහොමද?

යුරෝපයේ බොහෝ රටවල්වල තවමත් වසංගතය දරුණු තත්වයක තියෙන්නේ. එස්තෝනියාව කියන්නේ ඒ තරම් ජනගහනයක් ඉන්න රටක් නෙවෙයි. මෙහේ වසංගතය පැතිරීම අඩුයි. නමුත් සියලු දෙනාම පාහේ නිසි සෞඛ්‍යාරක්ෂණ පිළිවෙත් ඉතා හොඳීන් පිළිපදිනවා. මේ තත්වයන් මත වුණත් අධ්‍යාපන කටයුතු අඩාල වුනේ නැහැ.

 

ඔබ සූදානම් වෙන්නේ පශ්චාත් උපාධියකට. එය සිනමාවට ලොකු සම්බන්ධකමක් ඇති ?

ඔව් මේ මගේ දෙවෙනි පශ්චාත් උපාධිය. මම අධ්‍යයනය කරන විෂය පථය සාහිත්‍ය , දෘශ්‍ය කලා සංස්කෘතිය හා සිනමා අධ්‍යයනය ඔස්සේ දිවෙන එකක්. ඒ ටාලින් විශ්වවිද්‍යාලයේ. මට ටාලින් බ්ලැක් නයිට්ස් සිනමා උලෙළට ප්‍රවේශය හැදෙන්නේත් මේ අධ්‍යයනය කටයුත්තේ කොටසක් හැටියට.

 

ටාලින් කියන්නේ ලෝක ප්‍රකට සිනමා උලෙළක්. මම හිතන්නේ ඔබට ලැබුණේ මිල කල නොහැකි අවස්ථාවක්.

ඔව්. ඇත්තෙන්ම. ටාලින් උලෙළ ලෝකයේ ඒ ශ්‍රේණිය ලත් සිනමා උලෙළක්. මේ වර්ගීකරණය කරන්නේ නිෂ්පාදකයන්ගේ සංගම්වල ජාත්‍යන්තර සම්මේලනය. ඒ වගේම ටාලින් උලෙළ යුරෝපයේ තිබෙන ලොකුම සිනමා උලෙළවල් වලින් එකක්. අනෙක් කාරණය තමයි මේ උළෙලට විශාල ඉතිහාසයකුත් නැහැ. මොකද අනෙක් ඒ ශ්‍රේණිය ලත් කාන්ස්, බර්ලින් වගේ උලෙළවල් තියෙන්නේ ලොකු ඉතිහාසයක්. මේ උලෙළට එස්තෝනියා රජය දෙන සහයෝගය අති විශාලයි. ටාලින් විශ්වවිද්‍යාලය වගේම බෝල්ටික් චිත්‍රපට හා මාධ්‍ය ආයතනය , එස්තෝනියානු කලා ඇකඩමිය මේ උලෙළේ සම හවුල් කරුවන්.

 

ඔබට මේ අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

මම නියෝජනය කරන්නේ ටාලින් විශ්වවිද්‍යාලය. පළමු අදියරේදී හොඳම චිත්‍රපට තේරීම සඳහා මාස ගණනක් පුරා ලොකු මහන්සියක් දරන්න ඕනේ. මේ වතාවේ රටවල් 63 කින් වෘතාන්ත චිත්‍රපට 175 කට ආසන්න සංඛ්‍යාවක් උලෙළේ තරඟකාරී අංශයට ඉදිරිපත් වී තිබුණා. අපේ විශ්වවිද්‍යාලයෙන් සිනමා අධ්‍යයන විෂය හදාරන සිසුන් 6 දෙනෙක් මා සමඟ මේ ද්වීතික ජූරිය වෙනුවෙන් තේරුණා. මීට අමතරව බෝල්ටික් සිනමා හා මාධ්‍ය ආයතනයෙන් තවත් සිසුන් පිරිසක් මේ කාර්යයට එකතු වුණා. ඉතින් අධ්‍යයන කටයුත්තක කොටසක් හැටියට මේ වගේ දෙයකට සහභාගී වීම ඇත්තෙන්ම වගකීමක්.

 

මේ ද්වීතියික ජූරියේ කාර්යභාරය මොකක්ද?

අපි කණ්ඩායම් වශයෙන් රැස් වෙනවා. අපිට තිබෙන්නේ ලොකු වගකීමක්. මේ කණ්ඩායම්වලට බෙදී යන සේ චිත්‍රපට නරඹන්න ලැබෙනවා. ඒ චිත්‍රපට නැරඹුවාට පස්සේ අපිට සිද්ද වෙනවා ඒ නිර්මාණය ගැන විචාරයකට එන්න. ඒ ගැන අපි කණ්ඩායම් හැටියට සාකච්ඡා කරනවා. ඊට පස්සේ ලකුණු දෙනවා. මේ හැම දෙයකටම පත් කරලා ඉන්නවා නිශ්චිත පරීක්ෂකවරු. ඒ නිසා චිත්‍රපට තේරීම කියන්නේ ලොකු ක්‍රියාවලියක්. ඒ අනුව බලනකොට අපි චිත්‍රපට 100 ත් 150 ත් අතර ප්‍රමාණයක් නරඹලා තියෙනවා පහුගිය කාලය පුරා.

 

පසුගිය සතිය කියන්නේ උලෙළේ උත්සවශී‍්‍රය රැඳෙන කාලය. කොහොමද උලෙළ ක්‍රියාත්මක වුනේ?

ඇත්තෙන්ම මෙවර උලෙළ විශේෂයි කියන්න පුළුවන්. මොකද වසංගත තත්වයක් ඇතුළේ ක්‍රියාත්මක වෙන නිසා. යුරෝපයේ වැඩිම ආකර්ෂණය ලබන කාන්ස් , බර්ලින් වගේ උලෙළවල් මේ වසරේ භෞතිකව ප්‍රදර්ශනය වෙන්නේ නැහැ. ඒවාට වටිනාකම ලැබුණේම දැවැන්ත එලිමහන් උත්සව නිසා. ඒ වගේම ඒවා ඒකාබද්දව අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වුණා. අලුත් චිත්‍රපට පවා එළිදැක්වීමක් මෙවර සිදු වුණේ නැහැ. ඒත් ටාලින් උළෙල මීට හාත්පසින් වෙනස්. ඒ උලෙළවල් වගේ සිනමා ශාලාවෙන් තොරව උලෙළ ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වගේම ලෝක මංගල දැක්ම කිහිපයක්ම සංවිධානය වීත් තිබුණා. මහජනතාව සිනමාහලට ආවා වගේම අන්තර්ජාලය ඔස්සේත් ඒවාට එකතු වෙන්න පහසුකම් හදලා තිබුණා. ඉතින් එහෙම බලද්දී ටාලින් උලෙළ තිබුණේ බොහොම ජයග්‍රාහි තැනක.

 

කුඩා දරුවෙක්ගේ මවක් වන ඔබට මේ වගේ වගකීමක් දරද්දී කාලය කියන දේ කළමනාකරණය කරගන්න සෑහෙන්න අභියෝගයක් වෙන්න ඇති?

මේ කාර්යයන් මම තනියෙන් කළමනාකරණය කරන්නේ නැහැ. ඒකට සැමියා දෙන සහයෝගය අති විශාලයි. මේ කර්තව්‍යය කරද්දී මට රැයක් දහවලක් තිබුනේ නැහැ. විශාල කැපවීමක් අවශ්‍ය වුණා ඒ වගකීම ඉෂ්ට කරද්දී.

ඒ අනුව 24 වැනි වතාවටත් ටාලින් බ්ලැක් නයිට්ස් සිනමා උලෙළ නිමාවට පත් වුණේ ජයග්‍රාහකයාට යුරෝ දස දහසක ත්‍යාගයක් හිමි කර දෙමිනි. මෙවර උලෙළට තේමාව වී තිබුණේ ජර්මානු සිනමාවයි. අශෝක හඳගමයන්ගේ ඇගේ ඇස අග චිත්‍රපටයද එම වකවානුවේ මෙම උළෙල නියෝජනය කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here