එල්පීඑල් අස්සේ ජාතික ක්‍රීඩකයන් හම්බන්තොටදී බරටම වැඩ

0
36

මේ මස 18 වැනිදා දකුණු අප්‍රිකාව බලා යෑමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 22කින් 19ක් මේ දිනවල පැවැත්වෙන එල්පීඑල් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින හෙයින් ඔවුන් සියලු දෙනාට ඉඩ ලැබෙන පරිදි ශාරීරික යෝග්‍යතා පුහුණුව අඛණ්ඩව සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ අභ්‍යාසක ඩිල්ෂාන් වත්තේගම මහතා කටයුතු කරමින් සිටියි.

නායක දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න හා සන්තුෂ් ගුණතිලක හැර අනෙක් සියලු ක්‍රීඩකයන් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී හා ඔවුන් නැවතී සිටින ෂැංග්‍රිලා හෝටලයේ කායවර්ධන මධ්‍යස්ථානයේදී මේ ශාරීරික යෝග්‍යතා පුහුණුවීම් අඛණ්ඩව සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ අභ්‍යාසක ඩිල්ෂාන් වත්තේගම මහතා ‘දිනමිණ’ කළ විමසීමකදී පැවසීය.

“එල්පීඑල් ආරම්භයට කලින් ජාතික කණ්ඩායම පල්ලේකැලේදී පුහුණුවීම් සිදු කළා. ඒත් එල්පීඑල් ආරම්භ කළ පසුව මේ පුහුණුවීම් දිගටම කරගෙන යෑමේ අභියෝගයක් ආවා. කණ්ඩායම් කිහිපයකට බෙදී ක්‍රීඩා කරන නිසා යම් කාලසටහනක් අනුව ජාතික කණ්ඩායමේ පුහුණුවීම් සඳහා වෙනම ක්‍රමවේදයක් යොදා ගත්තා. ජාතික කණ්ඩායමේ සිටින සෑම ක්‍රීඩකයකුම වෙන වෙනම නිරීක්ෂණය කර මේ පුහුණුවීම් කරනවා. ඒ නිසා දකුණු අප්‍රිකා සංචාරයට ඉතා සාර්ථකව මුහුණ දීමේ කායික හා මානසික ශක්තියක් ක්‍රීඩකයන් තුළ ගොඩනැඟී තිබෙනවා” යැයි වත්තේගම මහතා පැවසීය.

එල්පීඑල් ක්‍රිකට් තරගාවලිය මේ මස 16 වැනිදා අවසන් වන හෙයින් තවත් දිනකින් පසුව දකුණු අප්‍රිකාව බලා යෑමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදු වේ. ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර, තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය නිමා වී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් මෙරටට පැමිණි පසු එංගලන්ත සංචාරය ආරම්භ කළ යුතු වේ.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර, පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් මස 26 වැනිදා පැවැත්වෙන අතර, දෙවැනි ටෙස්ට් තරගය ලබන ජනවාරි 3 වැනිදා ආරම්භ වී 7 වැනිදා නිමාවට පත් වේ. එංගලන්ත පිල සමඟ පළමු ටෙස්ට් තරගය ජනවාරි 14 වැනිදා ආරම්භ කිරීමට කටයුතු යෝදා ඇති අතර, දෙවැනි ටෙස්ට් තරගය 23 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වේ. ආරක්ෂිත පියවරක් ලෙස එම තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 

 ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here