බ්‍රැන්ඩික්ස් පොකුර ගැන සමාගමේ අධ්‍යක්ෂ කියන කතාව

0
27
5 දෙසැම්බර්, 2020

කොවිඩ් 19 නව කොරෝනා ව්‍යාප්තියේ දෙවන රැල්ල ආරම්භ වන්නේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගලුම් කර්මාන්ත ශාලාව කේන්ද්‍ර කර ගනිමින්. ඒ නිසාම දෙවන රැල්ලේ විශාලතම කොවිඩ් පොකුර බ්‍රැන්ඩික්ස් පොකුර ලෙසද හැඳින්වෙනවා….

මෙහිදී එක් දෙයක් ඉතා පැහැදිලිව සඳහන් කළ යුතුයි. එනම් බ්‍රැන්ඩික්ස් ආයතනය කොවිඩ් නිර්මාණය කළේ නැහැ.එසේම කිසිම අවස්ථාවක අප සිතා මතා කොවිඩ් ව්‍යාප්තිය සඳහා දායක වී ද නැහැ. ඒ බව සමාජය තේරුම්ගත යුතුයි. නමුත් අවාසනාවකට මිනුවන්ගොඩ අප කර්මාන්ත ශාලාවේ අප සේවක සේවිකාවන් පිරිසකට මෙම කොවිඩ් වයිරසය ආසාදනය වීමත් සමඟ එම කර්මාන්ත ශාලාව තුළ විශාල පිරිසක් එකට සිටි නිසා එකී වයිරසය වේගයෙන් පැතිරී යාම සිදු වුණා.

 

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් වෙත කොරෝනා පැමිණුනේ කොහොමද?

මේ සිද්ධිය සිදුවූ වකවානුවේ කිසිදු ඉන්දියානුවකු හෝ ඉන්දියාවේ සිට නැවත මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයකු හෝ මිනුවන්ගොඩ කම්හලට කිසිසේත්ම ඇතුළු වී නැහැ. එය ඉතා පැහැදිලියි. එමෙන්ම විසාකාපට්නම් සිට පැමිණි ශ්‍රී ලාංකික සේවකයන් කිසිවකු හෝ මිනුවන්ගොඩ හෝ අපගේ අනෙකුත් කිසිදු කර්මාන්ත ශාලාවක එම කාල වකවානුව තුළ නැවත සේවයට වාර්තා කර ද නැහැ. තව ද ඉන්දියාවේ සිට ගෙන්වන ලද රෙදි හෝ අන් කිසිදු අමුද්‍රව්‍යයක් ද මිනුවන්ගොඩ කර්මාන්තශාලාවට ගෙන්වා නැති බවත් ඉතාම වගකීමකින් යුතුව සඳහන් කළ යුතුයි.

ඒ වගේම ඉන්දියාවේ සිට යළි මෙරටට පැමිණි බ්‍රැන්ඩික්ස් සේවකයන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනය නොවූ බවට ද ඇතැම් මාධ්‍ය වාර්තා වල සඳහන් වුණා. එයත් මුසාවක්. ඒ පිළිබඳව නිසි ක්‍රමවේද යටතේ නිරෝධායනය වූ බ්‍රැන්ඩික්ස් සේවකයන් තම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විමසා තිබුණා. එහිදී ඔවුන්ට දැනගැනීමට ලැබී ඇත්තේ ඔවුන් ඉන්දියාවේ සිට පැමිණි බ්‍රැන්ඩික්ස් සේවකයන් බවට එකී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුම්වත්ව නොසිටි බවයි. එය ඇත්ත වශයෙන්ම සන්නිවේදනයේදී සිදුවූ අත්වැරදීමක්.

 

ඔබ සතු වාර්තා හා දත්ත වලට අනුව කොයිතරම් බ්‍රැන්ඩික්ස් සේවක පිරිසකට හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් පිරිසකට මේ වයිරසය ආසාදනය වී තිබෙනවාද? ආසාදනයට ලක්වූ සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුල් වල අය වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් ආයතනය සිය යුතුකම් හා වගකීම් නිසි ලෙස ඉටු කළාද?

අප සාමාජිකයන් 1100 දෙනකුට මෙම වයිරසය ආසාදනය වුණා. ඔවුන්ගේ පවුල් වල 300 පමණ පිරිසකටත් වයිරසය ආසාදනය වුණා. ඒ වගේම 4000 ක් පමණ පිර­ිසක් නිරෝධායනයට ලක් කළා. දැන් මේ සියලුම දෙනා සුව වෙලා නිවෙස් වලට ගිහින් ඒ අයගේ ස්වයං නිරෝධායන ද අවසන් කර තිබෙනවා.

මීට අමතරව සේවකයන්ගේ ජංගම දුරකතන වෙත රීලෝඩ් ලබා දෙමින් ඔවුන්ගේ දුරකතන සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යෑම ගැන පවා සමාගම සැලකිලිමත් වී තිබුණු බව කිව යුතුයි. එමෙන්ම ස්ථාන කිහිපයකට ම පෞද්ගලික ආරක්ෂණ උපකරණ (PPE) කට්ටල ද ලබා දුන්නා. වයිරසයේ බලපෑම මැද වුවත් පහ වසර ශිෂ්‍යත්ව විභාගයට හා අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි සේවකයන්ගේ දරුවන්ට අවශ්‍ය සහාය ලබාදීමට ද බ්‍රැන්ඩික්ස් කටයුතු කළා. එපමණක් නොව සේවකයන්ට අවශ්‍ය ඕනෑම වේලාවක මනෝ උපදේශන සේවා ලබාගත හැකි අයුරින් මනෝ උපදේශක කණ්ඩායමක් පත්කිරීමට ද බ්‍රැන්ඩික්ස් ආයතනය පියවර ගත්තා.

මිනුවන්ගොඩ මේ ප්‍රශ්නය මතු වීමටත් පෙර ඉන්දියාවට කොවිඩ්-19 වසංගතය බලපෑමත් සමඟ අපි අපේ වැඩි අවදානමක් සහිත සේවකයන්ට, විශේෂයෙන් ම වයස අවුරුදු 65ට වඩා වැඩි සේවකයන් සහ විවිධ රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳිමින් සිටි පිරිස්වලට නිවසේ ම රැඳී සිටීමට උපදෙස් ලබා දී තිබුණු බවත් කිව යුතුයි. ඒ වගේම ඔවුන්ට වැටුප් සහිත නිවාඩු අනුමත කර දුන්නා. මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාව ආශ්‍රිතව වයිරසය ව්‍යාප්ත වීම වේගවත් වෙත්දී වයිරසය ආසාදනය වූ සේවක සේවිකාවන් රෝග ලක්ෂණ නොපෙන්වුවත් ඔවුන්ව අපි වෙන්කරවා ගත් හෝටලයට යවා තනි කාමරය බැගින් ලබා දුන්නා. එහිදී එකී සේවක සේවිකාවන්ට එම හෝටලය තුළ නැවතී සිටි ඇපලෝ රෝහලේ කාර්ය මණ්ඩලය මගින් ප්‍රතිකාර සහ සාත්තු සේවා අඛණ්ඩව ලබා දීමත් විශේෂම කරුණක්. අපට අවශ්‍ය වුණේ කිසිවෙක් හෝ කොරෝනා නිසා මරණයට පත්වීම වළක්වා ගැනීමටයි.

 

ඉදිරියේදී බ්‍රැන්ඩික්ස් ඇගලුම් කර්මාන්ත ශාලා ආශ්‍රිතව මෙවැනි කොවිඩ් පොකුරු ඇති වීම වැළැක්වීම සඳහා රැගෙන තිබෙන පියවර මොනවාද?…….

පියවර රැසක් ගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන වශයෙන් අපගේ සියලුම කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන්ගේ ශරීර උෂ්ණත්වය සටහන් කරගැනීමේ උපකරණ භාවිත කිරීම හා විෂබීජහරණ කුටි ඇතුළු සෙසු සෞඛ්‍ය මාර්ගෝපදේශ සියල්ලක් ම ක්‍රියාත්මක කිරීම ප්‍රධානයි. විධිමත් වෛද්‍ය සේවා හා ප්‍රතිකාර කටයුතුද සෑම අවස්ථාවකදීම අප කර්මාන්ත ශාලා පරිශ්‍රහිදී සිදු වන අතර කිසිදු අවදානමකට ඉඩ නොතබා වසංගත තත්ත්වයක් මධ්‍යයේ වුවද දහස් ගණනක් වූ සේවක සේවිකාවන් නැවත කර්මාන්තශාලා තුළට පිවිසීමට හිතකර වාතාවරණයක් ගොඩනැඟිම බ්‍රැන්ඩික්ස් හී අරමුණ වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here