චන්ද්‍රසෝම සහ මද්දුමී

    0
    25

     

    අප කුඩා අවදියේ ගමේ සෑම නිවෙසකම පාහේ මුළුතැන්ගෙහි මිදුලේ උණ ලීයෙන් කළ කුඩා වතුර පිහිල්ලක් තිබුණි. ඉන් ගලා ආවේ ගමට ඉහළින් වූ කඳු යාය පාමුල පිහිටි උල්පත්වල උපන් ඉතා පිරිසුදු පැහැදිලි වතුරයි. ඒ සරුසාර උල්පත් ගම්වාසීන්ගේ කුදු මහත් කටයුතු සඳහා ඔවුනට ඕනෑ තරම් වතුර දන් දුන්නේය .

    උණ පිහිල්ල දිගේ ගලා ආ සිහිලැල් දිය සීරාව එකතුවූයේ පැරණි තාර බැරලයකටය. කලාතුරකින් නිවසක බැරලය වෙනුවට සිමෙන්තියෙන් ටැංකියක් බැඳ තිබුණි .

    ඒ උණ ලී පිහිලි කෙමෙන් ජල නල බවට පත් කරන්නට මූලිකයා වූයේ චන්ද්‍රසෝම අයියාය. එනම් කන්දේගෙදර මද්දුමීගේ ස්වාමිපුරුෂයාය.

    උසට සරිලන මහතකින් යුත් මධ්‍යම ප්‍රමාණයේ සිරුර ද ප්‍රසන්න සිනහව ද, ඉතා පිරිසුදුවට අඳින යුරෝපීය ඇඳුම් කට්ටලය ද ඔහු ආකර්ෂණීය තරුණයකු බවට පත් කොට තිබුණි.

    “මේ ගමේ ඉන්න වාසනාවන්තම ගෑනි මද්දුමී. තමන්ගෙ ගෑනිටයි දරුවන්ටයි එහෙම ආදරෙන් සලකන පිරිමියෙක් වෙන ඉන්නවද මේ ගමේ?”

    “ඒ විතරක්ද රහමෙර, බීඩි, සිගරැට් කට හරියට ගන්නෙ නෑ.”

    චන්ද්‍රසෝම අයියා පිළිබඳව ගම ඇතුළේ අනේක විදියේ ප්‍රශංසා කතාය. ඒ කතා ඇත්තය. කොහේදෝ දුර පළාතක සිට මද්දුමී අක්කා සමග විවාපත් වී ඔහු අපේ ගමට ආ දා පටන් ගමේ කිසිවකු හා නොහොඳ නෝක්කාඩු වූයේ නැත. දබරයට ගියේ ද නැත. ඔහු සේවය කළේ යාබද නගරයේ කම්හලක පයිප්ප වැද්දුම් කරුවකු ලෙසය. ගමට පැමිණි පළමු මාසයේම හෙතෙම ගෙදරට වතුර ගෙන එන උණ ලී පිහිලි ඉවත් කොට ඒ වෙනුවට පයිප්ප බට සවි කළේය. උල්පත අසල කුඩා සිමෙන්ති ටැංකියක් ද බැන්දේය . දැන් පෙර මෙන් කපුටන්ගෙන් , බල්ලන්ගෙන් හෝ හරකුන්ගෙන් අතරමගදී වතුරට වන හානිය ද අවමය.

    “අනේ පුතේ, මේ පීල්ල හිටි ගමන් කැඩෙනවා. මං හිතන්නෙ හරක් කඩා දමනව වෙන්නැති. නිතරෝම හදන්ඩ යන්ඩ කෙනෙකුත් ගෙදර නැති එකේ පයිප්ප බට ටිකක් දාගන්ඩ තිබුණනම් අගෙයි .”

    අහළ පහළ යමකුගේ එවැනි දුක්ගැනවිල්ලකට චන්ද්‍රසෝම අයියාගෙන් හැමවිටම ලැබුණේ යහපත් ප්‍රතිචාරයකි.

    “බට ටික ගෙනැත් මට කියන්ඩකො නැන්දෙ . නිවාඩු දවසක මම කරල දෙන්නම්.”

    චන්ද්‍රසෝම ඒ අනගි සේවය ගමට කර දුන්නේ සතයකුදු අය නොකරමිනි.

    අසල්වැසි නිවෙසක මඟුලක්, මරණයක් හෝ දානයක් වැනි කටයුත්තකදි ඔහු ශ්‍රමයෙන් දායක වූයේ පවුලේ අයකු මෙනි.

    කාලය ගෙවී ගියේය. මද්දුමී සහ චන්ද්‍රසෝම හුරුබුහුටි දියණියකගේ සහ පුතකුගේ මවුපියන් වූයේ සිවු වසරක් තුළදීය. ඉතා පියකරු දරු පැටවුන් දෙදෙනට මව් පිය සෙනෙහස අඩු නැතිවම ලැබුණි .

    නිවාඩු දිනයකදී දරු දෙදෙනා නහවන්නට ඔවුනට කවන්නට පොවන්නට පමණක් නොව ඔවුන්ගේ රෙදි පෙරෙදි සෝදන්නට වුව ඔහු මැලිවූයේ නැත. සෑම පසළොස්වක පෝය දිනයකදීම බිරින්දෑත් දරු දෙදෙනාත් පෙරටුකොටගෙන පන්සලට යන්නට ද හෙතෙම අමතක නොකළේය .

    ගමේ බොහෝ තරුණ ගැහැනුන් කන්දේගෙදර මද්දුමීට හොර රහසේ ඊර්ෂ්‍යා කළාට කිසිදු සැකයක් නැත. ඒ මද්දුමීගේත්, චන්ද්‍රසෝමගේත් පවුල සැබෑවටම සුන්දර එකක් වු නිසාය .

    “අපේ බෑණා මද්දුමීට අතක් උස්සන්නෙ නෑ. ඒකි ලෙඩ වුණා ම බත් පතත් උයල දෙනවා.”

    පවුල් ආරාවුල් ගැන කතා කරන විටෙක කන්දේගෙදර නැන්දා එසේ පැවසුවේ ආඩම්බරයෙනි.

    එක්තරා සෙනසුරාදාවක මධ්‍යාහ්නයකදී හදිසියේම කන්දේගෙදරට යන ගුරුපාරට හැරෙන තැන ජීප් රථයක් නතර වුණි. එහි විශාල අකුරින් ලියැවී තිබූ ‘පොලිස්’ යන අකුරු පෙළ දුටුමතින් වටපිටාවේ සිටි කවුරු කවුරුත් විමසිලිමත් වූහ. සමහරකු දොර ජනෙල් පසුපස සැඟවී එබී බලා සිටියේ කුතුහලයෙනි .

    “චන්ද්‍රසෝමගෙ ගෙදර කොයිකද?”

    පොලිස් නිලධාරීන් කන්දෙගෙදර සිට ආපසු ආවේ චන්ද්‍රසෝම ද සමගිනි. ඔහුගේ දෑතට මාංචු ලා තිබුණි. නමුත් ඔහු ජීප් රථයට නැගුණේ පුරුදු සංයමයෙන් යුතුවය.

    ඒ හාම කන්දේගෙදර දෙසින් ඇසුණු මද්දුමීගේත් දරුවන්ගේත් දුක්මුසු විලාපය කඳු ගැටය පහළට ගලා හැලුණේ ගම්වැසියන්ගේ සිත් කීරි ගස්වමිනි.

    “චන්ද්‍රසෝමට මිනීමැරුම් නඩුවක් තිබුණලු කාලෙකට ඉස්සර. මැරුණු මනුස්සයගෙ දුව නීතිපතිට පෙත්සමක් යවලා ආයෙමත් නඩුව අහනවලු. මේ මනුස්සය නඩුවට පෙනී හිටල නැතුව වරෙන්තු වැටිලලු .”

    පසුවදා වන විට ආරංචිය ගම පුරා තටු සලමින් ඉගිල ගියේය .

    “චන්ද්‍රසෝම මිනිහෙක් මරපු කෙනෙක්….?”

    ඒ ආගන්තුක ආරංචිය ඇසූවන්ගේ ඇස් උඩ ගියේ විස්මයෙනි.

    ” චන්ද්‍රසෝමට අවුරුදු විස්සෙදි ඒගොල්ලො පදිංචි වෙලා හිටි ඉඩමට අසල්වාසියෙක් බෙදුම් නඩුවක් දමලා. එයින් ඇතිවුණු ආරාවුලකදි අර අසල්වාසියා අතින් චන්ද්‍රසෝමගෙ තාත්තා මැරණලු. ඒත් ඇසින් දුටු සාක්කි නැති නිසා වැරැදිකාරයා නිදහස් වුණාලු. ඉන්පස්සෙ කොයියම් විදියකින් හරි චන්ද්‍රසෝම අතින් අර මනුස්සය මැරිල තියෙනව.”

    ගම්වාසීන් සිද්ධිය සංක්ෂිප්ත කළේ එපරිදිය .

    “අපේ චන්ද්‍රසෝම කූඹියෙක්, කැරපොත්තෙක්වත් මරන කෙනෙක් නෙමෙයි.”

    මද්දුමී අනේක වාරයක් පවසන්නට ඇත.

    කෙසේ වෙතත් අවසානයේදී චන්ද්‍රසෝම මිනිමැරුමට වරදකරු වූයේය . දඬුවම ලෙසට හේ එල්ලුම් ගසට නියම විය. දැන් ඔහුගේ දියණිය දරු දෙදෙනෙකුගේ අම්මා කෙනෙකි. පුතා ද එක් දරු පියෙකි.

    මද්දුමී මැදිවිය පසුකරමින් සිටින්නීය .

    එල්ලුම් ගහට ද නොගිය ඔහු තවමත් හිර ගෙදර ය.

     

    සුනිලා විජේසිංහ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here