තනන්නටත් බිඳින්නටත් හැකි ‘ඉගැන්වීම’

    0
    23

    ඉගැන්වීම ඉතා සුන්දර ක්‍රියාවලියකි. ඒ කටයුත්තෙහි සාර්ථකව නියැළෙන්නට හැකිවිණැ’යි තෘප්තියට පත්විය හැකි නම්, උගන්වන්නා තුළ ජීවන ලාලසාව ඇතිවෙයි. ඉමහත් තෘප්තිදායී හැඟීම් පහළ වෙයි. එහි ප්‍රතිවිරුද්ධ පැත්ත ද එසේම ය. සිය උගැන්වීම අසාර්ථකය, එය සිසු ප්‍රජාව තුළ ප්‍රතිපෝෂණය ඇති නොකරන්නේ ය යන හැඟීමෙන් උගන්වන්නා පෙළෙයි නම්, ඔහු අතෘප්තියෙන් පසුවන්නේ ය. උගන්වන්නෝ ගුරුවරු වෙත්. ගුරුවරයා යන්නෙන් පාසල් ගුරුවරයා පමණක් අදහස් නොවේ. පාසල්වල සිට විශ්වවිද්‍යාලය දක්වාත්, තාක්ෂණික ආයතනවල, විවිධ පුහුණු පාඨමාලාවල උගන්වන සියලු දෙන ගුරුවරු වෙත්. කෙනකුට සිය වෘත්තීන් සඳහා ඇවැසි නිපුණතා ලබා දුන් අයකු වී නම් ඔහු සිය ගුරුවරයා යයි හඳුන්වන්නට ඇතැම් අය පෙලඹෙති.

    “ව්‍යාපාර කටයුතුවල දී මට ගුරුවරයෙකු වුණේ…. මහත්මයා.”

    “මගේ දේශපාලන ජීවිතයේ ගුරුවරයා වුණේ ….මැතිතුමා.” සමහරුන් පවසනු අප අසා තිබේ. ඒ ඔහු නිරත ක්ෂේත්‍රයේ මගහසර පහදා දුන් තැනැත්තා පිළිබඳව ය.

    කොතරම් ගුරුවරුන් සිටියත්, සමාජ ව්‍යවහාරයේ දී ගුරුවරයා යන නාමපදයෙන් හැඳින්වෙන්නේ පාසල් ගුරුවරයා ය. හිස නිකට පැසුණු අය සිය ගුරුවරයාට ගරු සරුකම් දක්වති. ඔහු අන්‍යයන්ට හඳුන්වා දෙන්නට, ඔහු දුටු විට කතාබහ කරන්නට, දරුවන්ට හඳුන්වාදෙන්නට කැමති වෙති. ගුරුවරයා ද මේ තත්ත්වය වටහා ගත යුතු ය. තමනට මෙම ගරු සරු ලැබෙන්නේ ගුරුවරයකු වූ හෙයිනි යන්න අවබෝධ කොට ගෙන ඊට සරිලන සේ ජීවත් විය යුතු ය.

    වර්තමාන අධ්‍යාපන ක්ෂේත්‍රයේ වඩා සොම්නස් සහගත කටයුත්ත පන්ති කාමරයේ මෙන්ම ඉන් පරිබාහිරව ද සිසුසිසු වියන් අතර ගුරුවරයකු සේ කටයුතු කිරීමයි. රාජකාරී කාලය නිමා කොට, ඉසිඹු දිවියක් ගත කරන කාලයේ දී ද අතීතාවර්ජනයෙන් සොම්නස උපදින්නේ තමන් සිය සිසු දරුවන්ට ජීවන ගමනේ දී ඉදිරිමග කියා දුන් ආකාරය මෙනෙහි කිරීමෙනි. මා දැක ඇති සමහර ගුරුවරු මනා සේ ඉගෙනුම ලද්දවුන් වුව ද ශිල්ප ලබාදීමේ කටයුත්තේ දී දක්ෂයෝ නොවෙති. එහෙත් උහු විදුහල්පති, පරිපාලන ආදී විභාග සමත් වී පාසල් පාලකයන්, කාර්යාල පාලකයන් වූ විට ඒ කටයුත්තේ මනා නිපුණයෝ වෙත්. දක්ෂ ගුරුවරුන් වූ සමහරු විභාගාදියෙන් සමත්ව පාලකයන් වූ පසු ගුරුවරයකු සේ දැක්වූ ප්‍රතිභාව දක්වන්නට අසමත් වෙති. කෙනෙක් සිය සහජ දක්ෂතාව හඳුනාගත යුත්තේ එහෙයිනි. එහෙත් අපේ රටේ ඉහළ නිලතලවලට ලැබෙන වැටුප්, දීමනා, අන්‍යයන්ගේ ගෞරවය ආදිය දකින බොහෝ දක්ෂ ගුරුවරු නම්බුවම පතා පාලකයන් හා නිලධාරීන් වීමට වැර වෑයම් කරමින් සිය සහජ දක්ෂතාව අපතේ හෙළති.

    දක්ෂ ගුරුවරයාට මහ පොළොවේ සිට අහසෙහි තරු රටා අතර සැරිසරමින් එහි මහිමය කියා දිය හැකිය. දරුවන් සමඟ සිය සිත් බඳන වාංමාලාවෙන් පරිසරයේ සුන්දරතා හා මහිමය චිත්‍රණය කරමින් වැඩිහිටියකු වී කැලෑ පාළුවකු වීමට නියමිත මිනිසා ඉන් මුදවා ගැනීමේ මනා පදනම දැමිය හැක. පොළව, අහස, ගඟුලැලි මේ ඈ හැම තැනකම ගණිතයේ සූත්‍ර මෙන් ම විද්‍යාවේ නියමයන් ද දැකිය හැක. විෂයයන් උගන්වන අතරේ ම ලද දිවියේ සුන්දරතාව මෙන් ම ජීවන රිද්මය ද කියා දිය හැක. මලකින් රොන් ගන්නා මීමැස්සකු, අතු පතර කැදැලි තනන කුරුල්ලකු, පොළොව සරු කරන පනුවකු වැනි සෑම සිද්ධියක ම රිද්මය මෙන් ම ජීවන අනුකූලතාවය ද වටහා දිය හැක.

    අද වන විට අධ්‍යාපනයේ ප්‍රකාශිත අරමුණුවලට ඉඳුරාම පටහැනි කාලීන සමාජීය අවශ්‍යතා මත පදනම් වූ ආකල්ප අපේ ඉගෙනුම් ක්ෂේත්‍රය පුරා පැතිරෙමින් පවතී. සමාජයේ ඉහළ නිලතල සිය දරුවන්ට හිමි කරන්නට දෙමාපියන් දැඩි තරගයකට අවතීර්ණ වීම හේතුවෙන් විභාගයකින් ඉහළ ජයක් හිමිකර ගැනීමට ඉවහල් වන දැනුම හා දත්ත ගබඩා කරන්නට දරුවෝ පෙලඹී සිටිති.

    ගෙවුණු අවුරුදු හතළිහක කාලය දෙස සීරුවෙන් පිරික්සා බලන්නට ඔබට හැකි නම් මේ වෙනස මැනවින් වටහා ගත හැක. ජීවිතය ජයගැනීමට ඇවැසි යහපත් සාරධර්ම හුරු කිරීම පසෙක ලා දත්ත මතක තබා ගැනීමේ ගබඩාවක් සේ දරුවා අවභාවිතයට පත්වෙයි. එය ඔහුට ම වධයකි. පාසල් කාලයෙන් පසු පාසලේ ම අමතර පන්ති පැවැත්වෙයි. ඇතැම් විට සවස් කාලයේ ය. ඇතැම් විට උදය කාලයේ ය. ඊට අමතරව කාලය සොයාගෙන උගන්වන ටියුෂන්. ළමා ජීවිතය අන්ද මන්දව ඇත. සතියේ දින හතම වෙහෙසකර ඒකාකාරී වැඩයායකි. දෙමාපියන්ට ද නිවනක් නැත්තේ ය. සතියේ දිනවල යන්ත්‍රයක් සේ වෙහෙසෙන පියා සති අන්තයේ දරුවන් ටියුෂන් පන්ති ගෙනයයි.

    “විවේකයක් නෑ අයියෙ. සතියෙ දවස්වල එක සීරුවට වැඩ. සති අන්තෙ ළමයි පන්ති අරන් යනව. කතාබහ කරන්න වත් වෙලාවක් නෑ.” මා හා එසේ කීවේ මැදිවියේ ප්‍රඥා දශකයේ වෙසෙන පියෙකි.

    විභාග පාදක පන්ති නොවන හය, හත, අට, නවය වැනි පන්ති දරුවන්ට ක්‍රීඩා වැනි අමතර ක්‍රියාකාරකම්වල යෙදෙන්නට, පොත පත කියවන්නට කදිම සහ උචිත කාලයකි. එහෙත් ඒ පන්තිවලට ද නිවනක් නැත. සෑම විෂයකට ම ටියුෂන් ය. ඇති තරම් ප්‍රශ්න පත්‍ර ය. කෙටි සටහන් පොත් ය. පාසල් පාලකයෝ ද මෙම විභාග පාදක නොවන පන්තිවලට ද වාර පරීක්ෂණ සඳහා ශ්‍රේණි (A, B, C වැනි) ලබා දෙමින්, ඉහළ ලකුණුධාරීන් පාසල් උදෑසන රැස්වීම් වේදිකාවට නංවා ප්‍රශංසාවට බඳුන් කරමින් සිය කීර්තිය වෙනුවෙන් තරගයට තල්ලුව දෙති. ගුරුවරුන්ට ද පුංචි පන්තියකට පවා ටියුෂන් එකක් කරන්නට ඇත්නම් එය ආර්ථිකයට පිටිවහලකි. සියල්ලෝ ක්‍රමයේ වහල්ලු වී සිටිත්.

    අපේ කාලයේ කුටුම්භය අධ්‍යාපන තරගය හේතුවෙන් යන්ත්‍රයකට සමාන වෙයි. සියල්ලෝ තරගයේ ය. වෙලාව සොයා ගැනීම අසීරු නිසා පෝෂ්‍යදායි දෙයක් උයා පිහා දරුවන්ට දෙන්නට අවසරයක් නැත. රසකාරක බහුල රයිස්, කොත්තු ආදිය රාත්‍රි වේලට මෙන් ම විවිධ කෙටි හා ක්ෂණික කෑම බීම පන්තියට හා පාසලට ද යැවෙයි. අවසානයේ තරගකාරී ක්‍රමය තුළ සියල්ලන්ට ම ඉඩහසර නැති බැවින් වැඩි දෙනෙක් අපේක්ෂා භංගත්වයට පත්වෙත්.

    මට විශ්ව කීර්තිධර නූතනවාදී ලේඛක ‘ප්‍රාන්ස් කෆ්කාගේ Metamorphosis නම් ප්‍රකට කෙටිකතාව සිහිපත් වෙයි. (මෙම කෙටිකතාව ‍කේ. ජී. කරුණාතිලක විසින් රූප විපර්යාසය නමින් ද ටෙනිසන් පෙරේරා විසින් ‘රූපාන්තරණය‘ නමින් ද සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ ය.) මෙම කතාවේ දී වෙහෙසකර කාර්යාල දිවියක් ගතකරන ග්‍රිගෝරි සම්සා උදෑසන අවදිවන විට සිය යහනෙහිම විකාරරූපී කුරුමිණියකු වැනි බහුපාද සත්ත්වයකු බවට පත්ව සිටියි. ඒ අපේ වෙහෙසකර දිවි පෙවෙත ද උත්ප්‍රාසයට නංවන සුලු අපූරු කෙටිකතාවකි.

    කොහොමටත් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ අප ඉතා අවදානම් ගමනක් යන බව පැහැදිලි ය.

    ගුරුවරුනි, ඉගැන්වීම ඉතා සුන්දර කාර්යයකි. මෙම වෙහෙසකර හා අවදානම් ගමනින් මිදී යහපත්, බුද්ධිමත් අනාගත ප්‍රජාවක් බිහිකරන සැබෑ පරිවර්තනයකට ඔබේ බැතිබර දායකත්වය ද අතිශයින් ඇවැසි වෙයි.

    මහානාම දුනුමාල

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here