මිනිසුන්ගේ කලාකරුවා

    0
    28

    දියෙගෝ රිවේරා (Diego Rivera) විසිවන ශතවර්ෂයේ මෙක්සිකෝවේ මහා චිත්‍රශිල්පියා වේ. යුරෝපයේ කලක් ගතකරමින් චිත්‍ර ශිල්පය හැදෑරූවත්, පුහුණු කළත් එවන් බලපෑමකින් තොරව තමන්ගෙ ප්‍රතිභාවේ උත්කෘෂ්ට ඉදිරිපත් කිරීම පිණිස හොඳම මාධ්‍යය කුමක් දැයි තේරුම් ගැනීමට දියොගෝ සමත් වීය. ඒ හැරවුම් ලක්ෂ්‍යයේ සිට චිත්‍රශිල්පියකු ලෙස ඔහුගේ ගමන ඉතා හෘදයංගම එකක් විය.

    තමන්ගේ බිතුසිතුවම් කලාව දියෙගෝ පටන් ගන්නේ මෙක්සිකෝවේ ස්වදේශික මිනිසුන්, කෘෂිකර්මය, කම්කරුවන්, යුරෝපීය අඩන්්තේට්ටම් වැනි විප්ලවකාරී පණිවිඩ ඉදිරිපත් කිරීමෙනි.

    මනුෂ්‍යත්වයට එරෙහිව බලපැවැත්වෙන කිසිම ජගතකුට යට නොවන කලාකරුවකු වීමේ අවශ්‍යතාවය දියොගෙ රිවේරාගේ ආදර්ශය විය. දියෙගෝ රිවේරාගේ පන්හිඳ තියුණු බල පුළුවන්කාර එකක් විය. පරිපීඩනය ගැන දේශපාලනික කතිකාවකට එම තෙලිතුඩ පාවිච්චි කිරිමට මෙන්ම අවශ්‍ය තැනක දේශපාලනික පීඩනයට එරෙහිව විරෝධය පෑමට එම පන්හිඳ බිමින් තැබීමටත් දියොගෝ රිවේරාට මානුෂික බලයක් විය. දියෙගෝ රිවේරා මිනිසුන්ගේ කලාකරුවෙක් විය. ඔහුගේ හැත්තෑ වියැති උපන්දිනය සමස්ත මෙක්සිකෝවමට උත්සව සිරියෙන් සිහිපත් කිරීමට කාරණාවක් වී යැයි කියැවේ.

    1886 දී දියේගෝ උපත ලැබුවේ නිවුන් සොයුරකු සමඟයි. නමුත් ඔවුන් දෙදෙනාගෙන් දියෙගෝ පමණක් අවුරුදු හැත්තෑවක් ආයුෂ විඳින්නට සමත් විණි. ඒ අවුරුදු හැත්තෑව තුළ ඔප්නැංවුමට ලක් වූ ඒ මිනිසාගේ ජීවිතය ඔහුගෙන් පසුව එන පරපුරට ලෝකය පවත්නා තෙක් ඇසුරු කිරීමට කදිම පාඩම් ඉතිරි කළ එකකි.

    හැලහැප්පීම් බහුල මෙක්සිකානු දේශපාලනයේ, රටේ නිදහස, මහජන අයිතිවාසිකම්, කම්කරු අයිතිවාසිකම් ආදී දේ වෙනුවෙන් නැඟී සිටීමට එරටේ බුද්ධිමතුන්, කලාකරුවන් විසින් වූ අරගලය සීමාන්තිකය. දියෙගෝ රිවේරා එවැනි බුද්ධිමතුන් අතර පුරෝගාමී කෙනකු වේ. මාක්ස්වාදය දේශපාලනික පරමාදර්ශවාදය කරගත් දියෙගෝ රිවේරා, මිනිසුන්ගේ එදිනෙදා ජීවිත පිළිබඳ කතාව කලාවෙන් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ක්‍රියාවට නැංවූ මිනිසෙකි. ඔහු ඉතිරි කළ ඒ උරුමය මෙක්සිකෝවේ පමණක් නොව මුළුමහත් ඇමරිකානු කලාපය පුරා පොදු චිත්‍රකලාවේ බලපෑමක් කිරීමට අවශ්‍ය සාරය සැපයීය.

    ඇමරිකාවේ බිතු සිතුවම් ඇඳීමට පොහොසතුන්ගෙන් දියෙගෝ ලද ඇරයුම් භාර ගැනීම ධනවාදයට යට වී ඔහු විසින් මිනිසුන්ගේ අරගලයට කළ පිටුපෑමක් ලෙස ඇතැමුන් විවේචනයට ලක් කළත්, දියෙගෝ ගේ අරමුණ තමන්ගේ ආදර්ශයට පිටුපෑම නොවන බව ඔහුව හඳුනා ගත් මිනිසුන් හොඳින්ම දැන සිටි කාරණාවකි. එවැනි ගමන්වලදී ඇමරිකානු ජීවිත පොදු ගොඩනැඟිලි බිතු මත සටහන් කිරීම දියෙගෝගේ කල්පනාව වී මුත් නිව් යෝර්ක් නුවර රොකර්ෆෙලා මධ්‍යස්ථානයේ ඔහු විසින් නිම වෙමින් තිබූ සිතුවම ඉවත් කෙරුණේ ඔහුගේ කම්කරුවාදී ඉදිරිපත් කිරීම ඇමරිකාවට තරම් නොවන්නේ යැයි සැළකීමෙනි. නමුත් දියෙගෝ රිවේරාගේ බිතු සිතුවම් ඇමරිකාව පුරා විසිරී පවතී. කොමියුනිස්ට්වාදියකු ලෙස හැඳින්වෙන දියෙගෝ විසින් වැනි “The Assembly of Automation” සිතුවම් තුළ ධනවාදයේ වස්තු විෂයන් උත්කර්ෂයට නංවන්නේ කෙසේ දැයි යන ප්‍රශ්නය විචාරකයින් විසින් නැඟි එකකි. දියෙගෝ විසින් ඔහුගේ එවැනි චිත්‍ර තුළ ධනවාදය ඇගයීම නොව ධනවාදයේ වංචාවට අසුවූ තැනැත්තන්ගේ පුද්ගලාර්ථවාදී කථාන්තර දිගහැරීමට උත්සාහ කිරීමක යෙදිණි.

    දියෙගෝ රිවේරා කීප වරක් විවාහ බැඳුම්වලට එකඟ වූ පිරිමියෙකි. නමුත් ඔහුට විවාහයේ පොරොන්දු රැකීමට හැකියාවක් නොතිබි පුද්ගලයකු විය. දියෙගෝ සහ ෆ්‍රීඩා කාලෝගේ බැඳීම ලෝකය පුරා කතා බහට ලක්වෙන ප්‍රේමයේ එක්තරා සලකුණක් ලෙස ගැනෙන කතන්දරයකි. ෆ්‍රීඩා කාලෝ වැනි දේශපාලනයේ සක්‍රීය, බලවත් ස්ත්‍රීවාදී, අවංක කලාක­ාරියක සමඟ දියෙගෝගේ වූ ඒ බන්ධනය ඔවුන් දෙදෙනාව වෙන් කළ නොහැකි සංකේතාත්මක ස්ථානයක පිහිටුවයි. නමුත් ෆ්‍රීඩා කාලෝ සහ දියෙගෝ රිවේරාගේ කලා කටයුතු වෙන වෙනම අැගයීමට ලක් වීමට එයින් බලපෑමක් වෙන්නේ නැත. ඔවුන් දෙදෙනා හස්තියකු සහ පරවියකු වැනි යයි ඇතැම් විට සඳහන් වේ. විවාහය බිඳ වැටීමෙන් පසුව හුදෙකලා ආතමයන් බවට පත් වූ ඔවුන් දෙදෙනාට නැවත එක් වීමට සිදු විය. එකිනෙකා නැතිව ජීවත් විය නොහැකි වූ ෆ්‍රීඩා සහ දියෙගෝ නැවත විවාහ දිවියට ඇතුළත් වී ෆ්‍රීඩා මිය යන තුරුම එකට වාසය කෙරුවෝය. දියෙගෝ රිවේරාගෙ ප්‍රේමය විඳි ගැහැනු ඕනෑ තරම් වී මුත් දියෙගෝට අවංකව ප්‍රේම කළ එකම ගැහැනිය ෆ්‍රීඩා විය හැකි බටව ඔවුන්ගේ මිතුරියක වන ඇනිටා බ්‍රෙනර් ලියා තබයි.

    1957 දී දියෙගෝ රිවේරා මිය යයි. එවිට ඔහු පින්තාරු කරමින් සිටි මෙක්සිකෝවේ ඉතිහාස කතාවේ විසල් සිතුවමේ වැඩ නිම වී නොතිබිණි.

    හිමාලි එන් ලියනගේ 

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here