ගෙදර යන ගමන් කාගිල්ස් බැංකුවට එන්න

0
24
5 දෙසැම්බර්, 2020

කාගිල්ස් බැංකුවේ අලුත් නියමුවා. කැමතියි, ඔබේ පසුබිම දැන ගන්න.

මගේ වෘත්තීය ජීවිතය ආරම්භ වන්නේ, විශ්වවිද්‍යාල සහකාර කථිකාචාර්වරයකු විදියට. ඉන් පස්සෙ, මහවැලි අධිකාරියේ සංඛ්‍යාන විද්‍යාඥයෙක් (statistician), ලංකා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියකු විදියට මගේ බැංකු ජීවිතය ආරම්භ කරන්නේ ඊටත් පස්සේ. ශාඛා අංශය, ණය අංශය, අන්තර්ජාතික බැංකු කටයුතු, භාණ්ඩාගාර අංශය, ලන්ඩන් ශාඛාවේ ප්‍රධාන විධායක නිලධාරී සහ ශාඛා ජාල බාර නිලධාරී ඇතුළු සෑම අංශයකම අත්දැකීම් සහ පළපුරුද්ද, ප්‍රධාන විධායක නිලධාරී තනතුර හොබවමින් සිට සමුගන්නා තිස් වසරක් වූ මගේ බැංකු ජීවිතේ අත්දැකීම් රාශියක් තිබෙනවා.

මේ බැංකුවේ විශේෂත්වය කුමක්ද?

2014 ජුනි මාසයේ කාගිල්ස් බැංකුව ආරම්භ කළේ පාරිභෝගික සංවර්ධන බැංකු කටයුතුවලට මුල්තැනක් දෙමින් සහ එතෙක් කෘෂිකර්මාන්තයේ සහ කිරි කර්මාන්තයේ යෙදී සිටි කාගිල්ස් ගොවි මහතුන්ගේ මූල්‍ය කළමනාකරණය සහ මූල්‍ය පහසුව වෙනුවෙන්. කාගිල්ස් බැංකුවත් සමඟ ඔවුන් මූල්‍ය සාක්ෂරතාවට හොඳින් හුරු වුණා. උදාහරණයක් ලෙස, ඉස්සර ඵලදාව අලෙවිකොට ගෙදර එනකොට ගොවීන්ගේ ආදායමෙන් බාගයක් මගටම වියදම් වෙලා. නමුත් දැන් එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත ඔවුන්ගේ අස්වනු බාර දුන්නම, ඒ අයගේ මුදල් වැටෙන්නේ ගිණුමට. වියදමට අවශ්‍ය මුදල් ප්‍රමාණය විතරක් ගන්න සෑම ගොවි මහතෙක් ම දැන් පුරුදු වෙලා. එයාලටත් නොදැනී කාගිල්ස් බැංකුවේ කීය කීය හරි ඔවුන්ගේ ගිණුම්වල දැන් එකතු වෙනවා. එහෙම දියුණු වෙච්ච ගොවි පවුල් ඕනෑ තරම් කාගිල්ස් වටා සිටිනවා.

කාගිල්ස් වෙත අස්වනු සපයන කෙනකු නොවූවත් මේ ණය පහසුකම් ලබා ගන්නට පුළුවන් ද?

ඔව්. කෘෂි කර්මාන්තයේ හෝ කිරි කර්මාන්තයේ යෙදෙන ගොවි ජනතාවට විතරක් නෙවෙයි, ඕනෑම ශ්‍රී ලාංකිකයකුට දියුණු වීමේ අරමුණක් තිබෙනවා නම්; අපි එතැන සිටිනවා. කෘෂිකර්මාන්තය වගේම කර්මාන්ත, SME හෙවත් සුළු හා මධ්‍ය පරිමාණ අංශ සඳහා වන ණය, ආයතනික ණය, ආනයන අපනයන වෙළෙඳපොළ සඳහා වන ණය, පුද්ගලික ණය, නිවාස ණය, වාහන ණය ආදී වශයෙන් අංශ ගණනාවක් යටතේ ණය පහසුකම් පිරිනමනවා. ගොවි ජනතාව අපේ හදවත බඳු වන්නේ, ඔවුන් මේ රටට බත සපයන නිසා. පිහිටක් අවශ්‍ය මොහොතේ ගොවි ජනතාවට අපි ණය නුදුන්නොත්, ඒ අය ණය ගන්න පෙලැඹෙන්නේ අවිධිමත් විදියට. ගිනි පොලියට, අත මාරුවට හෝ ක්ෂූද්‍ර මූල්‍ය ක්‍රමයට. ඒ අවිධිමත් ණය ක්‍රමවලින් මිනිස්සුන්ට ඔළුව උස්සන්න බැහැ. අපි ණය ලබා දෙන්නේ ඉතාමත් අඩු පොලියකට හා විධිමත් ක්‍රමවේදයකට. පසුවිපරම් ද කරනවා.

ව්‍යාපාර ණය යටතේ, කුඩා ව්‍යවසායකයන්ට හඳුන්වා දී ඇති නව ණය ක්‍රම මොනවාද?

විවිධ වූ ව්‍යවසායකයින් උදෙසා තමාගේ ව්‍යාපාර සඳහා හඳුන්වා දෙන කුඩා පරිමාණ ව්‍යාපාර ණය යටතේ, වසර පහකින් ගෙවීමේ කාලයකට ඇතුළත්ව, අවම ලියකියවිලි සහිත, කඩිනම් ණය අනුමත කිරීමේ සේවාව ඇතුළත් සහ ඕනෑම කාගීල්ස් ෆුඩ් සිටි ශාඛාවක් හරහා ණය වාරික ගෙවීමේ හැකියාව ඇතිව, රුපියල් මිලියනයක් දක්වා ණය පහසුකම් ලබා දෙනවා. ඒ වගේම, කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා, ව්‍යාපාරික ස්ථාන ඉදිකිරීමට, අලුත්වැඩියාවට හෝ නවීකරණයට, උපකරණ යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට, අලංකරණ කටයුතු සඳහා, ආරක්ෂාව සනාථ කිරීමට අවශ්‍ය ඉදිකිරීම් සහ මිලදී ගැනීම් සඳහා ආදී ඕනෑම ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් කාගිල්ස් බැංකුව ණය ලබා දෙනවා. ඒ වගේම කාගිල්ස් බැංකුව, ශ්‍රමය හෙළන මිනිසුන් වෙනුවෙන් ම හඳුන්වා දුන්’ කාගිල්ස් ශ්‍රම ශක්ති’ පහසු ණය යෝජනා ක්‍රමයත් ඉතා සරල කොන්දේසි යටතේ ලබාදෙන එවැනි ම ණය ක්‍රමයක්.

මහ බැංකුව විසින් ක්‍රියාත්මක ‘සෞභාග්‍යා ‘ ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ කිරි ගොවීන්ටත් ණය ලබා දෙනවා නේද?

ඔව්. ‘කාගිල්ස් කිරි ගොවි ණය යෝජනා ක්‍රමය’ යටතේ ඔවුන්ටත් මෙම ‘සෞභාග්‍යා’ ණය ලබා ගන්නට පුළුවන්. කිරි ගවයන් මිලදී ගැනීමට සහ ප්‍රමිතිගත ගවගාල් ඉදි කිරීමට යන දෙඅංශයටම, තෘණ වගාවට සහ කිරි ගවයන් පාලනයට අදාළ යන්ත්‍රසූත්‍ර මිලදී ගැනීමට ආදී ඕනෑම කරුණක් සඳහා, වසරකට 6%ක අඩුම පොලියට, මාස 60ක ගෙවීමේ කාලයකට යටත්ව, රුපියල් මිලියන 25ක් දක්වා, අවම ලියකියවිලි යටතේ මේ ණය ලබාගත හැකියි. දේශීය කිරි කර්මාන්තය නංවන්නට සහ දියර කිරි පානයට රජය ජනතාව උනන්දු කරවන මේ මොහොතේ, ගෘහස්ථ ව්‍යවසායකයන් ලෙස නැගී සිටින්නට උනන්දුවක් ඇති සෑම කෙනකුටම, අපි හැකි උපරිම සහාය ලබා දෙනවා. ඒ වගේම, මෙවර අයවැයෙන් රජය කෘෂිකර්මාන්තයට සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවන්න යෝජනා රැසක් ඉදිරිපත්කොට තිබෙනවා.

පවතින ආර්ථික පසුබැසීමත් සමඟ ගොවීන් දිරිමත් කරන්නට ඔබ ගෙන ඇති සැලසුම් මොනවා ද?

මේ පසුබැසීම් සදාකාලික ඒවා නෙවෙයි. මේ අභියෝගයන්ට මුහුණ දීමට තරම් අපි ශක්තිමත්. අමාරු කාල පරිච්ඡේද කළමනාකරණය කිරීම සහ නව සාමාන්‍ය තත්ත්වය තුළ නව ආරම්භයයි වැදගත්ම දේ. ඒ අනුව, අපගේ ඈත පළාත්වල බැංකු කළමනාකරුවන් වෙත අවශ්‍ය පුහුණුව ලබා දී, ගොවි බිම් වෙත ගොස් ගොවි ජනතාව මුණගැසී, ණය ලබාදීම, වියදම් කිරීම සහ සිය ගොවිපළ සංවර්ධනය කිරීම පිළිබඳ ඔවුන්ට දැනුමක් ලබා දෙන වැඩපිළිවෙළක් සකස් කරනවා. ඊට අමතරව, mobile banking හරහා දුෂ්කර පළාත්වලට ජංගම බැංකු සංකල්පය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. විශේෂයෙන් කාගිල්ස් එළවළු මිල දී ගැනීමේ මධ්‍යස්ථාන වෙත විශාල ලෙස ඒකරාශී වන ගොවි මහතුන්ගේ බැංකු කටයුතු පහසු කිරීම සඳහා, ජංගම බැංකු රථයෙන් මුදල් ආපසු ගැනීම, තැන්පත් කිරීම, ණය ඉල්ලුම් කිරීම, ණය ලබාගැනීම සහ අලුත් ගිණුම් ඇරැඹීම වැනි අත්‍යවශ්‍ය බැංකු කටයුතු සලසා ගන්නට හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් බැංකු ක්‍රමයෙන් ඈත් වූ ගොවි ජනතාව බැංකුව වෙත ආකර්ෂණය කර ගැනීමට, මේ නව සාමාන්‍ය තත්ත්වය තුළ අපි විශේෂ අවධානයක් යොමු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here