බය වෙන්න එපා හෙළ වෙදකමෙන් ෆයිබ්‍රොයිඩ් දිය කරන්න පුළුවන්

    0
    26

    ෆයිබ්‍රොයිඩ් කියන්නේ කාන්තාවන්ගේ ගර්භාෂයේ හට ගන්නා ගෙඩි වර්ගයක්. කාන්තාවන්ගේ ආර්තවය පටන් ගත්තාට පසු මෙම ගෙඩි හට ගැනීම සිදු වෙනවා. මේවා මාංශමය ගෙඩි වර්ගයක්. ගර්භාෂ මාර්ගයේ ඇතුළත බිත්තිවල හෝ ගර්භාෂයේ පිටත බිත්තිවල මේවා හට ගන්න පුළුවනි. ගෙඩි එකක් දෙකක් හෝ ‍25ක් 30ක් හෝ තිබෙන්නට පුළුවනි. ෆයිබ්‍රොයිඩ් ගැටිති වශයෙන් හට ගන්නා අතර, ඇතැම් අවස්ථාවන්හිදී බෙලි ගෙඩියක් හෝ ජම්බෝල ගෙඩියක් තරමට ලොකු වෙන අවස්ථා ද දක්නට ලැබෙනවා. බොහෝ කාන්තාවන්ට නොදැනුවත්වම මෙම ගෙඩි ගර්භාෂයේ ඇතුළේ හෝ පිටත විශාල වශයෙන් තිබිය හැකියි.

    මේ ෆයිබ්‍රොයිඩ් තත්ත්වය හට ගැනීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ට්‍රොන් හෝමෝනයේ බලපෑමයි. මෙම ගෙඩි පිළිකාවක් බවට පත් වන්නේ ඉතාම කලාතුරකින්.

    ගර්භාෂය ඇතුළේ මෙම ගෙඩි හට ගත් විට මාසික ඔසප්වීම සිදු වෙන සෑම අවස්ථාවකදීම මෙම ගෙඩි ලොකු වීමට පටන් ගන්නවා. ඒ වගේම මාස් ශුද්ධිය අක්‍රමවත් වෙනවා. රුධිරය වැඩිපුර පිට වෙනවා. මාස් ශුද්ධිය දින ගණනාවක්ම පවතිනවා. අධික කැක්කුමක් හට ගන්නවා වගේම රුධිරය කැටි වශයෙන් පිටවීමක් දක්නට ලැබෙනවා.

    ගර්භාෂය ඇතුළත හෝ බිත්ති තුළ ගෙඩි හට ගත් විට කාන්තාවන්ට දරු ඵල අඩු වෙනවා. මෙම ගෙඩි සාමාන්‍ය‍යෙන් කිසියම් බරකින් යුක්තයි. එහි පීඩනය මුත්‍රාශයට බලපානවා. මේ නිසා මුත්‍රා පිටවීමේ වාර ගණන වැඩි වෙන්න පුළුවන්. මුත්‍රාශය වගේම ගුද මාර්ගයත් මේ නිසා අවහිර වෙන්න පුළුවනි.

    මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස උදරයේ කිසියම් අපහසුතා, උදරයේ බරක් දැනීම, පිරුණු ස්වභාවයක් දැනීම, නිදා සිටින විට සහ සිටගෙන සිටින විට අපහසුතා දැනීම හඳුන්වන්න පුළුවන්.

    ෆයිබ්‍රොයිඩි කුඩා අවස්ථාවේම හඳුනා ගත හොත් සිංහල ආයුර්වේද ඖෂධ මඟින් සුව කර ගත හැකියි. මේවා දිය කර හැරිය හැකි ක්‍රම පාරම්පරික ආයුර්වේදයේ තිබෙනවා. බොන බෙහෙත් වර්ග, කෂාය, තැවිලි, තෙල් ආලේපන සහ රස බෙහෙත් වර්ග මේ සඳහා යොදා ගන්නවා.

    මෙම ගෙඩි නාරං ගෙඩියක් තරමට විශාල වී ඇත්නම් ආයුර්වේද ක්‍රම තුළින් දිය කර හැරීමට නොහැකි වෙනවා. එවිට කළ යුතු වන්නේ බටහිර වෛද්‍ය ක්‍රම තුළින් ශල්‍ය කර්මයකට යෑමයි.

    මෙහි බරපතළම තත්ත්වය වන්නේ මුළු ගර්භාෂයම ගෙඩිවලින් පිරී තිබීමයි. එවිට ශල්‍ය කර්මයක් සිදු කොට ගර්භාෂය ඉවත් කිරීම කළ යුතුයි.

    බටහිර වෛද්‍ය ක්‍රම මඟින් මාසික ඔසප් වීම නැවැත්වීමට ඖෂධ නියම කරනවා. එවිට මෙම ගෙඩි විශාල වීම නවතිනවා. ගර්භනීභාවයට පත් වීමෙන් ද මෙම ගෙඩිවල ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම වයස අවුරුදු 50ට ආසන්න කාන්තාවන්ට මෙම තත්ත්වය ඇති වූ විට රෝග ලක්ෂණ විශාල වශයෙන් පෙන්වන්නේ නැහැ.

     

    චතුමී පිටිපන

     

    වෛද්‍ය ජයන්ත අමරසිංහ

    (MBBS කොළඹ)

    දිස්ත්‍රික් රෝහල ගම්පහ,

    පාරම්පරික දේශීය වෛද්‍ය (14393)

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here