චන්දන මල් අතුරා ඇති යහනට කන්ද කපා පායන් රන් පුන් සඳ

    0
    29
    Author(s): 
    බුද්ධදාස ගලප්පත්ති

    පසුගිය සතියේ ‘එදවස සොඳුරුමය’ තීරුව මඩවල රත්නායක නම් වූ සොඳුරු කලාකරුවා ගේ චරිතාපදානයෙහි ලියැවුණු අතීත ස්මරණ ආවර්ජනයක් සඳහා වෙන් වූ කෙටි සටහනක් වීය. ඊට මූලික වශයෙන් ම පාදක වූයේ ඔහු විසින් අඩක් ලියා තිබූ, පසු කලෙක ඔහු බිරිඳ ලිලියන් සෝමලතා මහත්මිය විසින් ලියා සම්පූර්ණ කොට ප්‍රකාශිත පන්හිඳක ගැමි සුවඳ – මඩවල රත්නායක චරිතාපදානය නම් කෘතියයි.

    එහි දී අප විසින් මඩවල රත්නායක කලාකරුවාගේ වෘත්තීය ජීවිතයෙහි ඇරැඹුමෙහි සිට ගුවන් විදුලිය හා රූපවාහිනිය දක්වා ආ ගමන් මගෙහි සන්ධිස්ථාන සේ සැලැකිය හැකි අවස්ථා, සිදුවීම් හා නිර්මාණ පිළිබඳ සඳහන් කිරීමක් විනා ඔහුගේ නිර්මාණ අස්වැන්න තුළින් අප අත් විඳි ගැමි ජීවන සුවඳ පිළිබඳ විවරණාත්මක කියවීමකට නොගියෙමු. එහෙත් ඒ තීරුව අග අප පිළින දුන්නේ මෙවර ඒ පිළිබඳ, විශේෂයෙන් ම ඔහුගේ ගේය කාව්‍ය රචනා ප්‍රමුඛ කොට ගත් සාහිත්‍යය පිළිබඳ කතාබහකට ඔබ කැඳවා ගෙන යන බවයි. අප විසින් එහි දී සඳහන් කළ පරිදි මඩවල රත්නායක වූ කලී සියලු සාහිත්‍ය ශානර තුළ තම නිර්මාණ කුසලතාව ප්‍රකට කළ කලාකරුවෙකි. සාහිත්‍යය මතු නොව, මුද්‍රිත ජන මාධ්‍යයයෙහි මෙන්ම විද්‍යුත් මාධ්‍යයෙහි ද ඔහු විසින් පෑ පෙළහර විස්මිතය. ගුවන් විදුලි වැඩ සටහන් නිර්මාණයට අමතරව ඔහුගේ පන්හිඳෙන් ගලා ආ ගැමි සුවඳ දැවැටුණු මිහිරි ගීතාවලිය පිළිබඳ රස වින්දනාත්මක කියවීමකට නොගිය මුත් මෙවර එය ඉටුකරන බවට පොරොන්දු වූයේ මඩවල ගේ ගීතය පිළිබඳ කතා නොකොට ඔහුගේ නිර්මාණ විවරණයක් අසම්පූර්ණ වන බව දන්නා බැවිනි.

    මඩවල රත්නායක ඉතා චාම් ඇවැතුම් පැවැතුම් සතු වූ අපූරු සුන්දර මිනිසෙකි. ගුවන් විදුලියෙහි ඔහු හා සමීපව රැකියාව කළ සගයන් අතර ඔහු ‘මඩේ’ය. එහෙත් ඔහුට වඩා වයසින් බාල තරුණ ශිල්පීන්ට හා යෞවනයන්ට ඔහු මඩවල අයියාය. ඔහුට මිස්ටර් රත්නායක යන ඇමතුමෙන් කතාකරන කිසිවකුත් මට හමු වී නැත. ඔහුගේ නිර්මාණ තුළින් අප දකින අප දුටු සැහැල්ලු සුන්දර මිනිසාම සැබෑ මඩවල රත්නායක තුළ ද ජීවත් වූ බව සාහිත්‍ය ලෝකයෙහි, ගුවන්විදුලියෙහි ජීවත් වූවෝ දනිති. අක්කර පහ, සිත නැති බඹ ලොව, පානෙන් අඳුරට, හඳ පායා කන්ද කපා, අම්බලම් පාළුවෝ, අලුත ගෙනා මනමාලී, නිල් මල් විල, අක්කයි මායි ඔහු විරචිත නවකතාය. මාර යුද්ධය, හීන හතක් මැද, මම ද එක්වීමි ඔහුගේ කාව්‍ය සංග්‍රහ වේ. කෙටිකතා අතර මඩවල රත්නායක හමුවන්නේ, බුදු හිනාව, නොමළ මල්, වැහි වලාකුළු, තවලම්කාරයෝ, මල් මෙන් කඩුපුල්,පහන නිව්වා කටින් පිඹලා, සුවඳ පිරුණු අනාගතයක්, උපන්දා සිට කරපු පව් නැත හා කුඩප්පා යන කෘතීන් තුළය.

    අක්කර පහ වැනි නවකතාවක හමුවන සේන ගේ චරිතය තුළින් ජනපද ජීවිතයක හැදුණු වැඩුණු තරුණයකු හමු වේ. නගරයෙහි හමුවන පෙම්වතිය තෙරේසාය. ඔවුන් දෙදෙනාගේ බිඳ වැටෙන පෙම් පුවත තුළ මඩවල රත්නායකගේ ගැමි තරුණයා හමුවේ. ඔහුගේ කෙටිකතා තුළින් ගැමි දිවියේ අත්දැකීම්වල අව්‍යාජ ස්වරූපය කැපී පෙනේ. ජන කවියේ ආභාසය ලබමින් ඔහු විසින් රචනා කරන ලද කවියකින් විහිදෙන ගැමි සුවඳ අපට දැනේ.

    හිරිමා උදේ මා ආපහු ගෙට යනවා

    කළුවර බදාගෙන නැවතත් හෙට එනවා

    කුරහන් හේන දැක සඳරැස් හිනැහෙනවා

    ඉන් පණ ලැබූ පැල කුරහන් නැලවෙනවා

    ( මාර යුද්ධය – කුරහන් හේන )

    මඩවල එස් රත්නායක ගේය කාව්‍ය රචකයාගේ ගීතාවලිය ඔහුගේ අන් සියලු නිර්මාණ ක්ෂේත්‍ර අභිබවා කැපී පෙනෙන විශිෂ්ටත්වය ප්‍රකට කරන්නකි. මුද්‍රිත ජන මාධ්‍යයෙන් ගුවන් විදුලි ක්ෂේත්‍රයට ආගමනය වන මඩවල රත්නායක කවියාගේ ගේය කාව්‍ය රචනය දළු මල් ලා සුපිෂ්පිත වන්නේ ගුවන් විදුලියේ දීය. එහි දී මඩවල අමරදේව සුසංයෝගය තුළ සිංහල ගීතාවලියෙහි විශිෂ්ටතම නිර්මාණ රැසක් බිහිවනු පෙනේ. 1955 දී ඉන්දීය සංගීතවේදියකු වූ ඩී.වී. පලුස්කාර් ගේ කුමක චලිත රාමචන්ද්‍ර ගීතය ඇසුරින් රචනා කළ නවක චලිත සීත සුළඟ අමරදේවයන්ගේ විශේෂ සරල ගී වැඩ සටහනක දී ප්‍රචාරය වීය. සම්භාව්‍ය සාහිත්‍යයේ ඇසුර ලබමින් දේශීය ජන සම්ප්‍රදාය අනුව රචනා කළ ගීය එතෙක් පැවති සංගීත හා ගීත සම්ප්‍රදායට නැවුම් මුහුණුවරක් එක් කළ අවස්ථාවක් විය. තුරඟා වන්නමේ නාද මාලාව ආශ්‍රිතව මඩවල රත්නායක විසින් රචිත මෙම ගීතයෙහි අර්ථපූර්ණ, ධ්වනි පූර්ණ ගුණය බලන්න.

    රන්වන් කරල් සැලෙයි සන්සුන්කමින් බරව

    සිගත් සිති යුතු වු කත සේ

    මඳ සුළඟ හා සමග බඳ සලන විට ගම ද

    පෙම් මල් උදා කරති සතොසේ…

    මින්ද්ද හී සර වැදී සැලෙන හද, බඹරෙකු ආවයි නිරිත දිගේයා, නිල් මහනෙල් මල් පිපුනා, බිංදු බිංදු රන් ගෝමර මාලා, කැලේ ගහක මල් පිපිලා, මිහිරියේ ගැමි ලියේ (අමරදේව) සැඳෑ කළුවර කුර ගගා විත් (නන්දා මාලිනී) වසන්තයේ පණිවිඩය ගෙනා අය (සනත් නන්දසිරි) පෙරුම් පුරා ගෙන කියනට සිටි දේ (නීලා වික්‍රමසිංහ) රෑ කල පැලට වී හේනේ ලගින්නේ (වික්ටර් රත්නායක) හා තවත් බොහෝ ගේය කාව්‍ය සංකල්පනා තුළ මඩවල රත්නායක ගේ අනන්‍ය ලකුණ දිස් වේ.

    නිල් මහනෙල් මල් පිපුණා

    නෙත් සැදුණා ඒ අනුගාමී

    නළල ඇගේ අඩ සඳ වාගේ

    මිහිරි නොවෙද කටහඬ කාගේ…

    රසික විචාරක සම්භාවනාවට නොමඳව ලක් වූ මේ ගීතය ගායනා කළ අමරදේවයන් මඩවලගේ ගේය කාව්‍ය රචනයෙහි ප්‍රතිභාව දකින්නේ මෙලෙසය.

    ” ගැඹුරු කාව්‍ය සංකල්පනා වුවද සුගම රීතියකින් රචනා කිරීමේ ශක්‍යතාව මඩවල රත්නායකයන් සතු නිසඟ ප්‍රතිභාවේ ලක්ෂණයක් සේ මම දකිමි. සැබැවින්ම ඔහුගේ රචනා සුභාවිත සුකුමාර ගුණයෙන් ශෝභමාන වූයේය. බුදු සමයෙහි එන අනිත්‍ය සංකල්පය ප්‍රබල සෞන්දර්ය පූර්වක ප්‍රකාශනයක් සේ ආවරණය කරන්නට අප රචකයා දරා ඇති ප්‍රයත්නයත් එහි සාඵල්‍යයයත් ‘නිල් මහනෙල් මල් පිපුණා’ ගීතයෙන් සුවිශදව පෙනේ. සංගීතවේදියකු නොවූව ද සංගීත මාධ්‍යයට අනුගත ආවේණික ගති ලක්ෂණ මඩවල රත්නායක අන්තර්ඥානයෙන් වටහා ගෙන සිටියකු බවට ද මේ ගීතය සාක්ෂි සපයයි. මෙහි කාව්‍ය පාදාන්ත හලන්ත විරහිත දීර්ඝාක්ෂර මගින් රචනා කොට තිබීම නිසා ගේයතා ගුණ පැහදිලිව මතු වෙයි. යම් පද රචනයක් සුගායනීය වන්නේ මෙබඳු ගේයතා ගුණ කරණ කොට ගෙනය .”

    මින්දද හී සර හා බඹරෙකු ආවයි ගීතද්වය මඩවල රත්නායක ගේය කාව්‍යක්කරු ගේ විශිෂ්ටතම නිර්මාණ වේ. ජන කවි ආරත්, සම්භාව්‍ය වියත් කවි බසත් සුසංයෝගී කොටගෙන ඔහු ප්‍රේමයේ රමණීය වූ විප්‍රලම්භ ශෘංගාරයෙන් අනූන ජීවිතානුභූතිය බුද්ධිගෝචර අත්දැකීමක් ලෙස ප්‍රතිනිර්මාණය කොට ඇති අපූරුව බලන්න. බඹරෙකු ආවයි රචනාව මීට නොදෙවෙනිය. ස්ත්‍රී පුරුෂ සම්භෝගය ධ්වනිත කෙරෙන ශෘංගාත්මක අත්දැකීමකි. ‘චන්දන මල් අතුරා ඇති යහනට, කන්ද කපා පායන් රන් පුන් සඳ’ වැනි ජන සාහිත්‍ය‍යෙන් ගත් කාව්‍යෝක්ති ද, තුරඟකු පිට නැගි නීල වලාකුළු, නෙත්මිණි පහනින් පහන් කරනු වැනි සම්භාව්‍ය සාහිත්‍යය ඇසුරින් නිර්මාණය කළ සංකල්ප රූප ද මඩවල කවියාගේ ගේය කාව්‍ය විශිෂ්ටතාවට සාක්ෂි වේ.

    මඩවල රත්නායක ගේය කාව්‍ය රචකයා විරචිත චිත්‍රපට ගීත කිහිපය ද ඔහුගේ ගේය කාව්‍ය රචනයෙහි ප්‍රතිභාව පිළිබිඹු කරන කැඩපතක් වැන්න. ‘ගැටවරයෝ’ චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා හා සෝබනී අමරසිංහගේ රූප රාමු සඳහා අමරදේව හා ලතා වල්පොලගේ පසුබිම් ගායනාවෙන් ගැයුණු සිහින හතක් මැද ගීතය සිංහල චිත්‍රපට ගීත අතර සුවිෂේශී නිර්මාණ ලෙස ශ්‍රාවක ප්‍රේක්ෂක සම්භාවනාවට පාත්‍ර වී ඇත. පටාචාරා චිත්‍රපටය සඳහා ආනන්ද ජයරත්න හා සන්ධ්‍යා කුමාරි පෙනී සිටින රූප රාමුව පසුබිමින් ඇසෙන අමරදේවගේ හඬින් ගැයෙන තණ්හා ආශා ඔලොගු කරේ ලා ගීතය ද සිහින හතක් ගීතයට නොදෙවෙනි අර්ථපූර්ණ පසුබිම් චිත්‍රපට ගීතයක් ලෙස මඩවල රත්නායක නම ඉදිරියේ සටහන්ව ඇත. ගේය කාව්‍ය රචක භූමිකාව මතු නොව ගුවන් විදුලියෙහි දී නිබන්ධ සම්පාදක හා නිෂ්පාදක ලෙස ඔහුගේ සම්ප්‍රදානයට සාක්ෂි දරන්නේ ස්වර වර්ණ හා යෞවන සමාජය වැනි වැඩ සටහන් ය. රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් මෙන් ම සරසවිය සිනමා සම්මානයෙන් ද පුද ලැබ ඇති මඩවල රත්නායක සිංහල ගේය කාව්‍ය රචක නාමාවලියෙහි හිමිකොට ගෙන ඇති ස්ථානය අතුල්‍යය. විශිෂ්ටය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here