කුණාටුවෙන් උපන් යකිනි

    0
    28

    මොහොමඩ් නූරුල් හුදු යනු, බංග්ලාදේශයේ උපන් ජාත්‍යන්තර කීර්තියට පත් කවියෙකි. තම බසින් හා ඉංග්‍රීසියෙන් ඔහු ලියූ කාව්‍ය ග්‍රන්ථ 50ක් දැනට ප්‍රකාශයට පත්ව ඇත. ඊට අමතරව, නවකතා, විචාර ග්‍රන්ථ හා පරිවර්තන ඇතුළු ග්‍රන්ථ පනහක පමණ කතුවරයා වන ඔහු ඩකා විශ්ව විද්‍යාලයේ ඉංග්‍රිසි සාහිත්‍යය පිළිබඳ කථිකාචාර්යවරයෙකි.

    ශ්‍රී ලංකාවේ සාහිත්‍යය සමාජයට ඔහු ආගන්තුකයකි. මොහොමඩ් නූරුල් පමණක් නොව දකුණු ආසියානු කලාපයේ වෙසෙන බොහෝ සාහිත්‍යකරුවන් කවියන් අප හඳුනන්නේ නැත.

    1956 දී සිංහලයට පමණක් ඔටුණු පලඳවමින් කළ, අදූරදර්ශී, දේශපාලනික මුග්ධ ක්‍රියාව නිසා සිංහල සාහිත්‍යය යනු, කොදෙව්වට ම සීමා වූ දෙයක් බවට පත්විය. ඉංග්‍රීසියෙන් ලිවීම පමණක් නොව කියැවීමේ හැකියාව ද සිංහල ජනතාවට අහිමිව ගියේය. බිහිවූයේ රැකියාව සඳහා පමණක් ඉංග්‍රිසිය උගත් පිරිසක් පමණි. තම භාෂාව කෙරෙහි අනවශ්‍ය අභිමානයක් පමණක් ගොඩනැංවූ රටක ජනතාව ළිං මැඩියන් බවට පත්වූහ. අසල්වැසි රටක වෙසෙන මොහොමඩ් කවියා ගැන නොදැන සිටීම ගැන, අප තුළ ඇති විය යුත්තේ හීනමානය මුසු පසුතැවීමකි.

    නිමල් ජයරත්න, වෘත්තියෙන් ටෙලිකොම් ආයතනයේ සාමාන්‍යාධිකාරී වරයකු වුවද, මෙරට සාහිත්‍ය සමාජයෙහි නිතර ගැවසෙන කවියෙකි. කෙටිකතාකරුවෙකි. ඔහු විසින් සිංහලට නඟන ලද, හරුකි මුරකාමි කෙටිකතා සංග්‍රහයක් ද (ගැහැනු නැතුව) ළඟදී ප්‍රකාශයට පත්වීමට නියමිතය.

    2019 දී නවදිල්ලියේ පැවැති සාක් සාහිත්‍ය උළෙලට සහභාගි වන නිමල් ජයරත්නට, බංග්ලාදේශයේ සිට පැමිණි මොහොමඩ් හුදු කවියා මුණගැසෙයි. කවියා තම කාව්‍ය ග්‍රන්ථයක් නිමල්ට තිළිණ කළේය. සයිකෝරෙක්ස් (Sycorax) නමැති එය, විලියම් ෂේක්ස්පියර්ගේ අවසන් දෘශ‍ය කාව්‍ය වූ ‘the tempest'(කුණාටුව) ඇසුරෙන් උපන් අඛ්‍යාන කාව්‍යයකි.

    ශේක්ස්පියර්ගේ නාට්‍ය පිටපත තුළදී, සයිකෝරෙක්ස් නමැති මායාකාරියගේ චරිතය අපට හමු නොවෙයි. එහෙත්, මොහොමඩ් නූරුල් කවියා, නාට්‍ය තුළ, නමින් පමණක් කියවෙන සයිකෝරෙක්ස් චරිතය ඉන් පිටතට ගෙන ප්‍රතිනිර්මාණය කරයි.

    මොහොමඩ් නුරුල් ගේ කාව්‍යාඛ්‍යානය, නිමල් ජයරත්න විසින් සිංහල පරිවර්්තනය කොට ඇත්තේ, ‘යකිනි’ නමිනි. පුරාවෘත්ත, ජනශ්‍රැතිය මිශ්‍ර වූ ද, යටි අරුත්, බහු අරුත්වලින් ගහන වූ ද, සයිකෝරෙක්ස් අන් බසකට නැඟීම පහසු කටයුත්තක් නම් නොවෙයි. බොහෝ වෙහෙසී කලයුතු එය ජයරත්නයන් ට කාව්‍ය වැඩමුළුවකට සහභාගි වූවා බඳු අත් දැකීමක් ගෙන දෙන්නට ඇතුවාට සැක නැත. ටෙම්පස්ට් නාට්‍යය හා එහි සැඟව සිටින මායාකාරී ස්ත්‍රිය පිළිබඳව පූර්ව අවබෝධයකින් තොරව, ‘යකිනි’ කියැවීමට යන පාඨකයකුට ද එය තරමක දුෂ්කර බන්ධනයක් ලෙස හැගෙන්නට ඉඩ ඇත.

    1609 ජුනි මාසයේදී වර්ජිනියාව බලා ගිය ‘සී ඩෙන්චර්’ නමැති නෞකාව, බර්මියුඩාව අසලදී මුහුදුබත් විය. ‘ද ටෙම්පස්ට්’ ලිවීමට ශේක්ස්පියර්ට නිර්මාණාභාෂය ලැබෙන්නේ මෙම සිද්ධියෙනි. පළමුව, රාජ්‍ය සභාව ඉදිරියේ රඟ දැක්වුණු මෙම නාටකය, ඉන් පසුව, පළමුවන ජේම්ස් රජුගේ දියණිය වූ, එළිසබෙත් කුමරියගේ (එලිසබෙත් ස්ටුවර්ට්; බොහිමියාවේ රැජින) විවාහ මංගල්‍ය නිමිත්තෙන් පැවති උත්සව මාලාවේ දී ද වේදිකාගත කෙරුණි.

    ‘ද ටෙම්පස්ට්’ හි ප්‍රධාන චරිතය වන ප්‍රොස්පෙරෝ තම දියණිය වන මිරන්ඩා ද සමග, මුහුද මැද පාළු දිවයිනක කල් ගෙවයි. ඔහුට පෙර එහි සිටියේ සයිරෙක්ස් නමැති මායාකාරී යකිනියකි.

    දූපතට පැමිණ දොළොස් වසරකට පසු, ප්‍රොස්පෙරෝ තම 16 හැවිරිදි දියණිය ද සමග මුහුදු වෙරළේ සිටින අවස්ථාවක, ඔවුහු ඈත මුහුදේ ගිලෙන නෞකාවක් දකිති. ඉන් බයට බියපත් වන මිරැන්ඩා, පියා සතු, මායා ඉන්ද්‍රජාලික බලය භාවිතා කොට, එම නැව ගලවා ගන්නා ලෙස අයැද සිටී. දියණියගේ ඉල්ලීම ඉටු කරන බවට පොරොන්දු වන ප්‍රොස්පෙරෝ ඇයට තම අතීත කතාව ද හෙළිදරව් කරයි.

    ප්‍රොස්පෙරෝ යනු මිලාන් රාජ්‍යයේ සිටි ආදිපාදවරයා බවත්, ඔහු සොහොයුරු ඇන්ටෝනියෝ කළ ද්‍රෝහීකමක් නිසා, බලය අහිමිව, දියණියද කැටුව මෙසේ හුදෙකලා දිවයිනකට ඒමට සිදුවූ බවත් ඔහු විස්තර කරයි.

    දූපතේ දී ඔවුනට හමු වන කැලිබන් නමැති විකාරරූපී අර්ධ මනුෂ්‍යයා සයිකෝරෙක්ස් යක්ෂණිය ගේ පුත්‍රයාය. ප්‍රොස්පෙරෝ ඔහු තම වහලකු බවට පත් කරගනී. සයිකෝරෙක්ස් විසින් බන්ධනයට ලක් කොට තිබූ භූතාත්මයන් රැසක් මෙම දූපතේ වූ අතර ඒරියල් ද ඉන් කෙනෙකි. ඔහුද ප්‍රොස්පෙරෝට හිතවත් ව කල් ගෙවයි. ඇත්තෙන්ම, මෙම නාටකයේ බොහෝ ගැටලු විසඳීමට මැදිහත් වන්නේ ඔහුය.

    මුහුදුබත් වූ නැවේ සිටි, ෆර්ඩිනන්ඩ් නමැති කුමරෙක්, දිවි ගලවාගෙන දූපතට ළඟා වෙයි. ඔහුද ප්‍රොස්පෙරෝ ගේ ගුහාව තුළ සේවය කරයි. මිරන්ඩා හා ෆර්ඩිනැන්ඩ්ස් අතර ප්‍රේම සම්බන්ධතාවයක් හටගනී.

    නාට්‍ය අවසාන වන්නේ ප්‍රොස්පෙරෝට සතුරුකම් කළ රාජකීයයන්, ගිලුණු නැවේ ගමන් ගත් දූපත තුළ දී හමුවීමත්, මිරන්ඩා හා ෆර්ඩිනැන්ඩ්ස් විවාහයත් සමග ඔවුන් යළි සමගි වීමත් තුළිනි. පළිගැනීම මෙන්ම සමාව දීම ද ශේක්ෂ්පියර්ගේ නාට්‍ය තුළ නිතර දක්නට ලැබෙන්නකි.

    මායා ඉන්ද්‍රජාලික බලය ගැන විශ්වාස කරන පුද්ගලයකු වන ප්‍රොස්පෙරෝ දූපතට පලා එන ගමනේ දී තම ගුප්ත විද්‍යා පතපොත ද රැගෙන එයි. දූපතේ ගුහාවේ සිට ඔහු ගුප්ත බලය යොදා ගනිමින් විවිධ කටයුතු කරයි. මෙම චරිතය හැදෑරීමේදී, කෙනකුට ගුප්ත විද්‍යා විශ්වාස කළ හා ඒ පිළිබඳ පොතක් ද ලියූ කෙනකු වන ස්කොට්ලන්තයේ ජේම්ස් රජු මතකයට නැගෙනු නොඅනුමානය. ශේක්ෂ්පියර් ‘මැක්බත්’ ලිව්වෙ ජේම්ස් රජු සතුටු කිරීමටය. මායාකාරියන්, මිනිස් රුවින් පෙනී සිටින එකම ශේක්ස්පියර් නාට්‍යය, මැක්බත් ය.

    මිත්‍යා විශ්වාස, ආගම, උන්නතිකාමය, වෛරය වැනි දුර්වලතා නිසා මිනිසා පරිහානියට ලක්වන අයුරු දක්වන ශේක්ෂ්පියර් නාට්‍ය වර්තමානයටද වලංගු වෙයි. ඒවායේ සැඟවුණු අරුත් නව අර්ථ කථනයන්ට ලක් කළ හැකිය.

    ඛේදාන්ත, සුඛාන්ත, ඉතිහාස, ආවේගාන්ත හා අද්භූත යනුවෙන්, වර්ග කෙරෙන ශේක්ෂ්පියර් නාට්‍ය චක්‍රය තුළ, tempest අයත් වනුයේ, අද්භූත නාටක අතරටය.

    චරිත නිර්මාණයේ දී, ශේක්ෂ්පියර් දැක්වූයේ ඉමහත් කුසලතාවකි. ඔහුගේ නාට්‍යවල එන සිය ගණන් චරිත පෙළගැස්වුවහොත් සමකාලීන සමාජය පිළිබඳ හරස්කඩක් බඳු පැනොරාමා වක් දැකගත හැකිවෙයි. එසේම මායාකාරියෝ, දෙවිදේවතාවෝ, සුරංගනාවෝ හා භූතයෝ ශේක්ෂ්පියර් නාට්‍යවල ඔහුට සේවය කරනු පිණිස නිතරම සූදානමින් සිටිති. ඒ ලක්ෂණය the tempest තුළ ද දක්නට ලැබෙයි.

    මොහොමඩ් නුරුල් ගේ සයිකොරෙක්ස් තුළ නිරූපිත යකිනිය ශේක්ෂ්පියර්ගේ යක්දෙස්සියම නොවේ. පරිවර්තනයට දිගු පෙරවදනක් ලියන, කිවියර උපුල් සේනාධිරගේ එම ප්‍රතිනිර්මාණය පිළිබඳව මෙසේ සඳහන් කරයි.

    සයිකොරෙක්ස් කාව්‍යාඛ්‍යානය කියවාගෙන යන විට නිර්ලජ්ජිත ලෙස දුෂණයට ලක් වූ ගැහැනියකගේ ආත්ම විලාපය රැව් පිළිරැව් දෙනු ඇත. ඊරෝස්ට තම මව මෙන්ම, කුවණ්ණාට තම දරු දෙපළ මෙන්ම සයිකොරෙක්ස්ට තම දාරකයා වන කැලිබත් මහත් සේ වැදගත් වේ. සයිකොරෙක්ස් නමැති යක්දෙස්සිය හෙවත් ආත්මීය වශයෙන් පර පීඩනයට හා අගතියට ලක් කළ ගැහැනියක, පහුරක නංවා දූපතකට පිටමං කෙරෙයි. ඉහළ නඟාගත් කුඹගස් ද, එල්ල කරගත් තුවක්කුද, කැපුණු මුහුණු සහිත දාමරික නැවියන් ද මගින් කවියා සංකේතවත් කරනුයේ ආක්‍රමණික පුරුෂෝත්තම බව නොවේද?

    පරිවර්තක නිමල් ජයරත්න ද සඳහන් කරන අන්දමට අන්තර් සයිතමය කියැවීම්වලින් හෙබි මෙම කාව්‍යය කියවා ගැනීම එතරම් සරල නොවේ. පාඨකයාට ද එහි අනිවාර්ය වැඩ බිමක් පවතී. මොහොමඩ් නූරුල් තම කාව්‍යයේදී ස්ත්‍රීවාදය ද, ස්ත්‍රීන් කෙරෙහි වන කෲරත්වය ද ප්‍රබල අයුරින්, කතිකාවට ලක් කරයි. ජයරත්න පවසන අන්දමට සයිකොරෙක්ස් යනු, පිරිමින් කෙරෙහි වෛරයේ පිපිරුම් ගින්නද, රාගයේ ආශාවේ ඇවිලෙන ගින්න ද, දාරක ස්නේහයෙන් ඇවිලෙන ගින්න ද ආත්ම තුනක් කැටිකරගත් ගැහැනියකි.

    මොහොමඩ් නූරුල් ගේ යකිනිය සිංහලයට නඟන, නිමල් ජයරත්න ගේ කවි බස පොහොසත්ය. මේ ඊට කෙටි නිදසුනකි.

    මම පමණි, මම පමණි මම ම පමණි

    මේ දිය ඌලෙන්, මිහිරි විල් දියෙන්

    මේ වන නිල්ලෙන්, අහස් කුස සරන සියොතුන්ගෙන්

    සුලලිත වන දහමේ අසිරියේ

    මුදු වූද, සන්සුන් වූ ද, දයා විරහිත වූ ද, චණ්ඩ වූ ද වේශයෝ වෙත්

    දියෙහි වෙසෙන මසුන් ද, බිම්පෙතෙහි ගෝන ගවයින්ද,

    හුඹස් තුළ හිඳ පිඹින, තණපත් යට සැඟව හුන්

    විසකුරු සපුන් ද මෙහි වෙත්.

    මම පමණි, මම පමණි, මමම පමණි

    මේ මුළු දිවයිනටම මහා අධිරාජිණිය

    අසල්වැසි රටක, ආගන්තුක කවියකු සිංහල කාව්‍ය ලෝකයට හඳුන්වා දීමෙන් ද, අසීරු කාව්‍යාඛ්‍යෙනයක් අරුත් නොබිඳ සිංහලට පරිවර්තනය කිරීමෙන් ද, නිමල් ජයරත්න කළ වෙහෙසකර ප්‍රයත්නය අගය කළ යුතුය.

    “පියා සලන ධවල අත්තටු රිද්මයන් මත රැන්දූ

    මාගේ ස්ත්‍රීත්වයේ ධජය ගෙන

    ඉරිඟු කරලින් බර පෙත් වටලා පියාඹමි.

    මේ හුදෙකලා දූපතේ එකලාව මම හිඳිමි.

    … මේ රන් දිවයිනේ, හුදෙකලා අධිපතිනිය මම වෙම්

    මායා බලැති යක්ෂණිය මම වෙම්

    ව්‍යාඝ්‍රයකු නොමැත මේ මහා වනයේ

    සාගින්නෙන් පෙළෙන, එකලාව වෙසෙන,

    දිවි දෙනෙක වන මා විනා…”

     

    කපිල කුමාර කාලිංග

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here