රාජකීය බෝධි පූජෝපහාර

    0
    17

    ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම වීමෙන් පසු ධර්ම දූතයන් වහන්සේලා විචිත්‍ර ධර්ම දේශනා ඉදිරිපත් කළහ. ‍ෙම් දේශනවල ත්‍රිපිටකයට අයත් ථේර -ථේරී ගාථා, අපදාන පාලි, ජාතක පාලි යන ග්‍රන්ථයන්හි සඳහන් අපූරු බෝධි පූජා විස්තරත් එහි ආනිසංසත් පැවසෙන විචිත්‍ර කතන්දර ද අන්තර්ගත වන්නට ඇත. එම පුවත ඇතුළත් උපග්‍රන්ථ ද සඳහන් වේ. අප මෙහිදී විමසා බලන්නෙ ලංකාවේදී පශ්චාත් කාලීනයන් විසින් දක්වන ලද රාජකීය බෝධි පූජා උපහාර විධි පිළිබඳවයි. රජුන් හා වෙනත් ප්‍රභූවරයන් බෝධි පූජා පිළිබඳව විශේෂ ඇල්මක් දක්වන කල්හි පොදු ජනතා රුචිය ද ඉබේම ඒ පැත්තට නැඹුරුවීම ස්වභාවිකය.

    එසේ පවත්වන පුද පූජා බුද්ධියෙන් කෙරෙන නමුදු එයින් ලැබෙන පොදු ජනතා සහභාගිත්වය පාලක පක්ෂයට තවත් පැත්තකිනුත් ප්‍රයෝජනවත්ය. මේ හේතු සාධක පදනම් වී මුල්ම වකවානුවේ පටන් රටේ බහුතර ජනතාවගේ සහයෝගයත්, අභිරුචිය වර්ධනය කරමින් බෝධි පූජාව සංවර්ධනයට පත්විය. රට පුරා විසිරී සිටි බෝධිභාරකයන්ගේ පළපුරුද්දත්, මාර්ගෝපදේශකත්වයත් මේ සංවර්ධනයට බෙහෙවින්ම හිතකර උපකාරයක් විය. බෝධි පූජාව ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්තව ගියේ ඒ ආකාරයෙනි. දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161-137) යුගයේ ඵුස්සදේව නම් යෝධයා විත්තල පබ්බතයේ බෝධිය ළඟ මහ හඬින් සංඛයක් පිඹු බව සඳහන් වේ. එය පූජාවකි. එය රාජ කාලයේදීම කෝටියක් ධනය වියදම් කොට මහා උදාර බෝධි පූජාවක් කළේය. එතුමා විසින් පූජා වස්තුවක් වශයෙන් ස්වර්ණමය බෝධියක් නිර්මාණය කරන ලදී. එය අසිරිමත් බෝධියකි. මෙය රුවන්මැලි සෑයේ ධාතු ගර්භයේ සැරසිල්ලක් වශයෙන් කරවූවකි. එය දහ අට රියනක් උසය. ශාඛා පහකි. මුල පබළුමය. ඉන්ද්‍රනීල මැණික් බිමක පිහිටියේය. බෝ කඳ ද රිදීය. රන් මිනි මුතුවලින් කරන ලද පල පත්‍රවලින් යුක්තය. දළු පබුළුමය. බෝ ක‍ඳෙහි අෂ්ඨ මංගලිකා‍, පුෂ්පලතා, සිවුපා පන්ති, හංස පන්ති ආදිය කරවන ලදී. බෝධියට මුදුනින් තිබූ විසිතුරු වියන මුතුදැල්, කිකිණිදැල්, රන්කලමාලා, මුක්තා කලාපාදියෙන් විසිතුරු විය. හිරු සඳු තාරකා දී රූපවලින් ද යුක්ත විය. කූටකණ්ණතිස්ස රජු (ක්‍රි.පූ. 42-20) දවස චේතිය පබ්බතයෙහි බෝධියක් රෝපණය කළේය. ඉන්පසු ඉතිහාසයේ සඳහන් වන්නේ අතිශයින් සිත්ගන්නා බෝධි පූජාවකි. එය භාතිකාභය රජුන් (ක්‍රි.ව.141-165) විසින් කරවන ලද්දකි. විවිධ රජදරුවන් විශේෂ අවස්ථාවල සිදුකරන ලද පූජා විධි රාශියක් වංශකතාවේ සඳහන් වේ. සිතාන පූජාව සුවිශේෂී පූජාවක් හැටියට සඳහන්ය. මෙම පූජා විධිය බෝධියට වතුර ඉසීමක් හෝ බෝධිය නෑවීමක් විය හැකිය. භාතිකාභය රජු සිදුකළ මේ පූජාව තවත් අවස්ථාවක සඳහන් වන්නේ රත්නමාලි චෛත්‍යය උදෙසා කරන ලද “ථූප සේවන” (ස්ථූප නෑවීම) පූජාවයි. චේතිය සිනාන පූජාවෙන් භාතිකාභය රජතුමා මහත් ප්‍රීතියට පත්වුණු බව වංශ කතාව තුළින් පැහැදිලිය. චෛත්‍යයක් නෑවීමට වඩා බෝධියක් නෑවීම අර්ථවත්ය. භාතිකාභයගේ මේ පූජාව එදා පමණක් නොව අද ද මුහුණුවර පමණක් වෙනස් වෙමින් පවතී.

    යන්ත්‍රානුසාරයෙන් උඩට නගා ගත් ජලය මහසෑය මත වැටෙන සේ සැලසුම් කළ වැඩපිළිවෙළක් අනුව සිදුකර ඇති බව පැහැදිලිය. සිහින් පිනිපොද බෝධිය මතුපිට වැටෙත්ම රැස්ව සිටි බැතිමතුන්ට දැකුමත් සිසිලත් බෙහෙවින් ප්‍රියජනක ප්‍රබෝධයක් වීමට පුළුවන. එදා ඒ උදාර පූජා දර්ශනයෙන් කුල්මත් ජනයාගේ සාදු නාදයෙන් මහමෙවුනාව දෙවනත් වන්නට ඇත.

    වසභ රජු (ක්‍රි.ව. 66-110) මහබෝගේ විශාල පහන් පූජාවක් ද මහ බෝ මළුවෙහි සතර බුදුවරුන්ගේ පිළිම තැබූ පිළිමය ගෙයක් ද තැනවීය. පළමුවන සිරිනාගගේ පුත්‍ර වෝහාරික තිස්ස මහා බෝධි ගෘහයෙහි ලෝහමය රූප දෙකක් කරවීය. අභයනාග රජ මහබෝධිය සිසාරා පාෂාණමය පිල්කඩක් නිර්මාණය කළේය. දෙවැනි සිරිනාග රජු මහා බෝධිය හාත්පස ප්‍රාකාරය පිළිසකර කොට බෝධි ගෘහ වැලිතලා‍වේ මිදෙල්ල රුක්ගොමුවේ හංස වෘත්තයක් කරවීය. විචාරකයන් දක්වන ආකාරයට ඇතැම් විට මේ මණ්ඩපයක් වටේ බඳින ලද හංස රූප සහිත බැම්මක් විය හැකිය. ගෝඨාභය ජය ශ්‍රී මහා බෝධියෙහි ගල් පිල්කඩක් ද උතුරු දොරටුවේ තොරණක් ද සතර කොණේ වක්‍ර සහිත ටැම් සතරක් ද දොරටු තුනක සෙල් පිළිම තුනක් සහ දකුණු දොරටුවේ සෛලමය පර්යංකයක් ද කරවීමෙන් බෝධියට උපහාර කළ බව පැහැදිලිය. දෙවෙනි ජෙට්ඨතිස්ස රජු මහා බෝධි ගෘහයේ තොරණ තුනක් ගොඩනැංවිය. මහසෙන් රජතුමා ද බෝධිඝරයක් කළ බව සඳහන්ය. මීට අමතරව ධාතුසේන රජතුමා ද බෝධිය වටා ගෘහයක් තැනීය. දෙවන පෑතිස් යුගයේ බෝධි පූජා පෙරහරක් ද බෝධියට විශේෂ නානුමුර පූජාවක් ද කරන ලද්දේ බුදු බව ප්‍රාර්ථනා කරමින් බව සඳහන් වී තිබේ. තවද බෝධිය නෑවීම සඳහා ‍ලෝහමය ඔරු සොළොසක් කරවා බෝධියේ වම්පස බෝධිසත්ව ඝරයක් නිර්මාණය කර ඇති බව සඳහන්ය.

    සිලාකාල රජු දෛනිකව බෝධි පූජා කළ බව ද සඳහන්ය. කිත්සිරිමේඝ රජතුමා තඹ තහඩු ගෙන බෝධි ගෘහය සෙවිලි කළේය. දෙවෙනි අග්‍රබෝධි රජු බෝධිඝරය සමීපයෙහි ළිඳක් කැනවීය. සංඝතිස්ස රජු කේශ ධාතු, දාඨ ධාතු, මහා බෝධි යන වස්තු ත්‍රයටම පුද පූජා පැවැත්වීය. පළමුවෙනි දප්පුල රජු ද මද කලක් රාජ්‍ය විචාරණය කළ නමුදු අසිරිමත් බෝධි පූජා කීපයක්ම පැවැත් වූ බව වංශ කතාවේ සඳහන්ය. ඊළඟට බෝධි පූජා පවත්වා තිබෙන්නේ මහින්ද නම් යුවරාජයා විසිනුයි. ඔහු “වඩ්ඩමාන බෝධි” යන ආදරණීය නමෙනුදු ආමන්ත්‍රණය කළේය.

    පො‍ලොන්නරුවේ ශ්‍රේෂ්ඨ පාලකයෙක් වන මහා පරාක්‍රමබාහු රජතුමා සොලීන් විසින් වනසන ලද බෝධිය හා ප්‍රාකාර ආදිය පුනරුත්ථාපනය කළ බව ද නැවත බෝධීන් වහන්සේලා අසූවක් රෝපණය කළ බව ද සඳහන් වේ. මහබෝ ගෙවල් හතරක් සහ බෝ කොටු ද කර වූ බව වංශ කතාව තවත් පැහැදිලි කරයි. දඹදෙණි රාජධානියේ රජ කළ දෙවන පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව.1234 – 1269) තුගු පවුරුවලින් සහ තොරණ ද සහිතව බෝධි වෘක්ෂ ගණනාවක් රෝපණය කළේය. පරාක්‍රමබාහු යුගයේ දී කැලණියේ බෝධි‍, බෝධි ප්‍රාසාද, ප්‍රාකාර ආදිය සිදුකර තිබේ. සෙංකඩගල රාජ්‍යය සමයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අනුරාධපුරයට ගොස් ප්‍රාකාර ආදිය කරමින් විවිධාකාර පුද පූජා පැවැත්වූ බව වංශ කතාව පැහැදිලි කරයි.

    ඉහත දක්වන ලද රාජකීය බෝධි පූජෝපහාර සියල්ලක්ම මහින්දාගමනයේ ප්‍රතිඵල ලෙස පෙන්වා දිය හැකිය.

    අඟුණුකොළපැලැස්සේ අමිතානන්ද හිමි 
    ගාලු දිස්ත්‍රික් ගුරු උපදේශක (ඉතිහාසය)  
    විද්‍යා සමාධි මහ පිරිවෙන් ආචාර්ය

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here