එල්.පී.එල්. කියන්නේ සේලයින් බෝතලයක්

0
38
5 දෙසැම්බර්, 2020

රොෂාන් අබේසිංහ

ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක

‘විස්සයි විස්ස ප්‍රිමියර් ලීග් තරග කියන්නේ සේලයින් බෝතලයක්. නිකං සේලයින් බෝතලයක් නොවෙයි, මිය යමින් ඉන්න ගිලන් රෝගියෙක් යළි ප්‍රකෘති කරන්න හැකි ශක්තිය ගබඩා වුණු ඖෂධ අන්තර්ගත ප්‍රතිකාරයක්. අද වනවිට ලෝකයේ සියලුම ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් මෙම සේලයින් එක තමුන්ගේ ක්‍රිකට් නැගිටවන්න යොදාගන්නවා.’ මෙහෙම කියන්නේ ඔබ අප කවුරුත් හඳුනන ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහයි. ක්‍රිකට් විස්තර විචාරයකු වශයෙන් විශිෂ්ට විභවතාවක් සහිත විස්තර කථකයකු වන ඔහු එල්.පී.එල්. (ලංකා ප්‍රිමියර් ලීග්) ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් ‘ක්‍රීඩා’ ඔහු සමඟ පැවැත්වූ කෙටි සංවාදයක්.

ඔබ එල්.පී.එල් (ලංකා ප්‍රිමියර් ලීග්) විස්තර විචාරකයෙක් වශයෙන් කටයුතු කරනවා කොහොමද රට ඇතුළේ ලබන ඒ අලුත් අත්දැකීම?

අපූරුයි. කෝවිඩ් වසංගතයෙන් ලෝකයම පීඩා විඳිද්දී අපිට ආරක්ෂිතව තරගාවලියක් පවත්වන්න හැකිවෙලා තිබීම ගැන විචාරකයෙක් වශයෙන් මට තියෙන්නේ සතුටක්.

මුලදී විචාරක අට්ටාලයේ ප්‍රශ්න ගොඩක් තිබුණා නේද? අද ඉන්න කෙනා හෙට නෑ වගේ?

මූලිකව ප්‍රශ්න ඇතිවෙනවා. නමුත් ප්‍රායෝගිකව ඒවා විසඳෙනවා. නමුත් ඒ කිසිවක් තරගාවලියට බාධාවක් නොවෙයි.

ඔබ විචාරකයෙක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් වැඩිම ජාත්‍යන්තර තරග ප්‍රමාණයක් නියෝජනය කළ ශ්‍රී ලාංකිකයා. මේ වගේ තත්ත්ව වලට මීට පෙර මුහුණදීලා තිබෙනවාද?

ඔබ කියන ආකාරයට මම ජාත්‍යන්තර තරග පන්සියකට වැඩිය විස්තර කථනය කරලා තිබෙනවා. මට එවැනි අත්දැකීම් නම් තිබුණේ නෑ. නමුත් දැනුත් ඉතින් ගැටලුවක් නෑ. තරගාවලිය පැවැත්වෙනවානෙ.

විචාරකයකු වශයෙන් අපි එල්.පී.එල්. වැනි ලීග් තරගාවලිය ගැන හිතන්නේ මොකක්ද?

සත්තකින්ම එල්.පී.එල්. පමණක් නොවෙයි විස්සයි විස්ස ලීග් තරග කියන්නේ සේලයින් බෝතලයක්. එය ශ්‍රී ලංකාව පැත්තෙන් ගනිද්දී ඉතාම වැදගත් උත්සහයක්. මොකද එය අපේ යොවුන් ක්‍රීඩකයන්ට අත්දැකීම් ලබාදෙන තෝතැන්නක් වෙලා තිබෙන නිසා.

හැබැයි ක්‍රීඩාංගණයට පැමිණ තරග නරඹන්න තහංචි දමා තිබෙනවා. ඔබලා හිස් ප්‍රේක්ෂකාගාරයක් දෙස බලාගෙන තමයි විස්තර කථනයේ යෙදෙන්නේ?

කෝවිඩ් වසංගතය තමයි ඊට හේතුව. සෞඛ්‍ය නීති රීතිවලට අනුව අපට සීමාවන් සහිතව මේ කටයුත්තේ නියැලෙන්න සිද්ධ වෙලා තිබෙනවා. සජීවී ප්‍රේක්ෂකයා ඉන්නවා නම් එය අපටත් මහත් උද්යෝගයක් ඇතිකරනවා. නමුත් අපි කතාකරන්නේ රූපවාහිනී හෝ ගුවන්විදුලි ප්‍රේක්ෂකයාටයි.

සජීවී ප්‍රේක්ෂකයන් නැතිවීම තරගාවලියේ පැවැත්මට බාධාවක් නොවෙයිද?

දැන් ක්‍රීඩාවට රූපවාහිනිය තියෙනවා නම් පවතින්න පුලුවන් කියලා ඔප්පු වෙලා තිබෙනවා. ප්‍රේක්ෂකයා පිටියේ නැති වුණත් රූපවාහිනී සජීවී විකාශයෙන් විශාල ප්‍රේක්ෂක පිරිසක් අතරට යා හැකියි. ඒ වෙනුවෙන් විශාල මුදලක් ගෙවා විකාශන අයිතිය ලබාගන්න සැදී පැහැදී ඉන්න රූපවාහිනී සමාගම් විශාලයි.

එල්.පී.එල්. තරගාවලිය දකුණු ආසියාවේ අවසානයට ආරම්භ කරන විස්සයි විස්ස ප්‍රිමියර් ලීගය. මේ තත්ත්වය ක්‍රිකට් විචාරකයකු වශයෙන් ඔබ අවාසියක් දකින්නේ නැද්ද?

නැහැ. අපි කොහොම හරි මේ වගේ තරගාවලියක් ආරම්භ කළ යුතුයි. ආරම්භ කළාට පස්සේ තමයි අපේක්ෂිත අරමුණු කරා යන්න හැකිවෙන්නේ. පටන් නොගෙන ඉන්නවාට වඩා කොහෙන් හරි ආරම්භ කළ යුතුයි. ඇරඹුම අසීරු වුණත් තරගාවලි කීපයට පසුව එහි ප්‍රතිලාභ උපයා ගන්න හැකිවෙනවා.

දැන් එල්.පී.එල්. තරගාවලියේ සංවිධායක හිමිකම සම්පූර්ණයෙන්ම අයි.පී,ජී. කියන සමාගමට අලෙවි කරලා තිබෙන්නෙ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන්නේ ස්ථිර මුදලක් පමණයි. මේ තත්ත්වය තුළ යම් අවාසියක් පවතින බවට ඇතැමුන් තර්ක කරනවා?

මෙහෙමයි. සාමාන්‍යයෙන් ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය වගේ රටවල් ඔවුන්ගේ ක්‍රිකට් ආයතනයෙන්ම නිර්මාණය කරගත් සමාගමක් මගින් තරගාවලිය පවත්වනවා. ඔවුන් තමයි සියලු අලෙවි කටයුතු කරන්නේ. එමගින් ඔවුන් විශාල මුදලක් උපයනවා. නමුත් අපි තරගාවලිය පැවැත්වීමේ බලය සමාගමකට අලෙවි කරලා ඉන් ස්ථිරව යම් ප්‍රතිශතයක් ලබාගන්නවා. දැන් අනුග්‍රාහකයන් සොයන්නේ, රූපවාහිනී හිමිකම් ඇතුළු අනෙකුත් බොහෝ දේ සිදුකරන්නේ අදාළ සමාගම විසිනුයි. මෙම තරගාවලිය අපටම සංවිධානය කරන තැනට එන්න තවත් වසර හතරක් පහක් වත් යාවි. ඒත් දැන් සිදුකර ඇති මෙම ක්‍රමවේදය සාර්ථක ආරම්භයක්.

අපි ඔබේ පෞද්ගලිකත්වය පැත්තට නැඹුරුවෙලා ප්‍රශ්නයක් අහන්නේ ක්‍රීඩාලෝලීන් වෙනුවෙනුයි. ඔබ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයකු නොවෙයි. එවැනි ජාත්‍යන්තර ක්‍රීඩකයකුට ඇති පිළිගැනීමට සමාන පිළිගැනීමක් විචාරක අට්ටායේදී ඔබටත් හිමිවෙනවාද?

මම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරලා නැති බව ඇත්ත. නමුත් ශාන්ත ජෝශප් විද්‍යාලයේ දෙවැනි පෙළ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා. තවත් වසර විස්සක් තිස්සේ මම ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදිලා තිබෙනවා. ඒත් විස්තර විචාරකයකු වශයෙන් කුමාර සංගක්කාරට තරම් මට ගෙවන්නේ නෑ. රසල් ආර්නල්ඩ් වැනි අයට වඩා මට ටිකක් අඩුවෙනුයි ගෙවන්නෙ. ඒත් ඒකෙ කිසිම වරදක් නෑ. මොකද එය ඔවුන් අසීරුවෙන් උපයාගෙන ඇති තත්ත්වයක්.

ඔබ කලක් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඒජන්තවරයෙක්. එ් භූමිකාවෙන් ඉවත් වුණේ ඇයි?

ක්‍රීඩකයන් කළමනාකරණය කරන එක හොඳ වැඩක්. නමුත් මගේ මාධ්‍ය භූමිකාව එක්ක එය මට සදාචාරාත්මක නැහැ කියන හැඟීමක් ගොඩනැගුණා. ඒ නිසා මම ඒ කටයුත්තෙන් සමුගත්තා.

විස්තර විචාරකයකු වශයෙන් ඔබට සැලකිය යුතු මුදලක් ගෙවනවා ඇතිනෙ?

එය ලොකු මුදලක් කියා මම කියන්නේ නෑ, අනෙක මම පූර්ණ කාලීනව විස්තර විචාරකයකු නොවෙයි. ඉතින් ඒ වෙනුවෙන් සාධාරණ මුදලක් ලැබෙනවා. අනෙක මම ලද දෙයින් සතුවෙන කෙනෙක්.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here