තියටර් එකේදී හැඟීම දරාගන්න බැරුව ඇඬුණා – නෙහාරා

    0
    17

    උත්තරීතර මව් පදවිය ලැබූ නෙහාරා සමඟ කතා බහක්

    නෙහාරයි මේනකයි පහුගිය දවස්වල ඇඟිලි ගනිමින් හිටියේ ඔවුන්ගේ කැදැල්ලට එන පුංචි සාමාජිකාව එනකල්. ඔන්න ඇය ආදරය බෙදාගන්න නෙහාරාගෙයි මේනකගෙයි කැදැල්ලට ඇවිත්. පුංචි දෝණිගේ වැඩ රාජකාරි බොහෝමයකට හිරවෙලා හිටියත් නෙහාරා පුංචි කැදැල්ලේ අලුත් තොරතුරු ගැන කියන්න සුපුරුදු ළෙංගතුකමින් අපිත් එක්ක එකතු වුණා.

    නෙහාරාට අලුත් පදවියක් ලැබුණනේ. එනකල් මග බලාගෙන හිටපු කෙනා දැන් පුංචි කැදැල්ලේ හිමිකාරි වෙලා නේද. ඒ නිසා සතුටින් ඇත්තේ?

    අම්මෝ ඔව්. මම දැන් අම්මා කෙනෙක්. දෙසැම්බර් පලවෙනිදා තමයි දුව අපේ කැදැල්ලට එකතු වුණේ. දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ. සතුටත් එක්කම ලොකු වගකීමක් දැනෙනවා දැන්.

    මුලින්ම දුවව දකිද්දි මොනවගේ හැගීමක්ද නෙහාරාට දැනුණේ?

    තියටර් එකේදී බබාව මගේ ළගට ළං කරද්දි මට ඒ හැගීම දරාගන්න බැරුව ඇඩුණා. බබා ලැබෙන වෙලාවේ මේනකත් මගේ ළගින්ම හිටියා. මට බබාව දකිද්දි දැනුණ හැගීම වචන කරන්න බැරි තරම්. අපේ දරුවනේ. ජීවිත කාලයෙම අපිට උරුම කෙනානේ මේ කියලා දැනුණා. දුව ලැබුණ වෙලාවේ ඉදන් එයාට කිසිම කරදරයක් නොදී මම මැරෙනකල්ම එයාව ඇස් දෙක වගේ බලාගන්න ඕනෙ කියන වගකීම මට දැනුණා.

    හා හා පුරා කියලා කැදැල්ලට එකතු වුණේ දුවක්. දෙන්නම බලාපොරොත්තු තියාගෙන හිටියේ දුවෙක්ටද?

    මේ මේනකගෙයි මගෙයි පලවෙනි බබානේ. ඉතිං දෙවියන් වහන්සේ අපිට දෙන කෙනෙක් අපි ළගට එනකල් අපි බලාගෙන හිටියා. බබා ලැබෙන්න මාස පහක් වෙද්දි අපි දැනගත්තා දුවෙක් ලැබෙන්න ඉන්නෙ කියලා. මේනකත් දුවෙක් වුණත් පුතක් වුණත් කමක් නෑ කියලා හිටියේ. හැබැයි එයා දුවෙක්ට දශමයක හරි වැඩි කැමැත්තක් තිබ්බා.

    දුව කවුරු වගේ කියලද ප්‍රතිචාර ලැබෙන්නෙ?

    බබා මං වගේ කියලාත් මගේ මල්ලි වගේ කියලත් ගොඩක් අය කියනවා. මේනකනම් ඒකට ඒ තරම් ආසා නැහැ. එයා කියන්නෙ දුව එයා වගේ කියලා. දුවගේ කොණ්ඩේ විතරක් මගේ වගේ කියනවා. බබාට ලස්සන තොල් දෙකක් තියෙනවා. මේනක කට උල් කර කර කියනවා දුවගේ තොල් දෙකත් එයාගේ වගේ කියලා.

    දුව ඉපදුන ගමන් නමක් තිබ්බා නේද. ඒ නම කලින් ඉදන් හිතන් හිටපු නමක්ද?

    දුවෙක්ද පුතෙක්ද හම්බෙන්න ඉන්නෙ කියලා දන්නෙ නැති කාලේ අපි පුතෙකුටයි දුවෙකුටයි දෙන්නෙක්ටම නම් හිතාගෙන හිටියා. දුවෙක් ලැබෙන්න ඉන්නේ කියලා දැනගත්තම අපි දෙන්නම හිතුවා හිතාගෙන ඉන්න නමම එයාට දානවා කියලා. ඒ හිතාගෙන හිටපු නම තමයි මේලි නිකොලා රජපක්ෂ කියලා දුවට දැම්මේ.

    ඒ නම ඇතුළේ සැගවුණ කතාවක් තියෙනවා නේද?

    මම පාසල් යන කාලේ මගේ පන්තියේ හිටියා මේලි කියලා චයිනීස් ළමයෙක්. එයා මට වඩා අවුරුදු අටක් විතර බාලයි. එයා හරිම හුරු බුහුටියි. මම එයාට හරිම ආදරෙයි. ඉතිං මම හිතාගෙන හිටියා කවදා හරි M අකුරින් නම පටන් ගන්න කෙනෙක්ව විවාහ කරගෙන මට දුවෙක් හම්බුණොත් මේලි කියලා නම තියනවා කියලා. මේනකත් ඒකට කැමැති වුණා. මගේ පාසලේ හිටපු මේලි දැන් ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ. අපි තවම කතා බහකරනවා. ඉතිං එයා අපේ දුවට තෑග්ගකුත් එවලා තිබ්බා. . එයා ඒ තෑග්ගේ සදහන් කරලා තිබ්බේ ලොකු මේලිගෙන් පොඩි මේලිට කියලා. මේලි කියන නමේ චීන භාෂාවේ තේරුම ලස්සන කියන එක. ඉතිං හිතාගෙන හිටපු විදිහට ඒ නම දැම්මා. අපි කතෝලික නිසා නමක් දාද්දි සාන්තුවරයෙකුගේ නමක් දානවා. මගේ නම N අකුරෙන් පටන් ගන්න නිසා නිකොලා කියන සාන්තුවරයාගෙ නමත් දුවට දැම්මා.

    දුවගේ වැඩ රාජකාරිවලට මේනකගෙන් උදවු ලැබෙනවද?

    ඇත්තටම මේනක ගොඩක් ලොකු සහයෝගයක් දෙනවා. බබාව අතේ තියාගෙන ඉන්න එයා හරි කැමැතියි. මම බබාට කිරි දුන්නම බබාට ගුඩුස් යවන්නම් කියලා එයා දුවව අතට ගන්නවා. එයා හැම තිස්සෙම දුවව නලවන්නෙ තාත්තගේ දුව කියලා. මම මේනකව යාලුවෙක් විදිහට, පෙම්වතෙක් විදිහට, සැමියෙක් විදිහට දැකලා තිබ්බා. ඒත් තාත්තා කෙනෙක් විදිහට අපේ දරුවා වෙනුවෙන් එයා කරන දේවල් දකින්න ලැබෙන්නෙ දැන්. බබාගෙ වැඩ අපි දෙන්නම බෙදාගෙන කරන්නෙ. ඉතිං මේනක හරිම ආදරෙයි බබාට. එයාව රෑ තිස්සෙත් නලවනවා. බබාව නලවන්න අපි සිංදු කියනවා. රෑට බබාව අපි දෙන්නගෙ මැද්දේ තියාගෙන නිදාගන්නෙ. ඉතිං හැමතිස්සෙම එයා ගැන අවධානයෙන් ඉන්නෙ. රෑට ඉතිං අපි දෙන්නම දුව නිසා ඇහැරිලා ඉන්නවා.

    අම්මයි තාත්තායි එක්ක ඉන්න නිසා දුවගේ වැඩ රාජකාරිවලට තවත් පහසු ඇති නේද?

    ඔව්. අම්මයි ඩැඩයි මට හැම දේකදිම ඉන්නවා. මේනකගේ අම්මත් නිතරම ඇවිත් යනවා. ඒ නිසා මට බයක් නෑ. ගෙදර වැඩට ඉන්න කෙනා බබාව නාවනවා, බබාගෙ රෙදි සෝදනවා. පවුලේ අය ළග ඉන්න නිසා මම හරි වාසනාවන්තයි. හැමෝම මට උදවු කරනවා.

    දැන් මේනකගේ ආදරේ පළමු තැන වෙනස් වෙලාද?

    මේනක හැමදාම මට පොඩි ළමයෙක්ට වගේ සලකන්නෙ. මම බබාව නලවද්දි එයා මගෙන් අහනවා ඔයා බබාට ගොඩක් ආදරේද කියලා. එයා සමහර වෙලාවට කියනවා දැන් එයාගෙ පලවෙනි තැන බබා කියලා. ඊට පස්සෙ මට දුක හිතෙයි කියලා එයා කියනවා නෑ නෑ තාම පළවෙනි තැන මම කියලා. එයා අපි දෙන්නටම ආදරෙයි.

    නෙහාරා රංගන කටයුතු වලින් තව කොච්චර කල් නිවාඩු ගනියිද?

    පවුලේ අයගෙන් උදවු ලැබෙන නිසා මට ආයෙත් රංගන කටයුතුවලට ඉක්මනින් එකතු වෙන්න පුලුවන් වෙයි. බබා ලැබෙන්න ඉද්දි මම ගොඩක් මහත් වුණා. වෛද්‍ය උපදෙස් ලබාගෙන ආයෙත් මම හිටපු තත්ත්වයට එන්න ඕනෙ. ඊට පස්සේ ආයෙත් රංගන කටයුතුවලට එකතු වෙනවා.

    එතකොට දුවව මගහැරෙන්නෙ නැති වෙයිද?

    නෑ. කොහෙත්ම නැහැ. බබාට මුල් තැන දීලා තමයි මම අනෙක් දේවල් ගැන හිතන්නෙ. මගෙන් වෙන්න ඕනෙ යුතුකම මම මග හැරගන්නෙ නැහැ.

    අම්මයි තාත්තායි කලාවට නැඹුරුයි. දුව කවදා හරි කලාව තෝරා ගත්තොත් නෙහාරා ඒ තෝරා ගැනීමට කැමැති වෙනවද?

    එයා කවදා හරි කලාව තෝරගත්තොත් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි දෙන්නා කලාකරුවෝ නිසා බලෙන් එයාව ඒ මාර්ගයේ යවන්නෙ නැහැ. එයාගේ තෝරා ගැනිමට අපි නිදහස දෙනවා. හොද දේ තෝරාගන්න හැම වෙලාවෙම අපි මග පෙන්වනවා.

    මවක් නිසා නෙහාරාගේ හීන දැන් වෙනස් වෙලා ඇති නේද?

    මම දේවල් ගැන ලොකුවට හීන මවන කෙනෙක් නෙමෙයි. මොකද හීන මවලා ඒවා ඉටුවුණේ නැත්නම් මට දුකයි. දැන් තියෙන ලොකුම හීනය දුව. එයාට හොද දේවල් උගන්නලා රටේ හොද පුරවැසියෙක් කරන්න තමයි බලාපොරොත්තුව තියෙන්නෙ.

    තිළිණි කෞශල්‍යා විජේසිංහ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here