අලුත්ම කොරෝනා දුම් හට්ටි තුනක්

    0
    36

    ලෝකයේ හුඟ දෙනකුට වගේ නෙවෙයි. ශ්‍රී ලාංකේය අපට අපේ වත්ත පිටියෙන්ම උරුම වූ ඖෂධ එමටයි. මේ ඉතින්, කොවිඩ් – 19 පිළිබඳ වැඩිපුර කතාබහට ලක්වන කාලයක්. උපන්තේකට ඖෂධීය දුම් නෑල්ලු සමහරුත් දැන් දැන් බෙහෙත් කඩවල පෝලිම්වලදී දැකගන්න පුළුවන්. ඒ කොයිහැටි වෙතත්, මේ ඊට කදිම විසඳුමක්.

    ඖෂධීය දුම් හොඳින් හිස රෙද්දකින් ආවරණය කර ගෙන නළල, දෙකන්වලට වදින්නට සලස්වන අතරේ ඒවා පරෙස්සමෙන් ආඝ්‍රාණය කිරීම මඟින් අපට ප්‍රයෝජන රැසක් අත් වෙනවා. සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උගුරේ අමාරු, සුළු සුළු ශ්වසන අපහසුතා සහ හිසරදයට මේ ඖෂධීය දුම් සාත්තුව කදිමයි. කල් පවත්නා සෙම් අමාරු, හිසේ බර ගතිය, සෙම නිසා හටගන්නා විවිධ උගුරේ ආබාධ සඳහා මේ ප්‍රතිකර්ම ඉතා සුදුසුයි. එවන් තැනැත්තන්ට මේ වට්ටෝරුවටම ‘කෝලශ්ලේෂ්මා’ තෙල් තේ හැන්දක් අමුතුවෙන් එක් කර ගැනීම කළ හැකියි. ඒවා ඖෂධහල්වල සුලබව පවතිනවා.

    ඒ හැරෙන්නට තවත් අමතර වාසි රැසක්ම පහත දක්වා ඇති පරිදි ඖෂධ ඇසුරින් සකස් කර ගන්නා ඖෂධීය දුම් කුඩු පිලිස්සීමෙන් විහිදෙන සුවඳ දුම මඟින් ද ලැබිය හැකියි. හිසේ බර ගතිය පහව යයි. ඇස් යට වේදනා මඟහරවයි. කන්වල වායු පිරුණු ස්වභාවය පහ වේ. එසේම, අප අවට පරිසරයේ විසුරුණු අපට අහිතකර වයිරස්, විෂබීජ සැණින් වනසාලයි. සර්පයන් ආදී විෂ ඝෝර සතුන් ගෙතුළට නොඒම තවත් ප්‍රයෝජනයකි. ඇස්වහ, කටවහ, හෝවහ, භූත දෝෂ කොහෙන් ගියාද කියලා හොයාගන්නවත් නැති තරමටම මේ ඔසු ප්‍රබල වේ.

    පසුම්බියට බරක් නැතිව ගෙදරදීම එතරම්ම වටිනා දුම්හට්ටියක් හදා ගන්නේ මෙහෙමයි.

    ඊට කිහිප විදියක වට්ටෝරු ගණනාවක් පිළිබඳ වගතුග අද අප ඔබට හෙළි කරනවා. පාරම්පරිකව පැවතෙන මේ ඖෂධ අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි ඕං. ලෙහෙසියෙන් ගෙවත්තෙන්ම සපයා ගත හැකි වට්ටෝරුවකින් කාට කාටත් ගෙදර ඖෂධීය දුම් හට්ටියේ අවශ්‍යතාව මේ අනුව පිරිමැහෙනවා සිකුරුයි.

    වට්ටෝරු අංක 01

    අවශ්‍ය ද්‍රව්‍ය

    වදකහ කොළ

    සැවැන්දරා කොළ

    පඹුරු කොළ

    සාදා ගන්නා සහ භාවිතයට ගන්නා අන්දම

    මේ එක් එක් වර්ගයේ කොළ සම සමව ගෙන ඒවා වණ්ඩුවේ තම්බා ගන්න. සුදුසු පරිදි හිස රෙදි කඩකින් ආවරණය කරගෙන දුම ආඝ්‍රාණය කර ගන්න.

    වට්ටෝරු අංක 02

    අවශ්‍ය ද්‍රව්‍ය

    නික කොළ

    පාවට්ටා කොළ

    යකිනාරං කොළ

    දෙහි කොළ

    කොහොඹ කොළ

    සාදන ආකාරය

    මේ සෑම වර්ගයකින්ම එක සමාන ප්‍රමාණයෙන් ගන්න. ඒවා වණ්ඩුවේ තම්බන්න. ඉන් නැ‍ඟෙන දුම් උදේ සවස ආඝ්‍රාණය කරන්න.

    වට්ටෝරු අංක 03

    මෙය නිවෙසේ වයිරස්, විෂබීජහරණයටයි. පහත ද්‍රව්‍ය තම්බා ගත් දියරය නිවෙසේ සහ ඒ අවට ඉසීම මැනවි.

    අවශ්‍ය ද්‍රව්‍ය

    ගම්මිරිස් කොළ

    රුක් අත්තන කොළ

    රෑන් පැපොල් ගසේ කොළ අතු

    ගොරකා මද

    කොහොඹ කොළ

    සාදා ගන්නා විදිය

    මේ වර්ග සම සමව ගෙන ඒවා තම්බාගත් වතුර නිවෙසේ සහ ඉන් පිටත ඉසීම කරනු ලබයි.

    දුම් ඇල්ලීම සඳහා ප්‍රබල ඖෂධීය දුමක්

    අවශ්‍ය ද්‍රව්‍ය

    වරා කොළ

    රුක්අත්තන කොළ

    කොහොඹ කොළ

    ගම්මිරිස් කොළ

    මල් පැපොල් කොළ

    කහ කුඩු

    ඉහත කොළ වර්ග සිහින්ව කපා කොටා වියළා චූර්ණයක් ආකාරයට සකස් කර ගන්න. එයට අබ ස්වල්පයක් මිශ්‍ර කරන්න. ඉහත ද්‍රව්‍ය යොදාගත් ප්‍රමාණයෙන් බාගයක් වන්නට සුදු ලූනු ගෙන ඒවාද අඹරා ගන්න. එය ද චූර්ණයක් ආකාරයට සකස් කරගත් ඖෂධයට මුසු කරන්න. ඊට කොහොඹ තෙල් ස්වල්පයක් ද එක් කරන්න. එයින් තෙත ගතියක් මේ මිශ්‍රණයට ලැබේ. ඉන්පසුව එයින් කුඹුරු ඇටයක් තරම් වන ගුලි සාදා වෙන් කරගන්න. ඉනික්බිතිව නැවතත් රුපියල් 2 කාසියක් තරමට ඒ ගුලි පැතලි කර ගන්න. අනතුරුව ඒවා රත්වූ ගිනි අඟුරු අඩංගු කබලකට දමන්න. එවිට ඉතා සුවඳවත් දුමක් නිකුත් වේ. මැසි මදුරු තර්ජනයද මෙයින් වැළකේ. ඒ සදහා උදේ සවස දුම් අල්ලන්න.

     

    උපදෙස් – ආයුර්වේද සහ පාරම්පරික වෛද්‍යාචාර්ය තෙරිපැහැ ආරියවංශ කීර්තිසිංහ මහතාගෙනි.

     

    නුවන් මහේෂ් ජයවික්‍රම

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here