ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් නෑ ඇමැති – සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල

0
41

ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් කිසිවකු නොමැති බව බලශක්ති ඇමැති හා සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා අවධාරණය කළේය.

දෙමළ ජාතිකයකු වීම මත කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බව කී ඇමැතිවරයා, සිදු කළ අපරාධය හා ලබා දුන් දඩුවම අනුව සිරකරුවන් වර්ග කිරීම මිස ජාතිය අනුව සිරකරුවන් වර්ග කිරීමක් මේ රටේ සිදුව නොමැති බවද ඇමැතිවරයා අවධාරණය කරයි.

ඇමැති උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (15) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

දේශපාලන සිරකරුවකු යනු තමන් දරණ දේශපාලන මතය නිසා ම යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිර කරගෙන සිටී නම් පමණක් බවත් ඇමැතිවරයා එහිදී සඳහන් කළේය. තවද, ස්ත්‍රී හා පුරුෂ ලෙස මෙන්ම, යම් යම් සංඛ්‍යා ලේඛන අනුව වයස හා දත්ත මත පදනම් ව සිරකරුවන් වර්ග කිරීම සිදු වන බවත් පැවසූ ඇමැතිවරයා, යම් කිසි පුද්ගලයකු දේශපාලන සිරකරුවකු ලෙස රජයට නොදන්වා රඳවා සිටින බව දන්නේ නම් ඒ පිළිබඳ හෙළිදරව් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ 1994 සිට මෙරට සිටින දෙමළ සිරකරුවන් පිළිබඳව අග්‍රාමාත්‍යවරයා වෙත දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කරන ලද ඉල්ලීම පිළිබඳ රජයේ ප්‍රතිචාරය කුමක් දැයි විමසූ විට ඇමැතිවරයා පැවසුවේ, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කොට හෝ දඬුවම් පැමිණ වීමෙන් අනතුරුව සිරගත කොට සිටින සිරකරුවන් ත්‍රස්තවාදී සැකකරුවන් හෝ ත්‍රස්තවාදීන් මිස දේශපාලන සිරකරුවන් නොවන බවද සඳහන් කළේය.

යම් කිසි අසාධාරණයක් සිදුවූයේ යැයි සඳහන් කරමින් අග්‍රාමාත්‍යවරයාට ලිපියක් භාර දුන් පසු එම ලිපිය භාර ගෙන අදාළ අයතන වෙත යොමු කර අනතුරුව එහි සත්‍ය අසත්‍යතාවය තීරණය කෙරෙන බවත්, එසේ ලිපියක් භාර දුන් පමණින් එහි ඇති කරුණු කාරණා සත්‍යයැයි පෙන්වා ඒ පිළිබඳ වැරදි අර්ථකතනයක් ලබා දීම අග්‍රාමාත්‍යවරයාට කරන අසාධාරණයක් බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

‘අප දේශපාලන සිරකරුවන් යයි කියා පිරිසක් රඳවාගෙන නැත. ඔවුන් ත්‍රස්තවාදීන් සහ ත්‍රස්තවාදී සැකකරුවන්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නේ එක්කෝ ත්‍රස්තවාදීන්. උසාවිය තීන්දු කළොත් ඔවුන් ඒ වරද කළා කියලා ඔවුන්ට තමයි ත්‍රස්තවාදීන් කියන්නේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ යමෙක් අත්අඩංගුවට ගත්තා නම් ඒ අයට තමයි ත්‍රස්තවාදී සැකකරුවන් කියන්නේ. නඩු සම්බන්ධයෙන් කටයුතු කරන්නේ අධිකරණයයි. නඩු පමා වෙනවා නම්, නීතීඥවරුන් ලෙස කටයුතු කරන සුමන්තිරන්, සම්පන්දන් වැනි මන්ත්‍රීවරු පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙනාවා ඒ පමාව වළක්වා ගන්න තිබුණා. නමුත් ඔවුන් එසේ කළේ නෑ. ඒ වෙනුවට මේ සිරකරුවන් තමන්ගේ දේශපාලන අරමුණුවලට යොදා ගන්නා සිරකරුවන් පිරිසක් බවට පත් කර ගෙන’ යනුවෙන් ද ඇමැතිවරයා කීය.

කොරෝනා වෛරසය ආසාදිතව මියයන මුස්ලිම්වරුන්ගේ මෘතදේහ භූමිදානය කිරීම සඳහා මාලදිවයින් රජයෙන් සහය ඉල්ලුවේද යන්න සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියකු මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනමාධ්‍ය ඇමැති හා සම කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ ඇමැති මණ්ඩලයේදී ඒ පිළිබඳ සාකච්ඡාවට ලක් නොවූ බවයි.

මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කර තිබෙන බව කී ඇමැතිවරයා, විදේශ කටයුතු අමාත්‍යංශය ඉදිරියේදී සවිස්තරව ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කරනු ඇති බවත් පැවසීය.

වරාය නැඟෙනහිර පර්යන්ත සම්බන්ධයෙන් රජය ගෙන තිබෙන තීරණය කුමක්ද සහ එය ඉන්දියානු සමාගමකට ලබාදීමේ සූදානමක් ඇතිදැයි විමසූ විට ඇමැතිවරයා පැවසුවේ, ඉන්දියාවේ ප්‍රවෘත්ති පත්‍රවල අයෝජකයන්ගේ නම් සඳහන්ව ඇතත්, කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්ව ඇති කරුණු සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවයි.

කොවිඩ් 19 රෝග තත්ත්වය සඳහා ගෙන්වීමට අපේක්ෂා කරන නිශ්චිත එන්නත් වර්ගයක් ගැන තීරණයට එළැඹ තිබෙන්නේදැයි කළ විමසුමකට පිළිතුරු දුන් ඇමැති ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, ඒ පිළිබඳ සොයා බලා අවශ්‍ය කටයුතු සිදුකිරීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වගකිවයුතු අංශවල විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවත්, ඉතා ඉක්මනින් ඒ පිළිබඳ වාර්තාවක් ලැබෙනු ඇති බවත්, ඒ අනුව කටයුතු කිරීමට රජය බලාපොරොත්තු වන බවත් ය.

මේ මස 26 වෙනිදා විදේශ සංචාරකයන්ට ගුවන්තොටුපළ විවෘත කිරීමෙන් පසු රටට පැමිණෙන සංචාරකයන් යම්කිසි නිරෝධායන ක්‍රියාවලියකට ලක්වන්නේදැයි මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා, සංචාරකයන්ට මෙරටට පැමිණීමට අවසර දී ඇත්තේ එයට අදාළව ලබා දී ඇති නීති රෙගුලාසි හා කොන්දේසිවලට අනුකූලව බවයි.

 

සිතාරා සේනානි,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here