නීති පිළිපැද්දොත් ජීවිත රැකේවි

    0
    9
    Author(s): 
    දුමින්ද අලුත්ගෙදර

    – PCR positive වන හැම කෙනෙක්ම රෝහල්ගත කරනවා 
    – වෛද්‍යවරුන්ට N95 මුව ආවරණ දිය යුතුයි
    – ජනතාවගේ කැපවීම ඉතා වැදගත්
    – ඉතිහාසයේ පටන් අපි බෝවන රෝග මර්ධනය කළ රටක්
    – සීත කාලයට රෝග ව්‍යාප්තිය වැඩිවිය හැකියි
    – සුළුතරයකගේ නොමනා ක්‍රියා රටක් විනාශ කරන්න පුළුවන්

    ගෝලීය වසංගතයක් බවට පත්වූ කොවිඩ් 19ට ලෝකය දක්වන ප්‍රතිචාර හමුවේ, ලක් රජය ගෙන ඇති සාධනීය පියවර මෙන්ම මහජන සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් අනෙකුත් අංශ දක්වන දායකත්වය කෙබඳුද? එය කොතෙක් දුරට යහපත් ද යන කාරණයත්, දේශීය ඖෂධ සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය හා ආසාදිතයන්ගේ වැඩි වීම අවම කරගැනීමට රටක් ලෙස අප ගත යුතු ක්‍රියාමාර්ගත්, එය මෙරටින් තුරන් කිරීමට පුරවැසියන්ගේ වගකීම කවරක්ද යන්නත් විමසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සමඟ කළ සංවාදයකි.

    ලෝකය පුරා ව්‍යාප්ත වී ඇති කොරෝනා වසංගත තත්ත්වය පාලනය කරන්නට ලක් රජය ගෙන ඇති පියවර ප්‍රශස්ත මට්ටමක තිබෙන නමුත් දිනෙන් දින ආසාදිතයන්ගේ ඉහළ යාමත් මරණ ගණන වැඩි වීමත් දක්නට ලැබෙනවා. මෙහි ඇත්ත තත්ත්වය මොකක්ද?

    කොවිඩ් වසංගතය ගැන අපි මුල ඉඳලම අවධාරණය කළ කාරණා තියෙනවා. පළමු කාරණය තමයි මේ ඇති වෙලා තියෙන්නේ ගෝලීය වසංගතයක් කියන එක. ලෝකය පුරා තියෙන ප්‍රවණතා අමතක කරලා අපට තනිව කටයුතු කරන්න බැහැ. මේ වෙලාවේ තියෙන රටාව තමයි රෝගීන් ගණන අසාමාන්‍ය ලෙස ඉහළ යාම. සමස්ත රෝගීන්ගේ ගණන හත් කෝටිය ඉක්මවලා තියෙන අවස්ථාවක, මරණ ලක්ෂ 16 ඉක්මවලා තියෙනවා. අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය සහ අපේ අසල්වැසි රට වන ඉන්දියාව වගේ රටවලත් පවතින දේශගුණික තත්ත්වයන්, එළඹෙන සීත කාලය මෙන්ම උත්සව සමයත් එක්ක ඉතා අධික රෝග ව්‍යාප්තියක් සිදු විය හැකියි. ශ්‍රී ලංකාව විදිහට අපි සියයට සියයක් කවර ක්‍රියාමාර්ග ගත්තත්, ඉහත සඳහන් කළ ලෝක ප්‍රවණතාවලින් ගැලවෙන්න අමාරුයි. ඒ තත්ත්වය යටතේ අපේ රටේත් වෙනදාට වඩා සාපේක්ෂව රෝගීන් ගණන වැඩි වෙමින් තියෙනවා. මරණ ගණනත් යම් මට්ටමකට වැඩි වෙලා තියෙනවා. නමුත්, මේ වනතුරුත් අරගෙන තියෙන ක්‍රියාමාර්ග යහපත් නිසා මේ තත්ත්වයෙන් රැකෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා.

    රටක් විදිහට වසංගතය සම්බන්ධයෙන් ආරම්භයේ සිට අද දක්වා අරගෙන තියෙන ප්‍රශස්ත ක්‍රියාමාර්ග අනුව රෝගීන් සියයට 75කට වඩා වැඩි ප්‍රමාණයක් සුව කරලා නිවෙස්වලට යවන්න හැකියාව ලැබිලා තියෙනවා. අද වන විටත් අපේ ක්‍රියාන්විතය බිඳ නොවැටී ඉදිරියට යනවා. අමෙරිකාව වගේ රටවල රෝගීන් මරණාසන්න මොහොතේ රෝහලට ගෙන එන්නට කියලයි ජනතාවට දැනුවත් කරලා තියෙන්නේ. නමුත්, අපේ රටේ කිසිම රෝග ලක්ෂණයක් නොමැති PCR positive වන හැම කෙනෙක්ම රෝහල්ගත කරනවා. නිරෝධායනය වන හැම කෙනෙක් ගැනම සොයා බලනවා. ලෝකයේ කිසිම රටක එහෙම කරන්නේ නැහැ. අපි අරගෙන තියෙන ක්‍රියාමාර්ග දියුණු රටකටත් වඩා යහපත් මට්ටමක තියෙනවා. අපිට තියෙන මානව සම්පත සහ භෞතික සම්පත නිවැරදිව කළමනාකරණය කරගෙන ඉස්සරහට ගිහින් තියෙනවා. ඒ නිසා රජයක් විදිහට ආරම්භයේ ඉඳලා මේ දක්වා අරගෙන තියෙන තීන්දු තීරණ සහ ක්‍රියාමාර්ග නිසා මේ තත්ත්වය අපට අද දකින්නට තියෙනවා.

    කොහොම නමුත්, වෛද්‍ය සංගමයේ සභාපතිවරයා කියලා තිබුණා රෝගය ඉක්මනින් පාලනය කිරීම හෝ තුරන් කිරීම කළ නොහැකි තත්ත්වයක්, එනිසා වත්මන් රජය විසින් වසංගත තත්ත්වය ගැන මහජනතාව දැනුවත් කළ යුතුයි කියලා. රජය පැත්තෙන් ඒ කාරණය සිදු වෙන්නෙ නැද්ද?

    අපට විවේචනයක් තියෙනවා නම්, ප්‍රශ්නයක් තියෙනවා නම් තියෙන්නේ ඔබ අහන ප්‍රශ්නය තමයි. අපි පැහැදිලිව කිව්වා මේ රෝගය මහජන සෞඛ්‍ය ගැටලුවක් කියලා. එතකොට මහජනතාවගේ සහයෝගය ලැබෙන්නේ නැතිව මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. මේ දක්වා මහජන සෞඛ්‍ය ගැටලු රටක් විදිහට අපි විසඳලා තියෙන්නේ, බලහත්කාරයෙන් මහජන සහාය ගෙන. පෝලියෝ තුරන් කරපු රටක් වගේම, මැලේරියාව, සරම්ප, රුබෙල්ලා වැනි රෝගත් මර්දනය කරපු රටක්. ජාති, ආගම්, කුල බේදයකින් තොරව සියලුම පුරවැසියන්ගේ සහයෝගය ගෙන ඒ රෝග අපි තුරන් කළා.

    කොවිඩ් කියන්නෙත් මහජන සෞඛ්‍ය ගැටලුවක්. ඒ නිසා මේ රටේ මහජන සහාය රෝගය තුරන් කරන්න අනිවාර්යයෙන් ලැබෙන්න ඕනෑ. අවදානම සන්නිවේදනය කළ යුතුයි කියලයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කියන්නේ. මුලින්ම අවදානම තක්සේරු කරන්නට ඕනෑ. ඒ නිසා තමයි අපි PCR පරීක්ෂණ කරන්නේ. මේ පරීක්ෂණයත් එක්ක හඳුනාගන්න අවදානම ජනතාවට දැනෙන පරිදි සන්නිවේදනය වෙන්නට ඕනෑ. එතකොට ජනතාව වගකීම් සහගතව හැසිරෙනවා. වසංගත රෝග විද්‍යා අංශයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ කාරණයේ ප්‍රධාන වගකීම තියෙනවා. නමුත්, තාමත් අපි දකිනවා නිවැරදි ලෙස අවදානම සන්නිවේදනය වෙන්නෙ නැහැ කියලා. ඔබ නිවසින් එළියට බහිනකොට අවදානම පිළිබඳ මනා අවබෝධයකින් යනවා නම් ඔබ වගකීම් සහගත ලෙස හැසිරෙනවා.

    ග්‍රාම සේවා වසම් මට්ටමින් ජනතාවට තොරතුරු ලැබෙන්නට ඕනෑ කියලා අපි යෝජනා කළා. ඒ ගැටලු තවමත් තියෙනවා. අද වාර්තා වන රෝගීන්ගේ තොරතුරු දින දෙක තුනකට පෙර තත්ත්වයන්. ඒ නිසා තමයි මේ අවදානම ජනතාවට ඉතා ඉක්මනින් පෙන්නුම් කරන්න අවශ්‍යයි කියලා අපි කියන්නේ. 24 පැය පුරාම යාවත්කාලීන සිතියමක් හරහා මේ තොරතුරු දිය යුතුයි කියලා අපි කියනවා. මේ සිතියම අපි සකස් කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයට දීලා තියෙනවා. ජනතාව දැනුවත් කිරීමේ කාර්යය වඩා කාර්යක්ෂම කරන්න ඕනෑ කියන තැන අපි ඉන්නවා.

    ශ්‍රී ලංකාවේ ජනතාවගේ කැපවීම යහපත් මට්ටමක තිබුණත් ඇතැම් තැන් ප්‍රශ්නකාරී වුණා. උදාහරණයක් විදිහට ගත්තොත් අට­ුලුගම සහ මහර බන්ධනාගාර සිදුවීම් දකින්න ලැබෙන්නේ ජනතාව අවදානම ගැන අවම අවධානයක් යොමු කරලා තියෙනවා කියන එකද?

    මම කලිනුත් කිව්වා, ජනතා සහයෝගයක් නොමැතිව මේ වසංගතය පාලනය කරන්නවත්, තුරන් කරන්නවත් ලෙහෙසි පහසු නැහැ. යම් කණ්ඩායමක් හෝ ජනතා කොටසක් අපට සහාය දෙන්නේ නැති නම්, එතැන ගැටලුවක් තියෙනවා. ඒ නිසා උපක්‍රමික ක්‍රමවේදයන් වෙනස් වෙන්නට ඕනෑ. ජනතාව අතරින්ම ප්‍රජා මූලික කමිටු හරහා යෝජනා ගෙන ඉදිරියට යන්නට ඕනෑ. අට­ුලුගමත් පෙර තත්ත්වයට වඩා දැන් තත්ත්වය වෙනස් වෙමින් තියෙනවා. කොහොම නමුත්, ප්‍රජාව බලගැන්වීම් කරන්නට ඕනෑ. අටුලුගම ජනතාව ඒ විදිහට හැසිරෙන්න ගත්තොත් ගෙවල්වල මිය යන්නේ අටුලුගම ජනතාවම තමයි. ඒ නිසා ඒ ප්‍රජාව බලකරණයට ලක් කරලා ප්‍රජාව අතරින්ම හඬක් නැඟෙන්නට ඕනෑ. අපි අපේ උපක්‍රමශීලි ප්‍රවේශයන් වෙනස් කරන්න ඕනෑ.

    අද වෙනතුරු අපි ගෙන තියෙන සාර්ථකත්වය පැති කිහිපයකින් අත්කරගෙන තිබෙනවා. වත්මන් රජය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ අවශ්‍ය වෙලාවට ගනිමින් ඉන්නවා. සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල කාර්යක්ෂමතාවය ඉතා වැදගත් තැනක් ගෙන තිබෙනවා. මහජනතාවගේ වගකීම සහ සහයෝගය අත්‍යවශ්‍ය මොහොතක් විදිහටයි අද තත්ත්වය දකින්න තියෙන්නේ. මේ මොහොතේ මහජනතාවගෙන් බහුතරයක් තත්ත්වය අවබෝධ කරගෙන සහයෝගය දෙනවා. නමුත් සුළුතරයක නොමනා ක්‍රියා රටක් විනාශ කරන්න ප්‍රමාණවත්. ඒ නිසා මේ වෙලාවේ ජනතාව වර්ගවාදීව නොබෙදී සෑම කෙනෙක්ම එකාවන්ව කොරෝනා වසංගතය පරාජය කරන්න පෙළ ගැහෙන්නට ඕනෑ.

    දේශීය ඖෂධ භාවිතය ගැන මතු වූ කතා බහ අද වන විට රටේ ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙමින් තිබෙනවා. ඔබ ඊට දක්වන ප්‍රතිචාරය මොකක් ද?

    මේ සංවාදය ආරම්භයේ සිට මම කියන කාරණයක් තමයි, මේ සඳහා යම් ඖෂධයක් සොයා ගැනීමේදී එන්නත් හෝ බටහිර ඖෂධයක් වෙන්න පුළුවන්, දේශීය ඖෂධයක් වෙන්න පුළුවන්, හෙළ ඔසුවක් වෙන්න පුළුවන්, මේ කවර ආකාරයේ ඖෂධයක් වුවත්, විද්‍යාත්මක ප්‍රවේශයක් ඔස්සේ ජනතා විශ්වාසයක් ගොඩනැඟෙන පරිදි මේ දේවල් කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය පර්යේෂණ කළ යුතුයි. කොහොම නමුත් අපි අපේ දේශීයත්වය කියන එක හෑල්ලු නොකළ යුතුයි. අපට හෙළ වෙදකමක් තිබුණා. ඒ දේවල් හෑල්ලු කළ යුතු නැහැ. ඒවා සාර්ථක වෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි අපි කියන්නේ මේ දේවල් විද්‍යාත්මක පර්යේෂණ ක්‍රම හරහා ජනතා විශ්වාසය ඇති වන පරිදි කළ යුතුයි කියලා.

    Pfizer එන්නත සම්බන්ධයෙන් කතා කළොත් ධනවත් රටවල් පුරවැසියන්ගේ ප්‍රමාණයටත් වඩා ඇණවුම් කරලා තියෙනවා. එවැනි එන්නතක් අපේ රටට ලැබෙන කාලයක් හෝ ප්‍රමාණයක් ගැන සඳහන් කරන්න පුළුවන් ද?

    මේ වන විට අවසන් අදියරට එන්නත් දහයක් විතර ඇවිත් තියෙනවා. දැනට හදිසි මිලදී ගැනීම් යටතේ සහ භාවිතයට අවසර ලැබිලා තියෙන එන්නත වන්නේ Pfizer එන්නතයි. නමුත්, එන්නත් ගැන අධ්‍යයනය කරමින් පවතිනවා. සමහර එන්නත් දුන් පසු ඇති වන අතුරු ආබාධ ගැන තවමත් දන්නේ නැහැ. එන්නතින් ලැබෙන ප්‍රතිශක්තිය ශරීරයේ කොපමණ කාලයක් රඳා පවතිනවා ද යන්න පිළිබඳව දන්නෙ නැහැ. අනෙක් කාරණය තමයි මේ එන්නත ගබඩා කිරීමේ දී සෙල්සියස් අංශක සෘණ 70ක් (-70 C)සහිත ස්ථානයක ගබඩා කළ යුතුයි. අපේ වගේ රටක එවැනි ස්ථාන තියෙනව ද? කියන ප්‍රශ්නය අපට තියෙනවා. ඒ නිසා තමයි අපි එක එන්නතක් ගැන විශ්වාසය නොතබා ඉන්නේ. ජාතික පර්යේෂණ සභාවට වත්මන් අගමැතිවරයා දැනුම් දීලා තියෙනවා ලෝකයේ සොයාගෙන ඇති එන්නත්වලින් සාර්ථක එන්නත් ගැන පර්යේෂණයක් කරලා තොරතුරු දෙන්න කියලා. එහෙම අවසන් අදියරට පැමිණ තිබෙන එන්නත් 10ක් විතර තියෙනවා. ඒ සියල්ලම අධ්‍යයනය කරලා අපේ රටට ගැළපෙන එන්නත මොකක් ද කියන එක අප තීරණය කළ යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානය අපට මෙතැනදී උදව් කළ යුතුයි. ඊට හේතුව තමයි එන්නත් නිපදවීම සිදු වන්නේ සීමිත ප්‍රමාණයක්. ඒ නිසා මිල ගණන් ඉහළ යන්න පුළුවන්. අපේ වගේ මධ්‍යම ආදායම් සහිත රටවලට උදව් කරන එක ලෝක සෞඛ්‍ය සංවිධානයේ වගකීමක්. අපේ රජයට තියෙන වගකීම වන්නේ මේ එන්නත් ගෙන්වා ගැනීමට අවශ්‍ය කරන මූලික කටයුතු සිදු කිරීම සහ ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක නිසි සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් මේ කාර්යය සිදු කිරීමයි. කොහොම නමුත් මේ කිසිම එන්නතකට අනුමැතියක් ලැබිලා නැහැ. ඒ නිසා මේ එන්නත් ගෙන්වලා අපේ රටේ ජනතාව අනතුරේ හෙළන්නට අපට බැහැ. ඒ නිසා අපි අනුමැතිය ලැබුණ විගස එන්නත් අපේ රටට ගෙන්වන්න අවශ්‍ය වටපිටාව සකසා ගත යුතුයි. ඒ කාර්යය රජය දැනටමත් කරමින් ඉන්නවා. 

     වන විට වයිරසය ව්‍යාප්තියේ මූලාශ්‍ර සොයා ගැනීමේ අපහසුවක් තියෙනවා කියලා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය කියා තිබුණා. වෛද්‍ය වෘත්තිකයනුත්, අනෙකුත් සෞඛ්‍ය සේවාවල නිරතවූවනුත් යම් අවදානමක ඉන්න බවක් පේන්න තියෙනවා. ඒ ගැන ඔබේ අදහස මොකක් ද?

    මූලාශ්‍ර සොයා ගැනීමට නොහැකි රෝගීන් වාර්තා වීම භයානක තත්ත්වයක් නිර්මාණය කරනවා. මූලාශ්‍රයක් නොමැති වුණාම රෝග ආවේක්ශණය සම්බන්ධයෙන් ගැටලු පැන නඟිනවා. ක්ෂේත්‍රයේ බිම්මට්ටමේ සහ පළමු පෙ‍ළේ සෞඛ්‍ය සේවා නිලධාරීන් තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු. සමහර පළාත්වලින් හමුවන රෝගීන්ට රෝග වැලඳුණේ කොහෙන්ද කියන කාරණය පිළිබඳ නිශ්චිත අදහස් නොමැතිව මහජන පරීක්ෂකවරුන්ට කටයුතු කරන්න සිදු වෙලා තියෙනවා. මේ තත්ත්වය ඉතා සංකීර්ණයි. ඒ නිසා මේ අවදානමට සරිලන ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය පියවර අප විසින් ගත යුතුයි. ඊළඟ කාරණය තමයි ආරම්භයේදී අපට ආරක්ෂක උපකරණවල පවා ප්‍රශ්න තිබුණා. අද වෙනකොට ඒවා නිවැරැදි කරන්න රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාව ලැබිලා තියෙනවා. සමහර තැන්වල ප්‍රශ්න තිබෙනවා. වෛද්‍යවරුන්ට N95 මුව ආවරණ දිය යුතුයි. මුල් කාලයේ මේ ප්‍රශ්නය රට පුරාම තිබුණා. ඒත් දැන් තැන් කිහිපයකට ඒ ප්‍රශ්නය සීමා වෙලා තියෙනවා. සෞඛ්‍ය වෘත්තිකයන් තමයි රෝගීන් එක්ක ගැටෙන පිරිස. ඒ නිසා ඔවුන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වීම අනිවාර්යයෙන් කළ යුතුයි. අහඹු ලෙස තෝරාගත් තැන්වල PCR පරීක්ෂණ කරන්න අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි. සෞඛ්‍ය වෘත්තිකයන් දිරිගැන්වීමේ කාර්යය ඉතා හොඳින් සිදු කළ යුතුයි. ඔවුන්ගේ මානසික සෞඛ්‍යය මෙන්ම ආර්ථික මට්ටම දියුණු කරන්න පියවර ගන්න ඕනෑ.

    වසංගත තත්ත්වයත් එක්ක පාලක පක්ෂය සහ නිලධාරීන් මෙන්ම ජනතාව කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න ඔබ පැහැදිලි කරන්නේ කොහොම ද?

    පාලනය පැත්තෙන් අරගෙන තියෙන ක්‍රියාමාර්ග ගැන සතුටු වෙනවා. රට නැවත සාමාන්‍යකරණයට යනකොට ගත යුතු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ග්‍රාම සේවා මට්ටමින් සිදු කරන යාන්ත්‍රණය වඩාත් කාර්යක්ෂම කෙරෙන්නට ඕනෑ. දැනටමත් හුදෙකලා කිරීම් ඉවත් කිරීම් නිවැරදිව සිදුවෙනවා. අවදානමට සරිලන ප්‍රතිචාරයක් පාලක පක්ෂයෙන් අපි බලාපොරොත්තු වෙනවා. ජනතාවගේ පැත්තෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අවබෝධයෙන් යුක්ත ජනතා හැසිරීමයි. අපි පක්ෂ පාට, ජාති ආගම් අතැරලා නිරෝධායන නීතියට අවනත වෙමින් කටයුතු කරනවා නම් ඉදිරි වර්ෂය සුබදායී කරගන්න පුළුවන් කියලා මම පූර්ණ විශ්වාසයකින් පසුවෙනවා.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here