උසාවියේ ගින්න ගැන නඩත්තු සහ ආරක්ෂක අංශවලින් ප්‍රකාශ ගනී

0
22
Author(s): 
රක්ෂණ ශ්‍රියන්ත

කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ පෙරේදා (15) ඇතිවූ ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නඩත්තු අංශය සහ ආරක්ෂක අංශයේ සේවකයන්ගේ ප්‍රකාශ විස්තරාත්මකව සටහන් කරගෙන තිබේ.

සිද්ධිය වූ ස්ථානයට විදුලි ඉංජිනේරුවරයා සහ රජයේ රස පරීක්ෂකවරයා විසින් පැමිණ නිරීක්ෂණ සිදු කර ඇති අතර ඊයේ (16) දිනද අදාළ සාක්ෂිකරුවන් රැසකගේ ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවැසීය.

රජයේ රස පරීක්ෂකවරයා විසින් ඊයේ (16) එම ස්ථානය තව දුරටත් නිරීක්ෂණය කිරීමට නියමිතව තිබුණු අතර පොලිස් අපරාධ ස්ථාන නිරීක්ෂණ නිලධාරීන් එම ස්ථානයේ විද්‍යාත්මක සාක්ෂි ලබාගැනීම සඳහා අදාළ විශේෂඥයන්ට සහාය වීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

මේ ගින්න ඇති වූයේ උපරිමාධිකරණ සංකීර්ණය පිහිටි ගොඩනැඟිල්ලේ බිම් මහලේ පිහිටි අබලි ද්‍රව්‍ය ගබඩාව තුළ වන අතර එම ගින්නෙන් විශේෂයෙන්ම විනාශයට පත්ව ඇත්තේ වායුසමනයකරණ පද්ධතියක තිබී ඉවත් කරන ලද අබලි ද්‍රව්‍ය කිහිපයක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

එම ගින්නෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛනාගාරයට හෝ කිසියම් ලේඛනයකට හෝ වෙනත් දේපොළකට කිසිදු හානියක් මෙම ගින්න මගින් සිදුවී නොමැති බවත් පැවැසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ගින්න ආරම්භවී ඇත්තේ සවස 4. 25ට පමණ වන අතර එම මොහොතේම ගිනි නිවන හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගින්න නිවා දැමීමට කටයුතු කරනු ලැබූ බවද කියා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම් කිහිපයක් කොළඹ උපරිමාධිකරණයේ ඇතිවූ ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here