දේශීයත්වයෙන් ලෝකය ජය ගනිමු

    0
    22

    ලෝකයේ දැවැන්ත රටවල් පවා ආනයන සීමා පනවයි. එලෙස ආනයන සීමා පනවනු ලබන්නේ තමන්ගේ රටේ තිබෙන දෑ මඟින් රට සංවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව ය. ආනයන සීමා මඟින් ලැබෙන වෙළෙඳපළ අවස්ථා සැලැසුම්සහගතව ග්‍රහණය කර ගත යුතු වේ. අපට ඇල්පෙනෙත්තේ සිට මෝටර් රථ දක්වා සෑම භාණ්ඩයක්ම රට තුළම නිෂ්පාදනය කිරීමට පෙලඹීමට පුළුවන.

    පෙර නොවු විරූ ලෙස සිතීම සාර්ථකත්වයේ රහසකි. ඒ කාරණාව මනා ලෙස අවබෝධ කරගනිමින් ලෝකයේ දැවැන්ත සමාගම් බිහි වී තිබේ. එක් පුද්ගලයකුගේ ව්‍යාපාරයක්, ඒ ආකාරයෙන්ම තවත් පුද්ගලයකු කිරීමට වඩා යම් ව්‍යාපාරයක් පිළිබඳ වෙනස් අකාරයෙන් සිතා පාරිභෝගිකයාව සතුටු කිරීම වඩාත් අගනේය. සාම්ප්‍රදායික ව්‍යාපාරිකයකු වීමට වඩා ශ්‍රී ලංකාවේ තිබෙන දේශීය සම්පත් ඇසුරෙන් නවමු නිෂ්පාදනයක් වෙළෙඳපොළට හඳුන්වා දී ගුණාත්මකභාවයෙන් හෙබි ව්‍යවසායකයකු වීමෙන් ලෝකය වුව ද ජය ගත හැකි ය.

    කොවිඩ් – 19 වැනි වසංගත තත්ත්වයක් යටතේදී සියලුම රටවල් තමන්ගේ දේශීය ආර්ථිකය රැක ගන්නේ කෙසේ ද?, තමන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවාවන් රට තුළින්ම නිෂ්පාදනය කරන්නේ කෙසේ ද? යන අභියෝගවලට මුහුණ දී සිටී. මේ වන විට ශ්‍රී ලංකාවේ ජනතාව ව්‍යවසායකත්වයන් සදහා විශාල නැඹුරුවක් දක්වති. ශ්‍රී ලංකාවේ දේශීය සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ අංශයේ ව්‍යවසායකයින් තමන්ගේ ව්‍යවසායකත්වයන්, ව්‍යාපාර අලුත් කරන්නේ කෙසේ ද? යන්න පිළිබඳ සිතීමට පෙලඹී තිබේ. ව්‍යවසායකත්ව කාර්යයන් නැවුම් ආකාරයට නොකළ හොත් පැවත්මක් නැති බව බොහෝ ව්‍යවසායකයින් වර්තමානයේදී අවබෝධ කර ගෙන සිටී. සම්ප්‍රදායිකව ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන්ට වඩා ව්‍යාපාරකයින් බහුලව දක්නට ලැබේ. ඔවුන් වෙළෙඳපොළේ දැනට තිබෙන දෙයක් තමන්ගේ පහසුව පරිදි පිටරටින් ගෙන්වා ගෙන හෝ ලංකාව තුළින් මිලදී ගෙන නැවත අලෙවි කිරීම පිළිබඳව පමණක් සිතයි. එහෙත් වර්තමානයේදී අප රටේ ව්‍යවසායකයින් අලුත් විදිහට සිතමින් නව නිර්මාණ සහිතව වෙළෙඳපළට පැමිණීම නව ප්‍රවණතාවයක් බවට පත්ව තිබේ. මෙම නව ප්‍රවණතාවත් සමග මතුවී තිබෙන ව්‍යවසායකත්ව සංස්කෘතිය තවදුරටත් ශක්තිමත් කර ගත යුතු වේ.

    අලුත් විදිහට සිතීම හා නිරන්තර අත්හදා බැලීම

    සම්ප්‍රදායික ව්‍යාපාරිකයා දැනට වෙළෙඳපළේ තිබෙන දෙයක් තරගයකින් යුක්තව කෙසේ හෝ අලෙවි කිරීමට උත්සාහ ගනී. උදාහරණ වශයෙන් යම් පුද්ගලයකු ඉදි ආප්ප, පිට්ටු සකස් කර අලෙවි කරනවා නම්, තවත් පුද්ගලයකු ඒ ආහාරම අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම පෙන්වා දීමට පුළුවන. සම්ප්‍රදායික ව්‍යාපාරිකයා අලුත් විදිහට සිතන්නට මැලිකමක් දක්වනු ලබයි. වර්තමානයේදී ව්‍යවසායකයින් තුළ අලුත් නිර්මාණ කිරීමේ සංකල්පය බහුලව දක්නට ලැබේ. හොද ව්‍යවසායකයකු නම් අනවශ්‍ය තරගයකට තියෙන භාණ්ඩ නිෂ්පාදනය නොකර, අලුත් වෙළෙඳපළ කොටසක් තෝරා ගෙන දැනට වෙළෙඳපළේ නොමැති අලුත් දෙයක් වෙළෙඳපළට ඉදිරිපත් කිරීමට උත්සාහ ගත යුතු වේ. ඒ සදහා මෑත කාලීනව යහපත් නැඹුරුතාවක් පවතී. අලුත් දෙයක් පිළිබඳව සිතීමේදී දැනට වෙළෙඳපළේ ඉෂ්ට නොවු අවශ්‍යතාවක් තෝරා ගෙන, හෝ පරිසරයේ පාවිච්චි නොකළ අවස්ථාවක් යම් අවදානම් ගෙන අත්හදා බැලීම් කළ යුතු ය. සාර්ථක ව්‍යවසායකයින් නිරන්තරයෙන් අත්හදා බැලීම් සිදු කරමින් අත්දැකීම් සොයා ගත යුතු වේ. වැඩි වශයෙන් අත්හදා බැලීම්වලට නැඹුරු වීමෙන් විවිධාකාරයේ නිෂ්පාදන, භාණ්ඩ හා සේවා වෙළෙඳපළට ඉදිරිපත් කිරීමට අවස්ථාව උදා විය හැකි ය.

    වර්තමානයේදී දේශීය දෑ තුළින් නවමු ආකාරයේ නිෂ්පාදන කරන පුද්ගලයින් බොහෝ දෙනකු අප දැක ඇත. උදාහරණ වශයෙන් කොස් ඇට භාවිතා කර කොස් පෝෂ සකස් කිරීම, දේශීය ඉගුරු, මුරුංගා කොළ පවුඩර් කර ටින්, පැකට් වශයෙන් අලෙවි කිරීම, එළවළු, පලතුරු සකස් කළ ආකාරයක් වශයෙන් ( vegetable spread) වශයෙන් අලෙවි කිරීම, නිල් කටරොළු භාවිතා කර විවිධ නිෂ්පාදන කිරීම, මාදං භාවිතා කර විවිධ නිෂ්පාදන කිරීම, යනාදී වශයෙන් ආහාර නිෂ්පාදන පෙන්වා දීමට පුළුවන. ආහාර නිෂ්පාදන පමණක් නොව දේශීය අමුද්‍රව්‍ය තුළින් විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කර වෙළෙදපළට ඉදිරිපත් කිරීමට ද පුළුවන.

    මහා පරිමාණ ආයෝජකයන්ගේ මැදිහත් වීම

    අපේ භූමිය, ශ්‍රමය සහ ප්‍රාග්ධනය මැනවින් සංකලනය කර නවමු ආකාරයේ විවිධ භාණ්ඩ හා සේවා සකස් කිරීමට පුළුවන. අප විශාල කිරිපිටි අවශ්‍යතාවක් පිටරටින් ගෙන්වනු ලබයි. එහෙත් අපට ශ්‍රී ලංකාවේ තිබෙන විශාල භූමි ප්‍රමාණයක් යොදා ගෙන තණකොළ වගා කර සත්ත්ව පාලනය සිදු කර අපට අවශ්‍ය සත්ත්ව නිෂ්පාදන හා කිරි නිෂ්පාදන ලබා ගැනීමට පුළුවන. අප රටේ භූමිය අවශ්‍ය ආකාරයෙන් භාවිතා කර, අපිට අවශ්‍ය දේවල් පමණක් නොව විදේශ රටවල අවශ්‍යතා වුවද සම්පූර්ණ කර ගැනීමට පුළුවන. අපගේ භූමියේ පිහිටීම සහ ස්වභාවය අනුව සාගර ආශ්‍රිත නිෂ්පාදන සකස් කළ හැකි ය. උදාහරණ වශයෙන් ඛණිජ වැලි අමුද්‍රව්‍ය වශයෙන් පමණක් ගෙන, වෙළෙඳපළට නොයවා නිෂ්පාදනයක් බවට හැරවිය හැකි ය. පොස්පේට් නිධි දේශීය සමාගමකට ආයෝජනය කළ හැකි නම් අපට පොහොර නිෂ්පාදනය කළ හැකි වීම ආදීය මහා පරිමාණයෙන් සිදු කළ හැකි ව්‍යාපාර වශයෙන් පෙන්වා දිය හැකි ය.

    ලංකාව තුළ නිෂ්පාදනය කිරීමේ යහපත් පරිසර තත්ත්වයක් තිබුණද (රටේ වටේටම මුහුද තිබීම) ලංකාවට අවශ්‍ය ලුණු බහුතර ප්‍රමාණයක් තවමත් විදේශවලින් ගෙන්වනු ලබයි. ලංකාවට අවශ්‍ය ලුණු නිෂ්පාදනය කිරීම සඳහා මහා පරිමාණ ආයෝජකයින් මැදිහත් වන්නේ නම් ලංකාවට අවශ්‍ය ලුණු මෙරටදීම නිෂ්පාදනය කළ හැකි ය. අද වන විට ලංකාවේ පොල් මිල ඉහළ ගොස් තිබේ. එය යම්තරමකින් අවම කර ගැනීම සඳහා පළමුව සුදුසු පරිදි ලංකාවේ තිබෙන හිස් ඉඩම්, මුඩු ඉඩම් භාවිතා කර පොල් වගාව පුළුල් ආකාරයෙන් සිදු කර ලංකාව තුළ වැඩි වශයෙන් පොල් ආශ්‍රිත නිෂ්පාදනය කිරීමත් සිදු කළ හැකිය. ඒ වාගේම කටු අනෝදා නිෂ්පාදන විදේශ රටවලට යැවීමෙන්ද දේශීය දෑ ලෝකය තුළ පිළිගැනීමට ලක් වීමේන් ආර්ථිකය ශක්තිමත් කර ගත හැකිය.

    විවිධ ක්ෂේත්‍ර පිළිබඳ අවබෝධය

    ඉන්දීය ජනතාව තමන්ගේ තොරතුරු තාක්ෂණ කුසලතාව විදේශ රටවලට විකුණති. තවත් සමහර රටවල් තමන්ගේ දැනුම ලෝකයට ලබා දෙනු ලබයි. ඒ හේතුවෙන් අතීතයේ මෙන් මිනිස් ශ්‍රමය විදේශවලට අලෙවි කරනවාට වඩා අප රටේ තිබෙන අධ්‍යාපනයෙන් පුද්ගලයින් ලබා ගත් ඥානයන් විදේශ රටවලට විකිණීමේ ක්‍රමවේදය ද වඩාත් යහපත් වේ. වර්තමානයේදී ඔන්ලයින් ව්‍යාපාර ඔස්සේ තරුණ ප්‍රජාව තමන්ගේ දැනුම භාවිතා කර විදේශ වෙළෙඳපළට ප්‍රවිෂ්ට වේ. ඒ අාකාරයෙන් අද වන විට නුතන තාක්ෂණය, ස්වකීය දැනුම කුසලතා උපයෝගී කර ගෙන තමන්ගේ ව්‍යාපාර දියුණූ කර ගනිති.

    අද වන විට ව්‍යවසායකයින්ට තමන්ගේ ව්‍යාපාර පටන් ගෙන සාර්ථක කර ගැනීමට විවිධ ක්ෂේත්‍රයන් උපයෝගී කර ගැනීමට පුළුවන. සෑම ව්‍යවසායකයෙක්ම දැනට තිබෙන දේට වඩා වෙනස් දේවල් කිරීමට උත්සාහ කළ යුතු වේ. පාරිභෝගිකයින්ට බලෙන් බඩු අලෙවි නොකර පාරිභෝගික අවශ්‍යාවන්ට අනුගත වෙමින් භාණ්ඩ හා සේවා අලෙවි කළ යුතු වේ. පළමුව කුඩා වෙළෙඳපළකට ප්‍රවිෂ්ට වී පසුව ක්‍රමක් ක්‍රමයෙන් අලුත් විදිහට සිතා බලා, ඒ තුළින් ලැබෙන ප්‍රසිද්ධිය අනුව අනාගතයේදී විශාල වෙළෙඳපළට යෑමට පුළුවන. නවෝත්පාදන අඛණ්ඩ වේ. එනිසා අද කරන දේම හෙට නොකළ යුතුය. නිෂ්පාදන ක්‍රමවේදය, ලබා ගන්නා අමුද්‍රව්‍ය, සේවකයින් සමඟ වැඩ කරන ආකාරය, වෙළෙඳපළ, ව්‍යපාර ආකෘතිය, යනාදී සෑම දෙයක් සම්බන්ධයෙන්ම නිරන්තරයෙන් වෙනස්කම් කළ යුතු වේ.

    කොවිඩ් වංසගතය හේතුවෙන් සංචරණ සීමා කිරීම, විදේශ රටවල් සමඟ සිදු කරන ගනුදෙනු සීමා සීමා කිරීම සහ රජයේ මැදිහත් වීමේන් සීමා පැනවීම යන කාරණා හේතුවෙන් විදේශ රටවලින් භාණ්ඩ ගෙන්වීම සීමා කරන ලදී. විදේශ රටවලින් භාණ්ඩ ගෙන්වීම සීමා කිරීම දේශීය ව්‍යවසායකයින්ට තමන්ගේ දක්ෂතා, කුසලතා වර්ධනය කර ගැනීමට ලැබුණු කදිම අවස්ථාවක් වේ. මනා පාලනයක් සහ සැලසුමකින් යුක්තව ආනයන ආදේශක නිෂ්පාදනයන් සකස් කිරීමට හැකි විය යුතුය. උදාහරණ වශයෙන් කහ විදේශවලින් ගෙන ඒම සීමා කිරීමෙන් පසුව ලංකාවේ ගොවි සමිති, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ රජයේ අනෙකුත් කෘෂිකාර්මාන්තය පිළිබඳව කටයුතු කරන ආයතන එකට එකතු වී ලංකාව තුළ කහ නිෂ්පාදනය කිරීමට පියවර ගැනීම පෙන්වා දීමට පුළුවන.

    රජයේ සහ ව්‍යවසායකයන්ගේ කාර්යය

    ලෝකයේ දැවැන්ත රටවල් පවා ආනයන සීමා පනවයි. එලෙස ආනයන සීමා පනවනු ලබන්නේ තමන්ගේ රටේ තිබෙන දෑ මඟින් රට සංවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව ය. ආනයන සීමා මඟින් ලැබෙන වෙළෙඳපළ අවස්ථා සැලැසුම්සහගතව ග්‍රහණය කර ගත යුතු වේ. අපට ඇල්පෙනෙත්තේ සිට මෝටර් රථ දක්වා සෑම භාණ්ඩයක්ම රට තුළම නිෂ්පාදනය කිරීමට පෙලඹීමට පුළුවන. මේ දිනවල මෝටර් රථ ආනයනය කිරීමට නොදීම හේතුවෙන් මෝටර් රථ රට තුළ එකලස් කිරීමට සිදුව තිබේ. ඒ පිළිබඳව අවබෝධ කර ගෙන රට තුළ තිබෙන දෑවලින් නිර්මාණශීලීව විවිධ නිෂ්පාදන කිරීමට උත්සාහ කළ හොත් ලංකාවේ ව්‍යවසායකයන්ගේ අනාගතය සාර්ථක කර ගත හැකිය. රජයේ ප්‍රතිපත්ති වෙනස් නොකරමින්, යම් සැලැස්මකින් යුක්තව රටට අවශ්‍ය නිෂ්පාදන රට තුළදීම සකස් කිරීමට ව්‍යවසායකයින්ට සහාය දිය යුතු වේ. විදේශරටවලට අපනයනය කිරීමටත් අපේ රටේ නිෂ්පාදන සකස් කළ හැකි ය.

    මුල් කාලයේදී චීනය දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට ලක් වු රටකි. චීනයට තමන්ගේ දේශීය ආර්ථිකය නැංවීමට අවුරුදු 25-30 අතර කාලයක් ගත විය. චීනයට අවුරුදු 10 ක් පමණ ගත වෙද්දී දේශීය ආර්ථිකය මඟින් යම් ප්‍රතිලාභයක් අනිවාර්යයෙන්ම හිමි වීම පිළිබඳව චීන ජනයා තුළ දැඩි විශ්වාසයක් ඇති විය. පත්වන රජය අනුව ප්‍රතිපත්ති විවිධාකාරයෙන් වෙනස් කිරීම නොසුදුසු වේ. චීනය 2040 දක්වා සැලැස්මක් සකස් කර ඇත. ඇමරිකාවට ද දීර්ඝකාලීන සැලැස්මක් ඇත. කවර ආකාරයේ ජනාධිපතිවරයෙක් පත් වුව ද සැලැස්මෙන් බැහැර වී කටයුතු කරන්නේ නැත. රටේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යෑමට ඕනෑම රජයක් කටයුතු කළ යුතු වේ. දීර්ඝ කාලීන සැලැස්මක් සෑම රටකටම තිබිය යුතුය. රජයක් ලෙස නොව රටක් වශයෙන් ප්‍රතිපත්ති සකස් කළ යුතු වේ.

    සෑම රටකටම ඒ රටේ ව්‍යවසායකත්වය නඟා සිටුවීම සඳහා වෙන් වු සැලැස්මක් අනිවාර්යයෙන්ම තිබිය යුතු වේ. කර්මාන්ත ක්ෂේත්‍රයන්, සේවා ක්ෂේත්‍රයන් සංවර්ධනය කිරීමට ක්‍රමවේද සකස් කළ යුතු වේ. ඇතැම් ව්‍යවසායකයන් අමුද්‍රව්‍ය විදේශවලින් ගෙන්වන විට දැඩි අපහසුතාවට පත් වේ. ඇතැම් නිෂ්පාදන ක්ෂේත්‍ර සඳහා අදාළ වන අමුද්‍රව්‍ය ලංකාවෙන් පමණක් සපයා ගැනීමට නොහැකිය. ඒ නිසා ව්‍යවසායකයින්ට තමන්ගේ කර්මාන්ත පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අවශ්‍ය පරිදි විදේශවලින් ගෙන්වීම සඳහා පහසුකම් සැපයිය යුතු ය. විදේශවලින් අවශ්‍ය අමුද්‍රව්‍ය විදේශවලින් ගෙන්වන තෙක් බලා නොසිට හැකි තරම් අපේ රට තුළ තිබෙන අමුද්‍රව්‍යවලින් නවීන දෑ සකස් කිරීමට ව්‍යවසායකයන් උත්සාහ කළ යුතු වේ. දෙන්නන් වාලේ භාණ්ඩ පාරිභෝගිකයාට නොදී ගුණාත්මකභාවයෙන් හෙබි නිර්මාණශීලී භාණ්ඩ පාරිභෝගිකයාට දීමෙන් දේශීය වෙළෙඳපළ පමණක් නොව විදේශීය වෙ‍ෙළඳපළ ද පහසුවෙන් ග්‍රහණය කළ හැකි ය.

    විදේශීය රටවල දැවැන්ත සමාගම් බිහි වු ආකාර පිළිබඳව නිවැරදිව අධ්‍යයනය කළ යුතු වේ. අපට එවැනි සමාගම්වලින් ගත හැකි පාඩම් සහ අත්දැකීම් බොහෝමයක් පවතී. චීනය පළමුවෙන්ම සිදු කළේ තමන්ට ආනයනය කළ යුතු දේවල් අනුකරණය කිරීමය. ඒ හේතුවෙන් මුල් කාලයේදී ඔවුන් ගුණාත්මකභාවයෙන් හෙබි භාණ්ඩ පාරිභෝගිකයන් අතට පත් කළේය. මුල් කාලයේදී එසේ සිදු කළත් පසුකාලයේදී ඔවුන් ලබා ගත් අත්දැකීම් තුළින් ගුණාත්මකභාවයෙන් ඉහළ භාණ්ඩ පාරිභෝගියාට සපයා දී ධනය රැස්කරන රටක් බවට පත් විය. චීනය අනාගතයේදී තමන්ගේ මෝටර් රථ කර්මාන්තය ද ජංගම දුරකතන කර්මාන්තය සේම වැඩි දියුණු කර ගනු ඇත.

    ශ්‍රී ලංකාවේ හැකි තරම් ව්‍යවසායකත්ව අවස්ථා පවතී. තම තමන්ගේ දැනුම සහ කුසලතා අනුව සම්ප්‍රදායික රාමුවෙන් බැහැර වී නිදහස් මනසින් සිතා අවබෝධයෙන් යුක්තව ව්‍යවසායකයින් කටයුතු කළ යුතුය. අවධානයක් ගැනීම, මුල් කාලයේ මහන්සි වීම, කැපවීම, විචක්ෂණශීලී බව, දැනුමක් තිබීම, විමසුම්ශීලී බව, මුදල් සම්බන්ධයෙන් පවතින විනය යනාදී ගුණාංගයන් සෑම ව්‍යවසායකයෙක් තුළම අනිවාර්යයෙන් තිබිය යුතුය. සෑම ව්‍යවසායකයෙක්ම කුඩා ව්‍යාපාර වශයෙන් හෝ තමන්ගේ ව්‍යාපාර ආරම්භ කර, කවරදා හෝ දිනයකදී එම ව්‍යාපාර දැවැන්ත සමාගමක් බවට පත් කරලීමේ සිහිනය මතකයේ තබා ගෙන කටයුතු කළ යුතුය.

     

    මදාරා මුදලිගේ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here