සිව්දිගින් ඇසෙන පාපන්දුවේ සුසුම් රැලි

0
52
5 දෙසැම්බර්, 2020

‘මැරඩෝනාගේ සමුගැන්ම ගැන පසුගිය සතියේ අප විශේෂාංගයක් පළකළේය. එම සමුගැන්ම ලෝකයේ බොහෝ පෙරැළි මතුකළ සිදුවීමක් විය. මෙවර ඔහු සම්බන්ධයෙන් විවිධ ජනප්‍රිය ක්‍රීඩකයන් හා සම්භාවනීය පුද්ගලයන් දැක්වූ අදහස් කීපයක් මෙලෙස සටහන් තැබේ.’

 

විශ්මිත ප්‍රතිභාවෙන් හා අසීමිත ජනප්‍රසාදයෙන් ලොවක් කැළඹු ඩියාගෝ අ(ර්ම)න්ඩෝ මැරඩෝනා ෆ්රන්කෝ හෙවත් ආදරණිය මැරඩෝනා පසුගියදා මෙලොවෙන් සමුගත්තේය. දශක හයක් යනු මියෙන්නට තරම් වූ පරමායුෂක් නොවේ. 60 වැනි වියේදී සමුගත් ඔහුගේ වියොවෙන් ලොවක් වැළපුනද දෙවියෝ නම් තුටු පහටු වනවා නියතය. ලොව පරසිදු පාපන්දු ක්‍රීඩක පේලේ දිවියෙන් සමුගත් මැරඩෝනාට කළ සංවේදී ඇරයුම මෙපරිදිය. “කවදා හෝ අපි ස්වර්ගයේදී එක්ව ක්‍රීඩා කරමු.”

මැරඩෝනාගේ සමුගැන්ම සවන් වැකුණු විගස සංවේදී වූ ලොව දසත විහිද පැතිර සිටි පාපන්දු ලෝලීන් නොකඩවා දින ගණනාවක් තිස්සේ පළකරන ශෝකාලාප නිමක් නොවීය. ආර්ජන්ටිනාවේ බුවනොර්ස් අයර්ස් නුවර සිට ඉතාලියේ නේපල්ස් හරහා බ්‍රසීලයේ රියෝ ඩි ජැනෙයිරෝ නුවර දක්වා හමාගිය මේ සංවේදනා දහරාව ශෝකී මිමිණුම් හා උස්හඬින් කෙරෙන වැළපීම් දක්වා විවිධත්වයක් ගත්තේය. ඒ හැම පාපන්දු ලෝලී එක්රැස් වීමක් පාසා මැරඩෝනා නිරන්තරයෙන් පැළඳි අංක 10 නිරූපිත ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ ජර්සිය ද ප්‍රදර්ශනයට එකී ශෝක වන්නන් අමතක නොකළේය.

යමෙක් මියයෑම ශෝකය හා සංවේදනා දනවන්නක් බව සැබවි. එහෙත් මැරඩෝනා ලොවෙන් සමුගත්තේ සංවේදනා වැසි වසින උත්කර්ශවත් ප්‍රේක්ෂක අභිමන් මැද්දේ වීම ආජන්ටිනාව මතුනොව සමස්ත පාපන්දු ක්‍රීඩාවම ලත් සදාතනික ගෞරවයකි. ලොව තැන තැන මුළුදුන් බොහෝ මැරඩෝනා සැමරුම් තුළ රැවූ පිළිරැවු දුන් ගීතයක්ද මැරඩෝනා ලෝලීහු ගැයූහ. ඒ ඔස්ට්‍රේලියානු OPUS නම් සංගීත කණ්ඩායම දශක තුනකට පෙර ගැයු “Live is Life” නම් ගීතයයි. මැරඩෝනා වසර 1989 දී පමණ නාපෝලි පාපන්දු කණ්ඩායම හා ස්වර්ණමය ක්‍රීඩා සමයක් ගෙවා දැමු සමයේ මැරඩෝනා තරඟයට පෙර ජීවය හා ජවය ලත් උණුසුම් ගී පද අඩංගු ගීතය මෙයයි.

ෆෝක්ලන්ත යුද්ධයට මැදිවීමෙන් ආර්ජන්ටිනාව, බ්‍රිතාන්‍යය ය හා කිසිදා නිමා නොවන මාරාන්තික කොන්තරයකට පැටලී සිටින අතරතුර පාපන්දු පිටියෙන් මතු වූ මැරඩෝනා යනු වරෙක බ්‍රිතාන්‍යය ජාතිකයන් හට දුෂ්ඨයෙක් මෙන්ම පසුකාලීනව වීරයෙක් බවටද පත්වූවෙකි. එවන් පසුබිමක බ්‍රිතාන්‍ය පුවත්පත් මැරඩෝනා ගැන පැවසූ දේද වැදගත්ය. එහෙයින් Daily mirror පුවත්පත ඔහු ගැන සටහන් කොට ඇති දිගු ලිපියක අන්තර්ගත මේ කෙටි වදන් කිහිපයද කියවන්න. මේ මහා ක්‍රීඩකයාගේ මරණය වාර්තා කර තිබුණේ මෙසේය.

”ඔහු දෙවියන්ගේ සුරතට. – He’s in the hands of God’.

එපමණක්ද බොලිවුඩ් රජු ෂාරුක් ඛාන් තම Tweet ගිණුමේ දැක්වුයේ මැරඩෝනා නිසා පාපන්දු ක්‍රීඩාව තවතවත් වර්ණවත් වූ බවයි. මැරඩෝනාගේ වර්ණවත් ක්‍රීඩා දිවියේ සුපිරි දක්ෂතා හා සමකළහැකි වත්මන් ක්‍රීඩා තරු අතර පළමු පෙළේ වැජඹෙන ලයනල් මෙසීගේ අදහස් බිඳක් මේ.

”අද ආර්ජන්ටිනාවටත්, පාපන්දුවටත් ශෝකී දවසක්. ඔහු අප අතර නැතත් ඔහු අප කිසිදා හැර නොයනු ඇති.” තවත් දිදුලන පාපන්දු තරුවක් වන රොනල්ඩෝ පවසන්නේ ” මෙදින මා සමුදෙන්නේ මිතුරෙකුට හා සදාතනික වීරයෙක් හටයි. ඔහු අපේ කාලයේ ශුරතම ක්‍රීඩකයා පමණක් නොව කිසිදා කිසිවෙකුට උපමා කල නොහැකි ඉන්ද්‍රජාලිකයෙකුය. ඔහු වේලාසනින් නික්මුණද එලෙස නික්ම යන්නේ කිසිදා කිසිවෙකුට පිරවිය නොහැකි අසහාය ජිවන චාරිකාවක් මෙලොව ඉතිරි කරමියි’.

ඉතාලියේ නාපොලි යනු මැරඩෝනාගේ පාපන්දු දිවිය හා අත්‍යන්තයෙන් බද්ධ වූ සමීපතම පාපන්දු ක්‍රීඩා සමාජයයි. ඔවුන් මේ මියගිය වීරයා ගැන කුමක් කියන්නේදැයි මුළු ලොවම බලා සිටින අතරතුර එකී පාපන්දු සමාජයේ ප්‍රකාශක නිකොල ලොම්බාඩො තම හඬ අවදි කරමින් පැවසුවේ කුමක්ද? ‘ ලෝකය අපි යම් වදනක් පවසන තෙක් බලා සිටී. එහෙත් එලෙස යමක් කියාගන්නට හෝ නොහැකිව අපි වැළපෙමින් සිටින්නෙමු. මේ ශෝක වීමේ අවස්ථාවයි. අපිට අපි ගැන හැඟෙන්නේ මුළුමනින්ම පසුබැස පරාජයට පත්වූ බොක්සිං ක්‍රීඩකයෙකුට දැනෙන හැඟීමට සමාන හැඟීමක් ”.මෙලෙස සෝ සයුරේ ගිළුණු මැරඩෝනා ප්‍රේමීන් අතර ෆ්‍රැන්සිස් පාප් තුමාද උන්හ. ලතින් ඇමෙරිකානු කලාපය නියෝජනය කරමින් පත්වූ පළමු පාප් තුමා වූ එතුමන් මැරඩෝනා ගිලන් වූ සමයේ ආශීර්වාදය පිදූ පිරිස අතර නිරන්තරයෙන් නම කියැවුණු එතුමන් එකී අතීතයද සිහිකළ බව දක්වා සිටියේ වතිකානුවේ මාධ්‍ය ප්‍රකාශක මටියෝ බ්රුනිය. මෙලෙස ලොවක් හඬවා වේලාසන නික්ම ගිය මැරඩෝනා වරෙක අළුගසා නැගිටි ෆීනික්ස් පක්‍ෂියෙකි. තවත් වරෙක මතභේදාත්මක කතන්දර මැවූ දඩබ්බරයෙකි. ඒ කවර සංසිද්ධියක් හමුවේ වුව ඔහුගේ සුහුරු දිවියේ පාපන්දු වාර්තාව නම් සදාකාලික වූ අසමසම එකකි. ඒත් මේ සොඳුරු වීරයාගේ ජීවමාන රූපකාය නැවත පාපන්දු ලෝලීන්ගේ නෙත නොගැටෙනු ඇත.

මැරඩෝනා වරින්වර තම දායකත්වය දුන් සුප්‍රසිද්ධ බොකා ජුනියර්ස් කණ්ඩායම තම ශෝකය ඔහු වෙනුවෙන් පළ කොට තිබුණේ කෙටි එහෙත් හර්දයාංගම ලෙසින්. මේ ඒ වදන්. ‘ සර්වකාලිකයාණෙනි ස්තූතියි!! ඩියාගෝ ඔබ සර්වකාලීනයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here