අව්වයි වැස්සයි

    0
    31

    උඳුවප් අහස අඳුරු වන්නේ ද යළි ආලෝකමත් වන්නේ ද ඇදහිය නොහැකි වේගයෙනි. අඳුරු අහසින් වට වරුසාව ද දීර්ඝායුෂ නොලබයි. තෙමුණු තුරුපත් හිටිහැටියේ එබෙන හිරු හේතුකොටගෙන මුතු කැට විසිරුනු කලෙක මෙන් බබළයි.

    “අව්වයි වැස්සයි – නරියගෙ මඟුලයි” යි ගයන්නට උපදනා ආශාව යටපත් කරගනිමින් මම සිව්මංසල මගී ආවරණය කරා ඇවිද ගියෙමි. ගලායන ඇළට වැටුණු මාරා අතු ඉති සිඟිති පතුල් සිහිකරවන සෙයකි. කොලු කුරුට්ටන් ගේ නිමක් නැති දාංගලය විඳින්නට ඇල දිය ද මාරා ගස ද මධ්‍යහනය තෙක් ඉවසා සිටිය යුතුය.

    බසයක් බලාපොරොත්තුවෙන් පසුවන මඟින් අව්වෙන් වැස්සෙන් ගලවා ගන්නා මගී ආවරණය අපවිත්‍රය.

    “මේකේ හැටි බලන්ඩකෝ ඇයි අනේ කවුරුවත් මේවා අතුපතු ගාලා දාන්නෙ නැත්තෙ?”

    කාන්තාවක් චෝදනා කළාය. මට සිනා මැඬ ගත නොහැක.

    “ඇයි හිනාවෙන්නේ?”

    “නෑ ඉතින්. අපි ඒ දේ නොකර තව කෙනකුට දොස් කියන්නේ කොහොමද?”

    “අපි අර එහා කෙළවරේ ඉඳලා කොසුත් කරේ තියාගෙන එන්ඩද අනේ?” “අපට පුළුවන් කොස්සක් අරන් මේ හෝල්ට් එක ඇතුලෙම තියන්න. ඉස්සෙල්ලම එන කෙනෙක් අතුගානවා. එහෙම නැතුව ඉතින් මේක අපිරිසිදුයි කියලා අනිත් අයට බනින එකේ තේරුමක් නෑනේ.”

    එකඟත්වයක් හෝ විරුද්ධත්වයක් පල නොවීය. ඇතැම් විට ඇත්ත අමිහිරිය. නිහඬව තම තමන්ගේ සිතුවිලි තුළ සිරගත වූවන් ඉවසිය නුහුණුව මම නිශ්ශබ්දතාවය බිඳ දැමීමි.

    “තාමත් වෙලේ කිරිහැන්ද කොළ තියෙනවද නැන්දේ?”

    “නියර බඳින්න ඉතින් සුද්ද කරනවා නේ. කමතේ කිට්ටුව නං සරුවට තියෙනවා.” ගෙවිලියක එක වහා උත්තර බැන්දාය.

    “අනේ අපි ඉස්සර කඩෙන් ගත්තෙ ලුණු කැටෙයි, භූමිතෙල් ඩිංගයි විතරයි. අනිත් සේරම වත්ත පිටියෙන්, වෙලෙන්, හේනෙන් හොයාගත්තේ.”

    වෛද්‍ය සායනයට යාමට බසය බලාපොරොත්තුවෙන් සිටින්නී සිය අතීතය සිහිකරමින් සිනාසුනාය. සුසුම් ලෑවාය.

    “ඔව් ඉතින් කරවල ගන්ඩ ඕනෙත් නෑනෙ කඩෙන්. වැව් මාළු වේලලා ගෙදරම කරවල හදා ගන්නවා නේ.”

    ඇගේ යෙහෙළිය ද විවෘත ආර්ථිකය පැමිණෙන්නට පෙරාතුව මෙරට සරල ගැමි ජීවන රටාව සිහි කළා ය. “අතීතය ගෙවිලා ගිහින් ඉවරනේ. අදත් අපිට පුළුවන් නේද වටපිටාවෙන් වෑංජනයකට දෙයක් හොයාගන්ඩ?” මම ප්‍රශ්න කළෙමි.

    “අනේ මේ අලුත් අම්මලා කැමති නෑනේ කෙහෙල් මුවක්, ගොටු කොළ මිටක් ලියන්න. කහට කියලා.”

    රූපය පිළිබඳව උනන්දුවක් දැක්වීම වරදක් වේ ද? එළවළු පලතුරු හා ධාන්‍ය භාවිතයෙන් ස්වාභාවිකව රුව ඔප් නංවා ගත් ගැමි ලඳුන් සිහිකරමින් මම අනෙකක් ඇසුවෙමි.

    “කෙසෙල් මුවයි තිබ්බටු යි උයන්න පිහන්න හුඟාක් ක්‍රම තියෙනවා නේද?”

    “ඇයි බණ්ඩක්කා, වම්බටු එහෙම”

    “කංකුන්, මං වැව් තාවුල්ලට ගියානේ කංකුන් ටිකක් කඩාගෙන එන්ඩ. මිටයි දෙමිටයි කඩා ගත්තේ. මට කලන්තෙ කරකැවිල්ල. ගෙදර ආවා අමාරුවෙන්. රෑ වෙද්දි සහලෝල උණ. ඉස්පිරිතාලෙ ගියාම දොස්තර කියනවා විසක් ලු. අප්පේ මට මේ තවත් තියෙන්නේ ඒ අමාරුව.”

    අපේ සූපශාස්ත්‍ර කතාබහ විෂ වෙදකම තෙක් දුර දිග ගියේ ඒ කතාවත් එක්ක ය.

    “මං වෙලේ බැහැලා, මගෙත් මේ කකුලෙ මහපට ඇඟිල්ල කැක්කුම් කරනවා ඉවසන්න බෑ. වෙදකම් කෙරුවට අඩුවකුත් නෑ. මං ගියා විස බලන්ඩ.”

    “ඒ කොහාටද?” මම මහත් කුහුලෙන් ඇසුවෙමි.

    “ඇයි අනේ…. අර විස ගල තියලා විස බලන වෙද හාමිනේ ළඟට.”

    “ගලක්? මොන වගේ එකක්ද?” “පුංචි කළුපාට ගලක්. ඒක තුවාලෙ හරි ඉදිමිච්ච තැන හරි තියෙනවා. බිමට වැටුනොත් විස නෑ. නො වැටී තිබුණොත් විසක් තමා.”

    මෙරට සෞඛ්‍ය සේවයේ ගුණාත්මක බව කොතෙක් අගය කළ ද පොදු ජනතාව මෙවන් ප්‍රතිකාර සොයා යන බව නොදන්නා අයෙක් ද නැත්තේ ය.

    “මං නම් ගියේ දේවාලෙට. ඒ දෙවියා බෙහෙතුත් දෙනවනෙ.”

    තවත් එකියක් කී කල මම තිගැස්සිණි. මෙපරිද්දෙන් ප්‍රතිකාර කරන්නට ඉඩ හසර තිබේ නම්, මෙරට අහිංසක ජනතාවට අබ සරණයි, කියනවා හැර කළ හැක්කක් නොමැත.

    කලයුතු දෑ නැතුවා නොවේ. එහෙත් කළ හැකි සෑම දෙනාම, අපේ පොදු ජනතාව ඕනෑ එකකට, ඕනෑ හැටියට සූරා කන්නට ඉඩ හැර තක්කඩියන්ට හොර වෙදුන්ට නිසි පියවර නොගෙන ඔහේ කල් මරති. ජනතාවගේ සෞඛ්‍යයෙන් පලක් නැතුවා වගෙයි. කතිරය විතරක් ගසන්නේ නම් මදැයි. එහෙත් නිරෝගී ජනයා වූ කලී රටකට ආශිර්වාදයකි. කොරෝනා වසංගතය ද වෙස්වලාගත් ආශිර්වාදයක් සේ සලකා කලඑළි බසින හොර වෙද්දු පිළිබඳව නිසි පියවර නොගන්නේ නම් වෛරසයෙන් ද ආර්ථිකයෙන් ද බැට කන ජනතාව මඩිය තරකර ගන්නන්ගේ ගොදුරක් වීම ද වළක්වාලිය නොහැක.

    ශාන්ති දිසානායක

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here