ඇවිළෙන සහ අවුළන ගිනි

    0
    17

    කටකතා පැතිරීම අපේ සමාජයට අලුත් දෙයක් නොවේ. බොරුවට පියාපත් ඇත්තේය යන යෙදුම ඊයේ නැවත සිහිපත් කළේ අලුත්කඩේ උපරිමාධිකරණයේ ගින්න ඇතිවීමත් සමඟය. ඕනෑම පුවතක සත්‍ය අසත්‍ය නොදැන මුග්ධ ජනයා වල්මත් වූවන් සේ හැසිරීම කෙතරම් පිළිකුල් සහගත ක්‍රියාවක් ද යන්න අලුත්කඩේ ගින්නෙන් පැහැදිලිය.

    අපේ රටේ නීති විවරණය කරන ප්‍රධාන ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණයයි. එහි ඇතිවූ කාර්මික දෝෂයකින් හටගත් ගින්න නිවා දැමීමට රටේ වගකිවයුතු අංශ යුහුසුලු විය. එහි ප්‍රතිඵලය වූයේ ඉතා ඉක්මනින් ඒ ගින්න නිවාදැමීමට හැකි වීමයි. එනමුත් ඒ ගින්නට පිදුරු දැමූ කුහක අවස්ථාවාදීහු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මුළු රටම ගිනි තැබූහ.

    බෞද්ධ යැයි කියාගන්නා රටක බුදුන් වහන්සේ පෙන්වා දුන් සිතීමේ හා විමසීමේ නුවණ අපේ ජනයාගෙන් එක් කොටසකට නොමැතිවීම කනගාටුවට කරුණකි. කුහකත්වයෙන් පිරුණු සමාජයක බොරුව සහ කටකතා රජ කරන බවක් පෙනේ. බොරුව සහ කටකතා යනු අයිසින් තැවරූ කේක් කැබැල්ලක් හා සමානය. අයිසින් ටික ගැලවී ගිය කල නිකම්ම නිකම් පාන් කැබැල්ලක් බව බොහෝ දෙනා දැනගත්ත ද සීනි මිශ්‍ර අයිසින් කෑමට කැමතිය. සත්‍යය කටුකය. තිත්ත රසය. අරළු බුළු නෙල්ලි පිරි කසාය කෝප්පයකට වඩා පැණි බීම බෝතලයක් බීමට බොහෝදෙනා ප්‍රිය කරති. බොරුව යනු අයිසින් මිශ්‍ර කේක් කැබැල්ලකි. පැණි බීම බෝතලයකි. ඉතා ඉක්මනින් එය කෑමටත්, බීමටත් මිනිස්සු ප්‍රිය කරති. සත්‍යය පෙනි පෙනී අසත්‍ය පැතිරවීමෙන් එසේ කරන පුද්ගලයන් බලාපොරොත්තු වන්නේ කුමක් ද? ඒ ඔවුන් තුළ පවතින කුහක දේශපාලන ආසාවන් විය හැකිය. එය සංතෘප්ත කර ගැනීම ඔවුන්ගේ අරමුණයි.

    රටක සංවර්ධන ක්‍රියාවලියට දියුණු සන්නිවේදන ක්‍රම අත්‍යවශ්‍යය. එහෙත් ඒ දේවල් යොදාගත යුත්තේ වෛරය, ක්‍රෝධය, බොරුව රජ කරන සමාජයක් ගොඩනැඟීමට නොවන්නේය. ප්‍රජාතන්ත්‍රවාදී රටක නීතියේ ආධිපත්‍යය හොඳ ලක්ෂණයකි. විවිධ නඩු තීන්දු මඟින් ඒ නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කළ වකවානුවක උපරිමාධිකරණ සංකීර්ණයේ කාර්මික දෝෂයකින් හටගත් ගින්නට ඔවුන් එක් කළේ පිදුරුය. ඒ මඟින් ඔවුන්ගේ කුහකත්වය ප්‍රදර්ශනය කෙරිණි. සියලු බාධක මැද රට නිශ්චිත ඉලක්කයක් කරා මෙහෙයවන මොහොතක බොරු කටකතා වැපිරීමෙන් කිසිවෙකු ලබන ජයක් නැත. නීතියේ දෙවඟන හොඳින් යුක්තිය පසිඳලන්නීය.

    අධිකරණ ක්ෂේත්‍රයේ නඩු පමාවීම්වලට පිළියම් සොයමින් ඉන්නා වකවානුවක අහඹු ලෙස සිදු වූ සිදුවීමකට බොරු කටකතා පැතිරීමෙන් නූගත් ජනයා කුපිත කිරීම ඔවුන්ගේ ඉලක්ක බව පෙනේ. එහෙත් යුක්තිගරුක සමාජයක් පතන කිසිවෙක් මෙවැනි බොරු කටකතාවලට නොරැවටෙති. කෙසේ නමුත් මෙහි සත්‍ය දැන දැන කසාය බිවූ ගොළුවන් සේ හැසිරෙන පුද්ගලයන් අපේ රටේ සිටින බව ද නොරහසකි. සාක්ෂරතා ඥානයෙන් ඉහළ රටක් වශයෙන් ශ්‍රී ලංකාව හැඳින්වුවද සමාජ මාධ්‍ය ජාලාවන්හි හැසිරෙන පුද්ගලයන්ගේ බොරුවලට අත්තටු මැවීම හා ඒවා පිළිගන්නා පිරිසක් රටේ සිටීම බුද්ධියට හා විමසුමට නිගා දීමකි.

    රටක අධිකරණ පද්ධතිය යනු ර‍ටේ සමස්ත ජනතාවගේ මානව හිමිකම් සිවිල් සමාජයේ ආරවුල් සියල්ලටම සාධාරණ විසඳුම් ගෙන දෙන උත්තරීතරම ආයතනයයි. එහි සංවිධානාත්මක ව්‍යුහයක් ඇත්තේය. එහි ඇති නඩු වාර්තාවලට කිසිඳු හානියක් නොවන්නේ ලේඛනාගාරය තුළ ඒවා ආරක්ෂා වී පැවතීම නිසාය. විනිශ්චය ශාලාවක්, ලේඛනාගාරයක් එකම ස්ථානයක උපරිමාධිකරණ සංකීර්ණයක නොමැති බව බොහෝදෙනා නොදන්නවා විය හැකිය. එහෙත් විනිශ්චය ශාලාවේ ලේඛනාගාරය නොමැති බව මේ සිද්ධියෙන් පසුව හෝ නොදන්නා අය දැන ගැනීම හොඳ දෙයකි.

    විවිධ ප්‍රදේශවල පවතින අධිකරණවල මේ සියලු දේ ඉතා ආසන්නයේම පවතින්නේය. ඒ අනුව අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය ඒ අයුරින් නොදන්නා මිනිසුන්ට ඒත්තු ගැන්වීමකට පුළුවන. එහෙත් අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ ලේඛනාගාරයට කිසිඳු හානියක් වී නැත.

    අපේ රටේ නීතියේ දෙවඟන ඉතා හොඳින් නීතිය පසිඳලයි. බොරුව කිසිදිනෙක රජ නොකරයි. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය කියන ප්‍රකට කියමන සිහිපත් කරමින් සත්‍ය සත්‍යයෙන්ම ජය ගන්නේය.

    මහින්ද ආරියවංශ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here