24 C
Colombo
Tuesday, March 2, 2021

අතහැරදමා තිබූ නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් යළි ඇරඹීමට අගමැතිගෙන් උපදෙස්

පසුගිය ආණ්ඩු සමයේ අත්හැර දමා තිබූ නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කිරීමට මුදල් සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ...
More

    Latest Posts

    සෙල්ලම් මතක

    - Advertisement -

     

    පුංචි දවස්වල යාන්තමට මතක එකතු කරන්න පුළුවන් කාලෙ වෙසක් එනකල් මම බලාගෙන ඉන්නෙ හුඟාක් ආසාවෙන්. තාත්තත් එක්ක එක්කහු වෙලා පාට පාට සව්කොළ බකට් ඇතුළෙ ඉටිපන්දම් අලවලා ඒකෙන් විහිදෙන එළි දිහා ගෙදර ඉස්සරහ පඩිය උඩ ඉඳගෙන බලාගෙන ඉන්නෙ හිතේ සන්තෝසෙ පුරෝගෙන. බකට් එකක් දෙකක් ඉටිපන්දම් එළියෙන්ම ගිනි දැල්විලා බිමට වැටුණාම පොඩි වයසෙ හැටියට අනිත්‍ය මෙනෙහි නොවුණත් ගිනි අරගෙන බිම වැටෙන වෙසක් බකට් එකක් දිහා බලලා නාඬා ඉන්න පුරුදු වුණා.

    - Advertisement -

    එක පාරක් වෙසක් එකට තාත්තා සෑහෙන කාලයක් වියදම් කරලා අහස් යාත්‍රාවක් වගේ වෙසක් කූඩුවක් හදලා සුදු පාටින්, රතු පාටින් කොළ අලවලා දෙනකල් තාත්තගෙ ළඟින් හෙලවෙන්නෙ නැතුව බලාගෙන උන්නු හැටිත් මට අද වාගෙ මතකයි.

    මීට අවුරුදු විස්සකට එපිටින් සෙල්ලම් කාලෙ ගත කරපු හන්දා සබන් බෝල පුම්බන සබන් පෙන බෝතල් ඒ කාලෙ තිබුණෙ නෑ. රස්සාවට යන්නෙ නැති දවස්වල පනිට්ටුවකට සබන් වතුර පුරෝලා, තාත්තා අතින් පුම්බපු සබන්බෝලවල වෙනස්ම විදිහෙ සන්තෝසයක් එක්කාසු වෙලා තිබුණා. ඒ සබන් බෝල පිටිපස්සෙ දුවලා අල්ලන්න බැරි වුණාම පොළොවෙ ඉඳන් අහස උඩට හීන ගොඩගහන එක තේරුමක් නැති වැඩක් කියලා පුංචි කාලෙ නොතේරුණාට ඩිංග ඩිංග ලොකු වෙද්දි ඒ විත්තිය තේරුම් ගන්න පුංචි කාලෙ අල්ලගන්න බැරි වෙච්චි සබන් බෝල හේතු නොවුණාමයි කියලා කියන්නත් බැහැ.

    අපේ අම්මා හරි දක්ෂයි කරදාසි කොළවලින් එක එක හැඩේ සෙල්ලම් බෝනික්කො කපන්න. එහෙම කපාපු සෙල්ලම් බෝනික්කන්ට එක එක හැඩේ ඇඳුම් කපලා අන්දද්දි, ඒ කරදාසි ඇඟලුම්වල පාට පැන්සල්වලින් පාට පාටින් හැඩ තල මවද්දි පුංචි ගෑනු ළමයෙක්ගේ මූණෙ ඇඳුනු හිනා රැළි ඒ විදිහටම අදටත් වැඩුනු ගැහැනියක් වෙච්ච ඒ ගෑනු ළමයගෙ මූණට ගේන්න කරදාසි බෝනිකි මතකවලට පුළුවන්.

    - Advertisement -

    පාට පාට ක්ලේ ඇති තරම් කඩේ තිබුණත්, සල්ලි දීලා ගත්තු සෙල්ලම් ක්ලේ පෙට්ටි ගෙදර තිබුණත්, ගෙදර පල්ලෙහායින් ගලාගෙන ගියපු ගඟේ කිරිමැටිවලින් අම්මත් එක්ක එක්කහු වෙලා හදපු සෙල්ලම් තාරාවකුගේ මතක, අදටත් ක්ලේ මතකවලට වැඩිය තදට හිතේ තැන්පත් වෙලා තියෙනවා.

    වේලෙන්න කියලා ගඟේ ඉවුර උඩ තියලා ආපු සෙල්ලම් තාරාවා පහුවෙනිදා නාන්න යනකොට එතන හිටියේ නෑ. අම්මා කියුවේ ඌට පණ ඇවිල්ලා පීනලා ගිහිල්ලා ඇතිය කියලා. ඒක එහෙම වෙන්න ඇතිය කියලා හිත හදාගත්තත්, කවදා හරි දවසක ඌ ආපහු ඉවුරට ඇවිත් ඉඳී කියලා හීනි බලාපොරොත්තුවක් වැඩුණු දැරිවියක් වෙනකල් හිතේ ඉතිරිවෙලා තිබුණා.

    අම්මා තාත්තා රස්සාවට ගියාම සෙල්ලම් බඩුවලින් තනියෙන් සෙල්ලම් කලත්, දැන් ආපහු හැරිලා බලද්දි සෙල්ලම් බඩු මතක හිතට එන්නේ නෑ. හුඟාක් සල්ලි වියදම් කරලා ගෙනත් දුන්න වටිනාම සෙල්ලම්බඩු තිබුණා කියලා දැනගෙන උන්නත්, ඒ වගේ සෙල්ලම් බඩුවල මතක ඒ තරම් තදට හිත ඇතුළෙ තැන්පත් වෙලා නෑ.

    - Advertisement -

    අවුරුදු තිහ පහු­‍ෙවච්ච වැඩුණු ගැහැනියක් විදිහටත් හිතේ අම්මලා තාත්තලා ගැන ඉතුරු වෙච්චි ප්‍රබලම මතක හැටියට තියෙන්නේ මේ සෙල්ලම් මතක විතරයි.

    ඉස්සර කාන්තා පත්තරවල ගෑනු හිත්වල තියෙන ප්‍රශ්න අකුරු වුණාට දැන් කාලෙ හුඟක් ගෑනු උදවියට පත්තරවලට දුක ලියන්න වෙලාවක් නෑ. තැපැල් ගාස්තු වියදම් වෙන්නෙ නැතුව, පත්තරේ සංස්කාරක නෝනගේ හරි මහත්තයගෙ හරි කැමැත්ත අකමැත්ත සලකන්නෙ නැතුව, පත්තර පිටුවෙ ඉඩ සීමාව හින්දා පොරොත්තු ලේඛනේක ඉන්නෙ නැතුව, ලේසියෙන් ප්‍රශ්න කියන්නත්, ඒ ප්‍රශ්නවලට හුඟාක් උදවියගෙ උත්තර ගන්නත් මූණු පොතේ කාන්තා සමූහ හන්දා දැන් ගැහැනු උදවියට පුළුවන්. ඒ ප්‍රශ්න කියෙව්වාම සමාජයේ දිග පළල හොඳට දැනෙනවා.

    ළඟදි දවසක් අවුරුදු දහසයක තරුණ ගෑනු දැරිවියෙක්ගෙ අම්මා කෙනෙක් හිතේ කැකෑරෙන ප්‍රශ්නයක් අකුරුවලට පෙරළලා කාන්තා සමූහයක අලවලා තිබුණා. අම්මාගේ අකුරුවලින් ගෑනු දැරිවි අම්මාට පිහිතුඩු වගේ වචනවලින් දමලා ගහන විත්තියත්, ඒ වචන හරියට රිදෙන විත්තියත් ලියලා තිබුණා.

    “අපි එයාට හරියට වියදම් කරනවා.කවදාවත් එයා පාරෙ බස් එකක ගිහිල්ලා නෑ..” කියලත් ලියලා තිබුණා.එහෙම වෙලත් ” ඔයා මට මොනවද කරලා තියෙන්නේ?” කියලා ඒ දෝණි අම්මාගෙන් අහනවා කියලා ලියලා තිබුණා. ඒ අම්මට නානාවිධ උත්තර ලැබිලා තිබුණා. ඒ උත්තර අතරෙ සන්තෝස උත්තර වගේම දුක උත්තරත් තිබුණා. “දෝණිව බස් එකක නොයවනවා වෙනුවට ඔයත් එයත් එක්ක බස් එකක ගියානම් එයා ඔයාට ඔහොම කතා කරන එකක් නෑ “ කියලා එක ගැහැනු කෙනෙක් උත්තර දීලා තිබුණා.

    අද ඉරිදා දවසක්. අපිට නිවාඩු. අවුරුදු තුනක් වෙච්චි මගේ දෝණිටත් නිවාඩු. කඩෙන් ගත්තු සෙල්ලම් පිහිනුම් භාජනේකට වතුර පුරවලා, පාට පාට සෙල්ලම් බෝල වතුරට දාලා දෝණිත් එක්ක පැය ගානක් සෙල්ලම් කළා. සෙල්ලම් කාලෙ පුරාවටම කනේ ඇලවිච්චි හිනාවක් එයාගෙ මූණෙ පිපිලා තිබුණා. සෙල්ලම් අහවර වෙලා මගේ ළඟට ඇවිල්ලා කරවටේ එයාගේ පුංචි අත්දෙක යවලා හරි තදින් බදාගෙන “මං ඔයාට හරි ආදරෙයි” කියලා, මහා විසාල හාද්දක් දුන්නා.

    ඒ හාද්ද මාසෙ අන්තිමට හම්බවෙන පඩි මල්ලට වැඩිය රාත්තල් ගාණක් වැඩිපුර බරයි කියලා මට හිතුණා.

     

    දසුනි හෙට්ටිආරච්චි 

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.