වරද කාගෙද?

    0
    30

    “මං මේ කල්පනා කළේ ඇම්බන් මහත්තයා… මේ රටේ මහජනතාව හැම වෙලාවෙම ජනතා නියෝජිතයන්ට අවමන් කරන එක ගැන….” කියා ටොම්සන් මහත්තයා කීවේය.

    “ඒක මොකක්ද ටොම්සන් මහත්තයා… ඔය පත්තරවලින් කරන්නෙත් ඒකම නේ… කාටුන් අඳින්නෙම මහජන නියෝජිතයන් ගොනාට දාලා නේ…” කියා උන්නැහේ කීවේය.

    “මොකක්ද ඒකේ ඇති වැරැද්ද… කරන තරමක් ගොන් අමන කම් කරන්නේ ඒ උන්නැහේලානේ… ” කියමින් ඇම්බන් මහත්තයාද එතැනට ආවේය.

    ටොම්සන් මහත්තයා සිනහසුණේය.

    “එතකොට උන්නැහේලා එතෙන්ට පත් කරලා යැව්වේ කවුද? පිට රට මිනිස්සුද?”

    “ඒක නම් ඇත්ත තමයි… පිට රට මිනිස්සු නෙවෙයි. මේ රටේ මිනිස්සුම තමයි ඡන්දෙ දීලා උන්නැහේලාව කවුන්සිලේට යැව්වේ… එතකොට උන්නැහේලා වැරදියි කියනවා නම් උන්නැහේලා පත් කරලා යවාපු උන්නැහේලත් වැරදියිනේ…” කියා උන්නැහේ කීවේය.

    “අපි කා එක්කද මේ ගැන කතා කරන්නේ ඇම්බන් මහත්තයා… ”

    “කා එක්ක කතා කරන්නද? හැබැයි මම මෙහෙම දෙයක් නම් හිතනවා… මහජන නියෝජිතයෝ ටික දෙනෙක් දූෂිත වුණාට ඔක්කොම නෙවෙයි. ඒ වුණාට හංවඩුව ගහන්නේ ඔක්කොටම… මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පෝෂණය කර ගැනීම අත්‍යවශ්‍ය දෙයක්… ඒකට ප්‍රජාතන්ත්‍රවාදය ගැන සමාජය තුළ අවබෝධයක් – ගෞරවයක් ඇති කරන්නත් ඕනැ නේ… ඒක මාධ්‍යයේ වගකීමක්… ඒ වුණාට මාධ්‍ය දන්නේ නෑනේ.. එහෙම වගකීමක් තමන්ට තියෙනවා කියලා… මේක හරියට පෑලියගොඩ මාළු කඬේ වගේ…”

    “ඒ කියන්නේ කොරෝනා හැදිලද?” කියා ටොම්සන් මහත්තයා සිනහසුණේය.

    “නෑ… මම කියන්නේ ටොම්සන් මහත්තයා අපි නිදහස ලැබුවාට පස්සේ පත් වෙච්චි ආණ්ඩු විවිධ ආකාරයෙන් උත්සාහ ගත්තා රට දියුණු කරන්න. දැන් බලන්න අපි අද වෙනකොට සෞඛ්‍ය – අධ්‍යාපනය – ආරක්ෂාව – සාක්ෂරතාව වැනි පැතිවලින් කොයි තරම් දියුණු වෙලාද? අනික ඒ විතරක් නෙවෙයි. මං දන්න හැටියට අපි නිදහස ලබන කොට අපේ රටේ කාන්තාවන්ගේ සාක්ෂරතාව ඉතාම අවම තැනකයි තිබුණේ. ඒ වගේම සමාජය තුළ කාන්තා නියෝජනය තිබුණෙත් ඉතාම අවම තැනක… ඒ වුණාට අද බලන්නකෝ… කාන්තාවෝ පිරිමි එක්ක හරි හරියට සමාජය තුළ නියෝජනය වෙනවානේ… ඒවා සංවර්ධනයේ දර්ශක නෙවෙයිද?”

    “හරි… ඒවා ඔක්කොම හරි කියමුකෝ… එතකොට මොකද මේ උපාධිධාරීන්ට රස්සා නැත්තේ… ඒකට වග කියන්න ඕනෑ ඔය නියෝජිත උන්නැහේලා නෙවෙයිද?” කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.

    “ඒකේ අනික් පැත්ත ගනිමුකෝ ඇම්බන් මහත්තයා… දැන් අපි නිදහස ලබන කොට තිබුණේ කොළඹයි, පේරාදෙණියෙයි විශ්වවිද්‍යාල දෙක විතරයිනේ… දැන් අද වෙන කොට කීයක්ද? ඒ කියන්නේ අපේ රටේ අධ්‍යාපනය පුළුල් වෙලා දරුවෝ වැඩි දෙනෙකුට උපාධිධාරීන් බවට පත් වෙන්න පුළුවන් වෙලානේ…”

    “ඔව්… ඒකනම් ඇත්ත තමයි… එතකොට ඇත්තටම ටොම්සන් මහත්තයා මොකද මේ වෙලා තියෙන්නේ.. ඇයි මේ රස්සා නැත්තේ…?”

    “ඒකට හේතුව තමයි ඔය විෂය නිර්දේශ… උපාධිය ලබා ගෙන තියෙන විෂය නිර්දේශ… ඒවා උපාධි මිසක් වැඩ කරන්න පුරුද්දක් ඇති කළ ඉගෙනුමක් නෙවෙයි… ඒ ගැන කවුද වගකියන්න ඕනෑ… ඔය උගත්තුම තමයි.. හැබැයි ඒ උගත්තුම තමයි හැම ආණ්ඩුවකම හැම තැනම තනතුරු අල්ලා ගෙන ඉන්නේ… එහෙමත් කෙනෙක් ඇර අනෙක් අය හැමදාම කරලා තියෙන්නේ තමන්ගේ බඩගෝස්තරේ හොයා ගන්න එක විතරයි… උපාධිධාරීන් එළියට බැහැලා උද්ඝෝෂණය කරපුවාම ආණ්ඩුවට සිද්ධ වෙනවා මොනවා හරි රස්සාවක් හදලා දෙන්න… ඇත්තටම බලා ගෙන ගියාම රටේ ප්‍රශ්න නිර්මාණය කරලා තියෙන්නේ බොහොමයක් උගත්තුම තමයි… දේශපාලකයෝ යම් යම් දේ කරන්න භාර දුන්නාම ඒවා කරලා තියෙන හැටි තමයි ඒ… එදත් එහෙමයි. අදටත් එහෙම තමයි…”

    “ටොම්සන් මහත්තයාගේ කීම ගැන නම් අපි අලුතින් හිතන්න ඕනෑ වගේ… මට මෙහෙම දෙයක් කල්පනා වෙනවා ටොම්සන් මහත්තයා… දැන් අර එක කාලයක් දේශීය ආර්ථිකයක් ගොඩ නංවන්නට ගිහින් මහජනතාවට පීඩා සිද්ධ වුණානේ… අර හාල් පොලු මිරිස් පොලු හෙම දාලා… එතකොට ඒ විදිහට රට හදන්න බෑ අපි පිට රටින් ගෙනත් කාලා බීලා ජොලියේ ඉන්න ඕනෑ කියලා ඒ ක්‍රමය කණපිට ගහන්න ඡන්දෙ දුන්නේ කවුද?” කියා උන්නැහේ ඇසුවේය.

    “අන්න ඒකට නම් අයිතිකාරයෙක් නෑ වගේ… ඒ පිටරටින් ගෙනල්ලා කන්න පටන් ගත්තු එක තමයි අපි තාමත් කන්නේ… එහෙම කන ගමන් තමන් ඡන්දෙ දීලා මහ සභාවට යවාපු උන්නැහේලාට ආපහු හැරිලා බනිනවා… මේ විදිහට මේ රටේ දේශපාලන සදාචාරයක් මහජනතාව තුළ නැති කොට කොහොමද හොඳ සමාජයක් බිහි වෙන්නේ…”

    “ඒ කියන්නේ ඊ ළඟ පරම්පරාවත් අර විදිහටම ඡන්දෙ දෙයි කියන එකද?” කියා උන්නැහේ ඇසුවේය.

    “නැතුව… නැතුව… ඊ ළඟ පරම්පරාවට දේශපාලනේ ඉගෙන ගන්න හරි දෙයක් කියා දෙන්නේ කවුද? කාටුන් බැලුවම දේශපාලනේ එපා වෙනවා… ඔක්කොම හොරු – මංකොල්ල කාරයෝ – වංචා කාරයෝ – දූෂකයෝ – ඒක ඇත්තම නෙවෙයිනේ… ඇත්ත කියලා දෙන්න කෙනෙක් ඇත්තෙත් නෑ. තැනක් ඇත්තෙත් නෑ… ඉස්කෝලේ උගන්නන්නෙත් නෑ නේ… ” කියා ටොම්සන් මහත්තයා කීවේය.

    “ඇත්තටමද ටොම්සන් මහත්තයා කියන්නේ…? හොඳ ඡන්දදායකයෙක් වෙන්න ඉස්කෝලෙත් උගන්නන්නේ නැද්ද? ”

    ”උගන්නනවා. උගන්නනවා… හැබැයි විභාගවලට උත්තර ලියන්න විතරයි… හොඳ ඡන්දදායකයෙක් වෙන්න නෙවෙයි. මේක නිවැරදි කරන්න තාමත් කාටවත් බැරි වුණා.”

    “ඒ මොකද ටොම්සන් මහත්තයා…?”

    “මොකද කියන්නේ… අර විශ්වවිද්‍යාලවලින් වැරදි උපාධි දීපු උදවියනේ තාමත් මේ තැන්වල අරක් ගෙන ඉන්නේ… ඒක නිවැරදි කරන්න කවුන්සිලේ ඉන්න අයට බැරි නිසා ඔහොම යං…” කියා ටොම්සන් මහත්තයා කීවේ බොහොම කනගාටුවෙනි.

    බන්දුල පී. දයාරත්න

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here