අවශේෂ කැලෑ ඉඩම් චක්‍රලේඛය: තුලනාත්මක විග්‍රහයක්

    0
    12
    Author(s): 
    ධම්මික සෙනෙවිරත්න

    ඉහත සඳහන් චක්‍රලේඛයේ හතරවැනි පරිච්ඡේදයේ සඳහන් පරිදි පාරිසරික සංවේදී යැයි හඳුනාගන්නා ඉඩම් ඉදිරියේදී කළමනාකරණය කිරීමට බලාපොරොත්තු වන්නේ කුමන දෙපාර්තමේන්තුවක් හෝ ආයතනයක් මඟින් ද යන්න පිළිබඳ අපැහැදිලිතාවක් ඇති බව පෙනී යි. එලෙස හඳුනාගත් ඉඩම් අදාළ දෙපාර්තමේන්තුවලට නැවත පවරා දී ඉතිරිය පමණක් ප්‍රාදේශීය හෝ දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රධාන කමිටු මඟින් සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීමට යොමු වන්නේ ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ.

    රජයේ අවශේෂ කැලෑ මැයෙන් යුතුව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් විසින් 2020-11-04 දිනැතිව නිකුත් කළ MWFC/1/2020 චක්‍රලේඛය පිළිබඳ හා ඊට අදාළව, ‘රජයේ ඉඩම් කළමනාකරණය’ මැයෙන් 2020-11-10 දිනැතිව ඉඩම් කොමසාරිස් ජනරාල් නිකුත් කළ 2020/18 චක්‍රලේඛය පිළිබඳ කතිකාවක් නිර්මාණය වී තිබේ. 1/2020 චක්‍රලේඛය මඟින්, රජයේ අවශේෂ කැලෑ කළමනාකරණය සම්බන්ධයෙන් ඊට පෙර නිකුත් කර තිබූ 5/2001, 2/2006 සහ 5/98 චක්‍රලේඛ අවලංගු විය.

    රජයේ අවශේෂ කැලෑ ඉඩම් නව චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමේදී පරිසර සංරක්ෂණයට එල්ල විය හැකි බලපෑම් අවම කර ගැනීම සඳහා එම චක්‍රලේඛයේ අන්තර්ගතය පිළිබඳ යථා අවබෝධයක් ලැබීම වැදගත් වනු ඇත. මෙම ලිපියෙන්, එම MWFC/1/2020 චක්‍රලේඛය පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කෙරෙයි.

    රජයේ අවශේෂ කැලෑ කළමනාකරණය සම්බන්ධයෙන් පෙර තිබූ චක්‍රලේඛ කිහිපයක් අවලංගු කරමින්, ඒ වෙනුවට රජයේ අවශේෂ කැලෑ කළමනාකරණය (MWFC/1/2020) සහ රජයේ ඉඩම් කළමනාකරණය (ඉඩම් කොමසාරිස් චක්‍රලේඛ අංක 2020/18) යන නව චක්‍රලේඛ යුගලය මෑතදී නිකුත් කෙරිණි. ඒවායේ අන්තර්ගත පරිපාලනමය හා ඒ හා සම්බන්ධිත දෛනික කරුණු පිළිබඳ විචාරාත්මක මහජන උද්‍යෝගයක් සහ කතිකාවක් නිර්මාණය වීම යහපත් ප්‍රවණතාවකි. මන්දයත්, රජයේ පාර්ශ්වයෙන් මේ කාරණා සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමේදී හෝ තීරණ ගැනීමේදී මහජනයාගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වන අදහස් ද සැලකිල්ලට ගනු ඇතැයි යන විශ්වාසය පෙරදැරි කරගෙනය.

    අවශේෂ කැලෑ

    වර්තමාන තත්ත්ව යටතේ අවශේෂ කැලෑ යැයි හඳුන්වන කැලෑ රොදක හෝ ලඳු කැලෑවක දක්නට ලැබෙන ජෛව විද්‍යාත්මක වටිනාකමට පරිබාහිරව විවිධ පාරිසරික සේවා රැසක් ඉටු කරන වැදගත් පරිසර පද්ධතීන් ලෙස ඒවා අගැයීමට ලක්කළ යුතුව ඇත. එබැවින්, මෙම අවශේෂ කැලෑ ඉඩම් ප්‍රායෝගික ලෙස කෙටිකාලීන සංවර්ධන ක්‍රියාවලීන් සඳහා පරිවර්තනය කිරීමට ප්‍රථමයෙන් එම කැලෑ මඟින් ඉටුවන පාරිසරික සේවාවන්ගෙන් ලැබිය හැකි දීර්ඝකාලීන ආර්ථීක හා සමාජීය ප්‍රතිලාභ පිළිබඳ සන්සන්දනාත්මක අගැයීමක් සිදුවිය යුතුය. එය ශ්‍රී ලංකාව ද ඇතුළු සමස්ත ලෝකයම පිළිගන්නා ‘හරිත ආර්ථික ප්‍රතිපත්ති’වලට අනුගත වීමකි. මේ සඳහා රජය පාර්ශ්වය වෙනුවෙන් පරිසර අමාත්‍යාංශය මෙන්ම ඒ යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරියටද ඉතා වැදගත් මෙන්ම භාරදූර වගකීමක් පැවරී ඇත. මෙම නව චක්‍රලේඛ නිකුත් කිරීමට පාදක වී ඇති ප්‍රධානම හේතු කිහිපයකි. ඒ අතර, අධික විදේශ විනිමයක් වැය කරමින් මෙරටට ආනයනය කරන එනමුත් ලංකාවේ දේශගුණික තත්ත්ව යටතේ පහසුවෙන් වගා කළ හැකි බෝග වර්ග 16ක් වගා කිරීමට, නිශ්චිත ක්‍රමවේදයකට යටත්ව ආයෝජක ව්‍යවසායකයන් වෙත තාවකාලිකව ඉඩම් පවරා දීම ද ඇතැයි දැනගැනීමට තිබේ. ඒ වත්මන් රජයේ ප්‍රතිපත්තීන්ට අනුවය. මෙය එම විදේශ විනිමය ප්‍රමාණය මෙරට රඳවා ගැනීමට අමතරව අතිරික්තයක් වෙතොත් එය අපනයනය සඳහා ද යොදාගත හැකිය යන අපේක්ෂාව මුදුන්පත් කරගැනීමට තබන මූලික පියවරකි. එමෙන්ම, මෙය අතිශය කාලෝචිත හා වැදගත් ප්‍රයත්නයකි. ප්‍රමුඛතාව දිය යුතු වැඩසටහනකි. එනමුත්, එය ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පාරිසරික විද්‍යාත්මක සංසිද්ධීන්වලට අනුකූලව සිදුකළ යුතු බැව් නොකිවමනාය.

    ගෝලීය දේශගුණ ආපදා

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් පසුගිය 2 වැනිදා ලෝක ප්‍රජාව හමුවේ පවසා ඇත්තේ අද මුළු ලෝකයම දේශගුණික හදිසි ආපදා තත්ත්වයකට පත්වී ඇති බවය. ඊට හේතුව ලෙස ඔහු සඳහන් කරන්නේ, ගෝලීය උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යෑමත් සමඟ සිදුවන ගෝලීය දේශගුණික විපර්යාසයන් තීව්‍ර වීමේ පැහැදිලි ප්‍රවණතාවක් මතුව තිබීමය. මේ හේතුවෙන්, අධික වර්ෂාපතනයන්, ක්ෂණික ජල ගැලීම්, නායයෑම් මෙන්ම දිර්ඝ හා දැඩි නියං කාල වැඩිවීම ද සිදුව ති‍බේ. මේ නිසා නව කෘෂිකාර්මික ව්‍යාපෘති ආරම්භ කිරීමේදී අහිතකර දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීම මෙන්ම හැකිතාක් දුරට ඒවා අවම කිරීම සඳහා මුල් අදියරේ පටන්ම සැලසුම් යෙදීම වැදගත්ය. තවද පරිසර පද්ධති මඟින් ඉටුවන පාරිසරික සේවා පිළිබඳ නිසි වැටහීමකින් කටයුතු කිරීම ද වැදගත් වේ.

    චක්‍රලේඛ 01/2020 බලනොපාන ඉඩම්

    රජයේ අවශේෂ කැලෑ ඉඩම් පිළිබඳ මෑතකදී නිකුත් කළ චක්‍රලේඛ යුගලයේ අන්තර්ගත කරුණු හා ඒවායින් සිදුවිය හැකි පාරිසරික බලපෑම් පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීම ප්‍රථමයෙන්ම කළ යුතුය.

    රජයේ අවශේෂ කැලෑ කළමනාකරණය සඳහා ඉදිරිපත් කළ MWFC/1/2020 චක්‍රලේඛයේ සඳහන් පරිදි පහත සඳහන් ඉඩම් මෙම අවශේෂ කැලෑ යටතට නොගැනෙන බව ප්‍රකාශ කර ඇත.

    1. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන,

    * සංරක්ෂිත වනාන්තර

    * රක්ෂිත වනාන්තර

    * යෝජිත රක්ෂිත වනාන්තර

    2. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන

    * ජාතික රක්ෂිත භූමි

    * අභය භූමි

    * වන අලි කළමනාකරණ රක්ෂිත

    3. පහත සඳහන් තත්ත්ව යටතේ ඇති වෙනත් ඉඩම්,

    i. නීතියකින් හෝ රෙගුලාසියකින් හෝ වෙනත් මොනයම් හෝ ව්‍යවස්ථාපිත කරුණකින් පරිසරය පිළිබඳ කටයුතු කරන රජයේ දෙපාර්තමේන්තුවකට, ආයතනයකට, අමාත්‍යාංශයකට අයත් වන කැලෑ ප්‍රදේශ මෙකී අවශේෂ කැලෑ යටතට නොගැනීම.

    ii. මීට අමතරව ප්‍රාදේශීය ඉඩම් පරිහරණ කමිටුව, දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුව හා අන්තර් අමාත්‍යාංශ ඉඩම් පරිහරණ කමිටුව මේ වන තෙක් ගෙන ඇති තීරණවලට හා ගරු අධිකරණය විසින් මේ වන විටදී ඇති තීරණවලට බලපෑමක් ඇති නොවිය යුතු වන අතර,

    iii. වන ව්‍යාපෘති, වනාන්තර සංවර්ධනය හා ආනතිය අංශක 30 ට වැඩි කඳු බෑවුම් සහිත ඉඩම්, පාරිසරික වශයෙන් දැඩි සංවේදී යැයි හඳුනාගෙන ඇති ඉඩම් තවදුරටත් ආරක්ෂා කිරීමට මෙම චක්‍රලේඛය බාධාවක් නොවිය යුතු යැයි ද එහි සඳහන් වන අතර,

    iv. 2020/08/09 දිනැති අංක 21 දරන අතිගරු ජනාධිපතිතුමා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ සඳහන් ඒ ඒ අමාත්‍යාංශවල කාර්යභාරයන්ට අනුව වනජීවී හා වන සංරක්ෂණ ‍අමාත්‍යාංශයේත්, වනජීවී රැකවරණය අලිවැට සහ අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වනසම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ විෂයය පථයට ගැනෙන කාර්යයන් සහ කර්තව්‍යයන්වලටත්, සුවිශේෂී ප්‍රමුඛතාවලටත්, ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි ජාතික වනවැස්ම 30% දක්වා ඉහළ දැමීමේ ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය තබාගැනීමට ඇති කරුණුවලට ද බාධාවක් කර නොගත යුතු බව ද සඳහන් කර ඇත.

    v. අමාත්‍යාංශ ඉඩම් පරිහරණ කමිටුව මේ වන තෙක් ගෙන ඇති තීරණවලට හා ගරු අධිකරණය විසින් මේ වන විට දී ඇති තීරණවලට බලපෑමක් ඇති නොවිය යුතු වන අතර,

    vi. තවද, මෙම චක්‍රලේඛය මඟින් ආර්ථික හා වෙනත් ඵලදායී කටයුතුවලට භාවිත කිරීමට ඉඩම් නිදහස් කිරීමේදී පහත සඳහන් කාණ්ඩයන්ට අයත් භූමි ප්‍රදේශ එම කටයුතුවලට තෝරා නොගැනීමට සැලකිලිමත් විය යුතු යැයි ද එම චක්‍රලේඛයේ තවදුරටත් සඳහන්ය.

    a. ගංගා ඇළදොළ ආදී පරිසර සංවේදී භූමි ප්‍රදේශ

    b. අධික බෑවුම් සහිත ප්‍රදේශ

    c. ජල පෝෂක ප්‍රදේශ

    d. වන අලි සංක්‍රමණ භූමි තීර

    e. ඓතිහාසික, සංස්කෘතික හෝ පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත ප්‍රදේශ

    f. ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් පරිසර ප්‍රතිපත්තීන්ට අනුකූලව ජෛව විවිධත්වය සුරක්ෂිත කිරීමේ කාර්යය සහ වනවැස්ම ඉහළ නැංවීමේ ඉලක්කයන් සපුරා ගැනීම සඳහා යෝජිත භූමි

    g. වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක හා සත්ත්ව වි‍ශේෂ සුරක්ෂිත කිරීමේ කාර්යය සඳහා සංරක්ෂණය කළ යුතු ප්‍රදේශ.

    h. රජයේ අනාගත සංවර්ධන කාර්යයන් සඳහා හඳුනාගෙන ඇති ප්‍රදේශ

    i. වෙනත් සුවිශේෂ කරුණු මත සංවර්ධන ක්‍රියාකාරකම්වලට භාජන කිරීම සඳහා සුදුසු නොවන ප්‍රදේශ

    j. අනාගතයේදී ප්‍රජා නායකත්වය සමාජ වනවිද්‍යාත්මක කාර්යයන්ට යොදාගැනීම සඳහා යෝජිත ප්‍රදේශ

    මෙම චක්‍රලේඛයේ අන්තර්ගතය පිළිබඳ ඉහත දීර්ඝ පැහැදිලි කිරීමෙන් ගම්‍ය වන්නේ පාරිසරික, පුරාවිද්‍යාත්මක හෝ ඓතිහාසික වැදගත්කමක් ඇති සියලුම අවශේෂ කැලෑ ඉඩම් හඳුනාගැනීම සඳහා ප්‍රමුඛත්වය දීමෙන් පසු ඉතිරිවන අවශේෂ කැලෑ ඉඩම් ග්‍රාමීය සංවර්ධනය, නැවත පදිංචි කිරීම්, කෘෂිකාර්මික කටයුතු, නාගරික සහ මංමාවත් සංවර්ධනය ආදී කටයුතු සඳහා යොදාගැනීම සුදුසු වන බවය.

    ඉහත සඳහන් කරුණු සියල්ලටම පරිබාහිරව පවත්නා අවශේෂ කැලෑ ඉඩම්වල අයිතිය තවදුරටත් රජය සතුව පවත්වා ගනිමින් ඒවායේ පරිසරයට, වනජීවී සම්පත්වලට සහ කැලෑවලට හානියක් නොවන පරිදි ආර්ථිකමය හා වෙනත් ඵලදායී කටයුතු සඳහා භාවිත කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට හැකිවන පරිදි මෙම MWFC/1/2020 දරන චක්‍රලේඛයෙන් ඉඩකඩ ලබා දී ඇතැයි ද එහි සඳහන් වේ. 

    වගකිව යුක්තා හඳුනා ගැනීම

    ඉහත සඳහන් චක්‍රලේඛයේ හතරවැනි පරිච්ඡේදයේ සඳහන් පරිදි පාරිසරික සංවේදී යැයි හඳුනාගන්නා ඉඩම් ඉදිරියේදී කළමනාකරණය කිරීමට බලාපොරොත්තු වන්නේ කුමන දෙපාර්තමේන්තුවක් හෝ ආයතනයක් මඟින් ද යන්න පිළිබඳ අපැහැදිලිතාවක් ඇති බව පෙනී යි. එලෙස හඳුනාගත් ඉඩම් අදාළ දෙපාර්තමේන්තුවලට නැවත පවරා දී ඉතිරිය පමණක් ප්‍රාදේශීය හෝ දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රධාන කමිටු මඟින් සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීමට යොමු වන්නේ ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ.

    එසේ නැතහොත් මෙවන් චක්‍රලේඛ මඟින් පවරාගන්නා සියලු ඉඩම් එක් එක් ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් අදාළ සංරක්ෂණ, සංවර්ධන හෝ ඒවායේ සම්මිශ්‍රණ කටයුතු ලෙස ඔවුන්ගේ මූලිකත්වයෙන් කළමනාකරණය කිරීමට බලාපොරොත්තු වන්නේ දැයි පැහැදිලි කිරීම අවශ්‍ය වේ.

    මෙහිදී පැනනඟින තවත් අපැහැදිලිතාවක් වන්නේ මෙම පාරිසරික හා පුරාවිද්‍යාත්මක ආදී කටයුතු සඳහා වැදගත් නොවන ඉඩම් වෙන්කර ගැනීමෙන් පසු ඉතිරි ඒවායේ පරිසරයට, වනජීවී සම්පත්වලට සහ කැලෑවලට හානියක් නොවන පරිදි ආර්ථිකමය හා වෙනත් ඵලදායී කටයුතු සඳහා භාවිත කළ හැකි වන්නේ කවර ආකාරයකටද යන්නය. එමනිසා MWFC/1/2020 චක්‍රලේඛයේ දෙවැනි ඡේදයේ අවසාන කොටසේ සඳහන්ව ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ තවදුරටත් පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here