එල්පීඑල් අවසන්ස ටන අදයි

0
16

අඩුවෙන්ම වැරදි කරන  කණ්ඩායම අද  ශූරතාව  දිනනවා

භානුක

විස්සයි 20  තරගයක් හරියට  වන්මෑන් ෂෝ  එකක් වගෙයි

තිසර

 

විස්සයි 20 තරගයක් හරියට වන්මෑන් ෂෝ එකක් වගෙයි. තරගයක් ජයග්‍රහණය කරා ගෙන යන්න එක් ක්‍රීඩකයකුට හැකියාව තිබෙනවා. යම් පිතිකරුවකු විශාල ලකුණු ගණනක් වාර්තා කිරීම හෝ යම් පන්දු යවන්නකු ප්‍රතිවාදීන්ට දැවැන්ත පීඩනයක් එල්ල කිරීමෙන් කණ්ඩායමකට ජයග්‍රහණය කරා යා හැකි බව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා පවසයි.

මේ අතර අද දිනයේ පැවැත්වෙන අවසන් මහා තරගයෙන් ජයගන්නේ අඩුවෙන්ම වැරදි කරන කණ්ඩායම බව ගෝල් ග්ලැඩියේටර්ස් නායක භානුක රාජපක්ෂ සඳහන් කර සිටියි.

එල්පීඑල් අවසන් සටනට පිවිස සිටින ජැෆ්නා ස්ටැලියේන්ස් හා ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම්වල නායකයෝ හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලයේ සිට ඊයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවැසූහ.

“මේ වගේ තරගාවලියක් ශ්‍රී ලංකාවේ පවත්වන්නේ අවුරුදු 8කට විතර පස්සේ. කොරෝනා අර්බුද මැද එල්පීඑල් තරගාවලිය පැවැත්වීම පිළිබඳ ක්‍රීඩා ඇමැතිතුමාට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට, ත්‍රිවිධ හමුදාවට හා සෞඛ්‍ය අංශ ඇතුලු සියලු දෙනාට ස්තූතිවන්ත විය යුතුයි. කොරෝනා තර්ජන තිබියදී ඉතා හොඳින් තරගාවලිය සංවිධාන කොට තිබුණා. මේක ලෙහෙසි වැඩක් නොවෙයි. මෙම තරගාවලියෙන් යමක් ඉගෙන ගෙන ලබන වසරේ මෙයට වඩා හොඳ තරගාවලියක් සංවිධාන කළ හැකි වෙනවා“ තිසර පෙරේරා පැවැසීය.

“අපේ කණ්ඩායමේ අංක 8 දක්වා හොඳ පිතිකරුවන් ඉන්නවා. එයින් එක් අයකුට දවස හොඳ වුණොත් අපට ලොකු ලකුණු ගණනකට යන්න පුලුවන්. ගාල්ල කණ්ඩායම අඩු තක්සේරු කරන්න බෑ. අපේ සියලු ක්‍රීඩකයන් හොඳ මානසිකත්වයක ඉන්නවා. ගාල්ල කණ්ඩායමට හොඳ සටනක් දිය හැකියි“

“වනිඳු හසරංග හොඳම තත්ත්වයක පන්දු යවනවා. ඔහු මගේ විකට් ටේකින් බෝලර්. ඔහු නියමිත වේලාවට යොදාගෙන ධනුෂ්ක ගුණතිලක වගේ පිතිකරුවකුට තර්ජනය එල්ල කිරීම අපේ බලාපොරොත්තුවයි. අවසන් පූර්ව තරගයේදී නියමිත වේලාවට වනිඳු කැඳවා දසුන් ශානකට පීඩනයක් ලබා දුන්නා වගේ මේ තරගයේදීත් අපේ තුරුම්පු නියමිත වේලාවට යොදා ගන්න සැලසුම් කර තිබෙනවා“ තිසර පෙරේරා පැවැසීය.

අද පැවැත්වෙන අවසන් මහා තරගය තම කණ්ඩායමට සුබදායක එකක් වනු ඇතැයි ගෝල් ග්ලැඩියේටර්ස් නායක භානුක රාජපක්ෂ විශ්වාසය පළ කළේය. වැඩිපුරම යොවුන් ක්‍රීඩකයන් තමන් සතුව ඇති හෙයින් එකමුතුභාවය හා කණ්ඩායම් හැගීම ඉතා ඉහළ මට්ටමක ඇතැයි ද ඒ හේතුව නිසාම පිට පිට තරග 5ක් පරාජය වී, යළි හිස ඔසවා අවසන් මහා තරගය දක්වා පැමිණීමට හැකිවූ බවද හෙතෙම පැවැසීය. “අපේ ප්‍රධාන පන්දු යවන්නා වන නුවන් තුෂාර ආබාධ තත්ත්වයක ඉන්නේ. තරගයට පෙර උපරිම උත්සහා කරනවා ඔහුව තරගයට යොදවන්න. ලක්ෂාන් සඳකැන් හා ධනංජය ලක්ෂාන් කඩුලු ලබාගත හැකි පන්දු යවන්නන්. ධනංජය ලක්ෂාන් හොඳ තත්ත්වයක සිටින දඟ පන්දු යවන්නෙක්. ඔහුට ලොකු ගමනක් යෑ හැකියි. තරගාවලියේ වැඩිම ලකුණු ලබා සිටින ධනුෂ්ක ගුණතිලක අපට විශාල ශක්තියක්. ඔහු අද තරගයේදී කණ්ඩායම වෙනුවෙන් ලොකු මෙහෙයක් කරයි“ භානුක රාජපක්ෂ පැවැසීය.

 

 ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here