බැඩ්මින්ටන් ක්‍රීඩාවට වසන්ත කාලයක්

0
17
Author(s): 
ෆවුස් මොහොමඩ්

කොවිඩ් වසංගතය හේතුවෙන් පසුබෑමකට ලක්වූ අන්තර්ජාතික ක්‍රීඩා ක්ෂේත්‍රයට නව පිබිදීමක් ඇති කරලීමට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය (එල්පීඑල්) සමත්වෙද්දී පළමු වරට ‘ෆ්‍රැන්චයිස්’ මුහුණවර යටතේ බැඩ්මින්ටන් ලීග් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සැලසුම් කර තිබේ. ‘ලංකා ෂට්ල් අභියෝගතා 2020’ (එල්එස්සී) නමින් හඳුන්වන මේ තරගාවලිය හෙට (16) සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. තරගාවලියේ සමාරම්භක උත්සවය සහ සමාප්ති උත්සවය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය දැනුම් දෙයි.

පුහුණුවීම් කටයුතුවල නිරතවූවත් මෙරට ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික මට්ටමේ හෝ අන්තර්ජාතික මට්ටමේ කිසිදු තරගාවලියක් නොතිබෙන තත්ත්වයක මෙවැනි ලීග් තරගාවලියක් පැවැත්වීමට බැඩ්මින්ටන් ආයතනය ඉදිරිපත්වී ඇත්තේ ජාතික සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමේ අරමුණ ඇතිවය.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සහ වෙළෙඳසේවා බැඩ්මින්ටන් සංගම් ශාලාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාගාරවල දී තරග පැවැත්වෙන ලංකා ෂට්ල් අභියෝගතා 2020 තරගාවලියට සදර්න් ස්ටාර්ස්, නෝදන් නයිට්ස්, අයිලන්ඩ් ටයිටන්ස්, වෙස්ටන් වොරියර්ස්, ඊස්ටන් ඊගල්ස් සහ සෙන්ට්‍රල් කෘසඩර්ස් නමින් කණ්ඩායම් 6ක් ක්‍රීඩා කරති. සෑම කණ්ඩායමකටම ක්‍රීඩක ක්‍රීඩිකවෝ 16ක් ඇතුළත් වෙති.

ජාතික බැඩ්මින්ටන් සංචිතයේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් මෙහෙයවනු ලබන මේ කණ්ඩායම් නිලූක කරුණාරත්න, දිනූක කරුණාරත්න, සචින් ඩයස්, බුවනෙක ගුණතිලක, තිළිණි හෙන්දහේවා, කාවින්දි සිරිමාන්නගේ සහ ඩිල්මි ඩයස් ඇතුළු ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක්වී සිටිති.

ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය සහ සහයෝගය යටතේ දැඩි සෞඛ්‍ය නීතිරෙගුලාසි මැද පැවැත්වෙන ලංකා ෂට්ල් අභියෝගතා 2020 තරගාවලියේ ජයග්‍රාහි කණ්ඩායමට රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් පිරිනැමීමට කටයුතු යොදා ඇති අතර, ජයග්‍රාහකයන්ට පිරිනැමෙන මුළු ත්‍යාග මුදල ලක්ෂ 6කි.

මෙවැනි ලීග් තරගාවලියක් හඳුන්වාදීමෙන් මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නව පෙරළියක් සිදුවනු ඇතැයි ද, ඉදිරි වසරවලදී ක්‍රීඩාවේ තරගකාරීත්වය ඉහළ යනු ඇතැයි ද ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ විශ්වාසය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here